කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා බවට තහවුරුවූ කාන්තාව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (27) සවස මියගිය බව සෞඛ්‍ය අංශ විසින් අප වෙත තහවුරු කළ ද අද (28) සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් ලබාදී ඇති. කොරෝනා හේතුවෙන් මියගිය අයගේ ලේඛනයට ද ඇගේ තොරතුරු ඇතුළත්වූයේ නැත.
එම ලේඛනය මාධ්‍යවෙත නිකුත් කර ඇත්තේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැවගේ අත්සනින් අද (28) රාත්‍රී 10.30ට ය. ඒ වනවිට එම කාන්තාව මියගොස් පැය 24කටත් වඩා කාලයක් ගත වී තිබිණි.
කොරෝනා බව තහවුරු වී හම්බන්තොට රෝහලට ගෙන ගොස් එතැනින් අසාධ්‍ය තත්ත්වයෙන් හෝමාගම රෝහලට මාරුකර යැවූ කාන්තාවක මියගොස් පැය 24ක් ගත වී තිබිය දී ද ඇයගේ මරණය සිදුව ඇත්තේ කොරෝනා ආසාදනයෙන් යැයි තහවුරු කරගැනීමට නොහැකි වන තරමට ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ දුර්වල ද යන්න මෙහි දී ප්‍රශ්න කිරීමට සිදුව ඇත.
මේ කාන්තාව පසුගිය නොවැම්බර් 02 දා කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ ඇත්තේ වකුගඩු රෝගයක් සඳහා ප්‍රතිකාර ලැබීමටය. එහි නේවාසිකව සිටිය දී මානසික රෝග තත්ත්වයකට ද ප්‍රතිකාර ලබාදීම සඳහා ඇය මනෝ වෛද්‍ය ඒකකයට යොමුකර සිටිය දී 09 දා උදෑසන ලැබුණු පීසීආර් වාර්තාවකින් කොරෝනා ආසාදිත බවට තහවුරු කර ගන්නා ලදී. ඉන් පසු ඇගේ ආශ්‍රිතයන් සිව් දෙනකු ද කොරෝනා ආසාදිත බවට තහවුරු විය.
මේ කාන්තාව හම්බන්තොට රෝහලට ඇතුළත් කර එතැනින් හෝමාගම රෝහලට මාරුකර යවා සිටිය දී මියගියාය. කොරෝනා ආසාදිත බව තහවුරු වූ දිනය (09) සිට මියගිය දිනය (27) අතර කාල පරතරය දින 18කි. ඒ නිසා ඇතැම් විට දැන් ඇය මියයන විට ඇගේ සිරුරේ කොරෝනා වයිරසය නොතිබුණා වීමට පුළුවන. නමුත් රෝහලේ වෛද්‍යවරු පමණක් නොව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන්, මාතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද දන්නේ ඇය කොරෝනා ආසාදනය වීමෙන් මියගිය බවයි.
දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ඇති ලේඛන වල ද දැක්වෙන්නේ අකුරැස්සේ අමලගොඩ පදිංචිව සිටි එම කාන්තාව කොරෝනා හේතුවෙන් මියගොස් ඇති බවකි. නමුත් රජයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා මෙතෙක් ඒ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවක් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ නැත.
හෙට (29) රාත්‍රී ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ පිළිබඳ ඊළඟ නිවේදනය ලැබෙනු ඇත. එතෙක් ඇයගේ මරණයට සිදුවූ දෙය දැනගැනීමට බලා සිටින්නට සිදුවෙයි.
කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී කොරෝනා රෝහල් දෙකක ප්‍රතිකාර ලබා මියයන අයකුගේ මරණයක් ගැන තොරතුරු ලබාදීමට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් කාර්යාලයට පැය 48ක් ගතවන්නේ නම් නිවසක මියයන අයකුගේ මරණ පිළිබඳ කවර කතා ද ?