සජීව විජේවීර
මිනිස් වර්ගයා ශිෂ්ඨාචාර ගොඩනගමින් මේ තරම් දියුණු සත්ව කොට්ඨාසයක් ලෙස අනෙක් සියලු සතුන්ගෙන් වෙනස් වීමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් තිබේ. එකක් වන්නේ මහපට ඇගිල්ල පිළිමල් කිරීමේ හැකියාවයි. ඒ නිසා යමක් දැඩිව ග්‍රහණය කරගත් මානවයා එතැන් සිට ගල් ආයුධ නිපදවමින්, ගින්දර භාවිතා කරමින් දියණු සංස්කෘතියක් කරා තමන්ට අවශ්‍ය අඩිතාලම දැමුවේය.
අනෙක් ප්‍රධානතම කරුණ වන්නේ තමන්ට ලැබුණු අත්දැකීම්, සොයාගත් දැනුම තවත් පරපුරක වෙත සන්නිවේදනය කිරීමට ලැබුණු භාෂාමය හැකියාවයි. භාෂාව භාවිතයේ දී තම අදහස් නිවැරදිව සහ සුදුසු ලෙස සන්නිවේදනය කළ නොහැකි වූයේ නම් අප මේ තරම් දියුණු සත්ව කොට්ඨාසයක් වන්නේ නැත.
එහෙත්, අතීතයේ පටන් වර්තමානය දක්වාම මානව වර්ගයාගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බාධා කරන්නෝ සිටිති.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ලෝකය පුරා රටවල මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගනිද්දී ශ්‍රී ලංකාවේ පාලකයෝ මෙන් ම මහජනතාවට සේවය කිරීමට බැඳී සිටින රාජ්‍ය සේවකයෝ ද භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අපරාධයක් ලෙස සළකා කටයුතු කර ඇති බවට මෙරටින් ඕනෑ තරම් උදාහරණ තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ “සෑම පුරවැසියකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.” යනුවෙනි.
එය එසේ දැක්වුව ද ව්‍යවස්ථාවේ 15 (2) හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා දක්වා ඇත.
එම වගන්තිය අනුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගීතාවය තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද , අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව පමණි.
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද රටේ යථා පැවැත්මද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත් , අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලා ගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබ සාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්වය යනුවෙන් සඳහන් වේ. නීතිය යන්නට මහජන ආරක්ෂාව සඳහා සාදනු ලබන හදිසි නීතිය පැනවීම සහ එවැනි අවස්ථාවල දී සිදුකරන වාරණයන් වැනි නියෝගද ඇතුළත් ය.
20 සියවසේ අග භාගයේ දී භාවිතයට ආ අන්තර්ජාලය හේතුවෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පුළුල්ව පැතිරී ගිය අතර ලෝකය පුරාම ඩිජිටල් අවකාශයේ තොරතුරු හුවමාරුව වඩාත් වේගවත් වන්නට විය. මේ තත්වය ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබුණු අතර මහජනතාව අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සන්නිවේදනයට වඩාත් ආශක්ත විය.
ඩිජිටල් අවකාශයේ තොරතුරු සන්නිවේදනයේ දී සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ තොරතුරු සන්නිවේදනයේ දී ඇති සීමා මායිම් බොහොමයක් දක්නට නොලැබුණු අතර වේගවත් සන්නිවේදනය, වඩාත් විස්තරාත්මක තොරතුරු අඩංගුවීම සහ සන්නිවේදනයේ දී ඇති සමීප බව නිසාම ජනතාව ඒ කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට විය.
මෙවැනි පසුබිමක් තුළ වරින් වර ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජයන්ට ඩිජිටල් මාධ්‍ය සන්නිවේදනය මහා හිසරදයක් ව පැවැතිණි. ඔවුන් නිරන්තරව කියා සිටියේ ඩිජිටල් අවකාශයේ සාවද්‍ය තොරතුරු, වෛරී සහගත ප්‍රකාශ, ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම්, අපරාධමය පෙළඹවීම්, අපහාසාත්මක තොරතුරු, ළමා හා කාන්තා හිංසනය ආදිය සිදුවන බවයි. ඒ නිසා මේවා වාරණය කළ යුතුයැයි යන්න බොහෝ පාලකයෝ මෙන්ම රජයේ බලධාරීහු ද කීහ.
ඩිජිටල් අවකාශයක අදහස් ප්‍රකාශ කිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1 වගන්තිය අනුව ජනතාවට හිමි මූලික අයිතිවාසිකමක් ආරක්ෂා වේ. නමුත් 15(2) සහ 15(7) වගන්ති අනුව එයට සීමා මායිම් යෙදිය යුතුනම් හෝ එවැනි ප්‍රකාශයක් වාරණය කරන්නේ නම් ඒ සඳහා පිළිගත් නීතිමය රාමුවක් යටතේ සිදුකළ යුතු ය යන්න අපගේ අදහසයි. නීත්‍යානුකූළ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ කිසිදු විරෝධයක් නැත. එහි වරදක් ද නැත.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට වැට බැඳීම සිදුවිය යුත්තේ පාලකයන්ගේ හෝ එම තොරතුරු සන්නිවේදනය හේතුවෙන් යම් කිසි හානියක් සිදුවනවා යැයි කෑ මොර දෙන දූෂිතයන්ගේ, අපරාධකරුවන්ගේ සහ වංචා කරුවන්ගේ වුවමනා එපාකම් අනුව නොවේ. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අයථා ලෙස පරිහරණය කරන්නේ නම් එය වැළැක්වීමට, අවවාද කිරීමට, වාරණය කිරීමට, හතනම් කිරීමට හෝ වෙනත් යම් දඬුවමක් පැනවීමට අවශ්‍ය තරම් නීති ශ්‍රී ලංකාවේ ඇත.
නමුත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අවකාශයේ තොරතුරු සන්නිවේදනය කරනු ලබන වෙබ් අඩවි, සමාජ මාධ්‍ය අවකාශයන්, තොරතුරු සම්පාදකයන් අවහිර කර ඇත්තේ එවැනි නීත්‍යානුකූළ ක්‍රමවේදයකට නොවන බව තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරුවලින් තහවරු කරගැනීමට හැකියාව ලැබිණි.
ඒවා අවහිර කිරීමේ බලය ඇති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වැනි ආයතන විසින් මෙම අවහිරකිරීම් කර ඇත්තේ ඒ ඒ කාලවල දී බලය හෙබවූ පාලකයන්ට අවශ්‍ය පරිදිය.
ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත සිට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි සමාජ මාධ්‍ය අවකාශයන් මෙරට ජනතාවට නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනනයෙන් තොරතුරු ඉල්ලා අයදුම් පත්‍ර දෙකක් එක ම දිනක දී අප විසින් ඉදිරිපත් කරන ලදී.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තොරතුරු නිලධාරී, සාමාන්‍යාධිකාරී ජයනි වර්ණකුලසූරිය පවසා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අප වෙත එම තොරතුරු ලබා දී ඇති බැවින් තොරතුරු ලබාදීම අනවශ්‍ය බවයි. එය 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට හැකි හේතුවක් නොවේ. ඒ වනවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද ඒ වනවිට කිසිදු තොරතුරක් අප වෙත ලබා දී තිබුණේ නැත.
විදුලි සංදේශ නියාමන කොමිසමේ තොරතුරු නිලධාරී සුජීවා රෙඩ්රිගෝ දන්වා සිටියේ වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ දර්ශනය වීම අවහිර කිරීම අවශ්‍ය අවස්ථාවන්හි දී ඒ සම්බන්ධව ලැබෙන උසාවි නියෝග ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශ මගින් යොමු කරනු ලබන නියෝග සහ කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය මගින් කරනු ලබන නියෝග අදාල දුරකථන සේවා සමාගම් වෙත යොමු කිරීම පමණක් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් සිදුකරන බවයි. නමුත් මෙය අප විමසූ අදාළ තොරතුරු මඟ හැරීමකි.
ඒ අනුව මෙම ආයතන දෙකේ ම නම්කළ නිලධාරී වෙත අභියාචනා ගොනුකළ අතර නම්කළ නිලධාරීන්ගේ පිළිතුර වූයේ ද තොරතුරු නිලධාරී ලබාදුන් පිළිතුර අනුමත කරන බවයි.
තොරතුරු නොලැබීම සම්බන්ධයෙන් අපි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළෙමු. එම අභභියානය කැඳවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලික සමාගමකින් නීතිඥයන්ගේ සේවය ලබාගනිමින් ලිඛිත විරෝධතා පවා ගොනුකර තිබිණි.
එහි දී ඔවුන් තම සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ සවිස්තරාත්මත වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ටෙලිකොම් සමාගම සතු කොටස්වලින් 100%ක් ම විවිධ සමාගම් සතු බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පොදු අධිකාරියක් නොවන බවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, එවකට තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින රජයට කොටස් හිමි ව්‍යාපාරයක් බව එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් හිතාමතාම අමතක කර තිබිණි. එහි සභාපතිවරයා පත්කරන්නේ ද රජය විසිනි. එලෙස තමන් පොදු අධිකාරියක් නොවන්නේ යැයි තොරතුරු ලබාදීම මඟ හැරීම සඳහා ටෙලිකොම් ආයතනය පවසන අවස්ථාව වනවිටත් ටෙලිකොම් ආයතනයේ නිල වෙබ් අඩවියේ තොරතුරු දැනැගැනීමේ පනත සම්බන්ධ විස්තර ඇතුළත්ව තිබෙනු දැකිය හැකි විය. එපමණක් නොව අප ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද්දේ තොරතුරු නිලධාරී සහ නම් කළ නිලධාරී විසින් බවත්, එවැනි නිලධාරීන් පත්කරන්නේ පොදු අධිකාරියක බවත් එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නොදැන සිටීම පුදුමයට කරුණකි.
අප ඉල්ලා ඇති තොරතුරු හෙළිදරව් කිරීමෙන් පුද්ගලික කරුණු අනාවරණය වන බවත්, අන්තර්ජාල සේවා අවහිර කර ඇත්තේ අධිකරණ නියෝග, ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශ වැනි ආයතන වෙතින් කරන ලද ඉල්ලීම් නිසා බැවින්, වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ එම තොරතුරු තෙවැනි පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි.
අධිකරණයකින් ලබාදෙන නියෝගයක් හෝ රාජ්‍ය ආයතයකින් ලබාදෙන නියෝගයක් හෝ කිසිම අවස්ථාවක දී පුද්ගලික කරුණක් ලෙස සැළකිය නොහැකිය. එය පොදු කාර්යයකි. එමෙන් ම ඒවා ප්‍රසිද්ධියට පත්විය යුතු තීරණ, තීන්දු සහ නියෝගය ද වෙයි. ඒ අනුව මෙම තොරතුරු ලබාදීමෙන් වැළකීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හැකියාවක් නොමැත.
මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත් නියෝග කර සිටියේ අප විසින් ඉල්ලා ඇති සියලු තොරතුරු ලබා දෙන ලෙසයි.
ඒ අනුව තොරතුරු ලැබිණි. නමුත් ඒවා පරස්පර විරෝධී තොරතුරු බව ඔවුන් ලබාදුන් ලේඛන පරීක්ෂා කිරීමේ දී පෙනී යයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තොරතුරු නිලධාරී, සාමාන්‍යාධිකාරී ජයනි වර්ණකුලසූරිය ඇයගෙන් කළ තොරතුරු විමසීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය අවකාශ අවහිර කරනු ලබන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබන දැනුම් දීම් අනුව පමණක් බවයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරී සුජීවා රොඩ්රිගෝ දැනුම් දී තිබුණේ අධිකරණ නියෝග, පොලිසිය සහ ආරක්ෂක අංශවල ඉල්ලීම් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ දැනුම් දීම් අනුව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය අවකාශ අවහිර කරන බවයි.
මෙම ආයතන දෙක ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය අවකාශ අවහිර කිරීම නීත්‍යානුකූල ක්‍රමයකට සිදුකර ඇත්නම් එම ආයතන දෙකෙන් ම අප වෙත ලැබෙන ලේඛනවල සඳහන් විය යුත්තේ අවහිර කර ඇති ඩිජිටල් අවකාශයන් පිළිබඳ සමාන ලේඛනයකි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුශංක දිසානායක 2023-11-13 දිනැතිව එවන ලද තොරතුරු ලේඛනයේ දැක්වෙන්නේ වෙබ් අඩවි 42ක් අවහිර කර ඇති බවයි. එමෙන්ම යූටියුබ් නාලිකා 07ක් අවහිර කර ඇති බව ද එම ලේඛනයේ දක්වා ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් අයාතනය විසින් අවහිර කර ඇති වෙබ් අඩවි ලේඛනයක් 2023 ජූලි 04 වැනි දින අප වෙත එවා ඇති අතර එහි දැක්වෙන්නේ වෙබ් අඩවි 343ක් අවහිර කර ඇති බවයි. එම පිළිතුරු දෙක අනුව විදුලි සංදේශ නියාමන කොමිෂම දැනුම් දුන් අන්තර්ජාල අවහිර කිරීම් ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අවහිර කිරීම් කර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිසමට අනුව ඔවුන් විසින් දුරකථන සමාගම්වලට දැනුම් දී ඇත්තේ වෙබ් අඩවි 42ක් අවහිර කිරීමට නම්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් වෙබ් අඩවි 343ක් අවහිර කර ඇත්තේ කාගේ වුවමනාවකට ද ? කවර නම් නියෝගයකට ද ?
මෙම වෙබ් අඩවි අවහිර කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බලය ලබාදුන්නේ කවර නම් අධිකරණ නියෝගයකින් ද නැතිනම් ඒවා අවහිර කරන ලෙස ඉල්ලා ඇත්තේ කවරුන් විසින්ද යන්න අප විමසා තිබුණ ද ඔවුන් මේ දක්වා ම ඒ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් ලබා දී නැත.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙබ් අඩවි අවහිර කිරීම් සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩු 04ක් ඇති බව පමණක් සඳහන් කර තිබේ. නමුත් එම නඩුවලට අදාලව අවහිර කරන ලද වෙබ් අඩවි පිළිබඳ සඳහන් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් විස්තර ලබා නොදුන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අප ඒ පිළිබඳ නැවත නැවත්ත විමසා සිටිය ද ඔවුන් එම තොරතුරු ලබා දෙන්නේ නැත.
නමුත් ඔවුන් විසින් අවහිර කර ඇති වෙබ් අඩවි සහ එම වෙබ් අඩවි සම්බන්ධයෙන් අප වෙත එවා ඇති සබැඳි පරීක්ෂා කළ විට හේතුව අනාවරණය වෙයි.
ඔවුන් අවහිර කර ඇත්තේ ඒ ඒ කාලවල දී ශ්‍රී ලංකවේ රාජ්‍ය බලය හෙබ වූ පාලකයන්‍ගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා හෙළි දරව් කරන ලද ඩිජිටල් අන්තර්ගත ය. මෙහි වඩාත් විහිළු සහගත දෙය වන්නේ අවහිර කරන ලද ඇතැම් අන්තර්ජලා පළකිරීම් වෙබ් අඩවි නොව ලිපි පමණක් වීමයි. ඔවුන් විසින් ලබාදුන් එම සබැඳි පරීක්ෂා කිරීමේ දී තහවරු වූයේ ඒවා එවකට සිටි දේශපාලන නායකයන්ගේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළිදරව් කරන ලද ලිපි බවයි.
විදුලි සංදේශ නියාමන කොමිසම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කර ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු බලය ඇති දේශපාලකයන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් අනුව මිස අධිකරණ නියෝග, ආරක්ෂක අංශයේ හෝ ළමා ආරක්ෂණ අධිකාරියේ ලිඛිත ඉල්ලීම් අනුව නොවන බව පැහැදිළිය. අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි කිහිපයක් ද හතනම් කර තිබෙන බව අප කරන ලද පිරික්සුම්වල දී තහවරු විය.
එයින් පැහැදිළි වන්නේ වෙබ් අඩවි වැඩි ප්‍රමාණයකට බාධා එල්ල කර ඇත්තේ කිසිම නීත්‍යානුකූළ භාවයක් නොමැතිව බව යි.
දෙමළ කතාකරන පිරිසක් විසින් පවත්වාගෙන ගිය ටැමිල් නෙට් වෙබ් අඩවිය එල්ටීටීඊ සංවිධානයට හිතවාදී බව පවසමින් 2007 ජුනි මස 19 වැනි දා ශ්‍රී ලංකා රජයේ නියෝගයක් මත අවහිර කර තිබිණි. පසුව් 2015 දී බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකින් එම තහනම ඉවත් කෙරිණි
2017-11-18 වැනි දා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය අධයක්ෂවරයා යැවූ ලිපියකට අනුවය. එයට හේතු වූයේ ජනාධිපතිවරයාට එරෙහිව ලිපි පළවීමයි.
අනෙකුත් වෙබ් අඩවි අවහිර කිරීම් සම්බන්ධයෙන් තවමත් පැහැදිළි තොරතුරක් නොමැති වුවත් තවමත් ඒවායේ තහනම ක්‍රියාත්මක වෙයි.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ තහනම පසුගිය මහ මැතිවරණ පැවැත්වීමට පෙර දිනයේ එනම් 2024-11-13 වැනි දින ඉවත් කෙරිණි. එය ඉතාමත් සාධනීය පියවරකි. නමුත් තහනම ඉවත් කළ යුත්තේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පමණ ද ?
මෙරට දේශපාලනඥයන්ගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා හෙළිදරව් කළ වෙබ් අඩවි කිසිදු නීත්‍යානුකූළ පියවරක් අනුගමනය නොකරමින් වාරණයට ලක්කිරීමට උපදෙස් සහ මෙහෙයවීම් කටයුතු සිදුකරන ලද දේශපාලන හෙංචයියලා සිදුකර ඇත්තේ මෙරට ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වැට බැඳීමයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වැනි රාජ්‍ය ආයතනවල තනතුරු දරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින ඔවුන් එය අමු අමුවේ ම උල්ලංඝනය කර තිබේ.
වෙබ් අඩවි වෙත එලෙස “නිල නොවන වාරණ“ පැනවීමට අයිතියක් තිබේ ද ? ජනතාව ප්‍රශ්න කළ යුතුය.
දේශපාලකයන් සහ රාජ්‍ය බලධාරීන් කොතරම් වාරණ පැනවුව ද තාක්ෂණය දන්නා ශ්‍රී ලාංකිකයෝ ඒ වාරණ මඟ හැර වීපීඑන් යොදා ගනිමින් වෙබ් අඩවි කියවීමට පුරුදු වූහ. වසර 07ක පමණ කාලයක් වාරණය කර තිබූ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලාංකික පාඨකයන් විසින් කියවන ලද්දේ වීපීඑන් යොදාගනිමිනි.
එවැනි තාක්ෂණයක් හමුවේ ‘නිල නොවන වාරණ‘ ඵලදායී නැත. නමුත් එසේ ඵලදායී නොවේ යැයි කියා දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හෙංචයියලාට හිතූ හිතූ ආකාරයට මේ රටේ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට ද ඉඩ නොදිය යුතුය.
මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් දැඩි වගකීමක් තිබේ.
හිටපු දේශපාලකයන්ට එරෙහි වූ නිසා ම වාරණයට ලක් වූ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට නිදහස ලබාදුන් ආකාරයට ම නිදහස හිමිවිය යුතු වෙබ් අඩවි තවත් සිය ගණනක් තිබේ. ඒවා නිදහස් කිරීම වත්මන් රජයේ වගකීමයි. එපමණක් නොව නීත්‍යානුකූළ ක්‍රමවේදයකින් තොරව අවහිර කර ඇති සියලු වෙබ් අඩවි, සමාජ මාධ්‍ය අවකාශ සහ අන්තර්ගත නිර්මාණ කරුවන්ගේ මෙන්ම රටේ පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කළ යුතුය. මේ සම්බන්ධයෙන් වගකීම වත්මන් රජය දැරිය යුතුය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලැබුණු පිළිතුරු ලිපි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ලිපිය