spot_img
spot_imgspot_img

PCR යන්ත්‍රවලින්, ගසාකෑවේ කවුද ?

පුවත්

විදෙස්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 රජයේ විනිවිදභාවය සඳහා වන වගවීම, විශ්වාසය සහ ඵලදායී පාලනයක් පෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල තීරණාත්මක අංගයකි. කෙසේ වෙතත්, දූෂණය, පුරවැසි අවිශ්වාසය සහ අකාර්යක්ෂමතාව ආදිය පිළිබඳ කනස්සල්ලට තුඩු දෙන විනිවිදභාවයේ වගකීම්වලින් ඈත්ව  කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ  පාලන තන්ත්‍රයෙන් මෙන් ම රාජ්‍ය ආයතන වෙතින් ගිලිහීයාම අද වන විට සාමන්‍යකරණයට ලක්වූ දෙයක් බවට පත්ව තිබේ.

 ශ්‍රී  ලංකාවේ රජයේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නය රටේ ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන භූ දර්ශනය සහ මහජන විශ්වාසය කෙරෙහි ඇති කරන බලපෑම සැලකිය යුතු කතාබහකට ලක් වූයේ පසුගිය වසර කිහිපයේ දී  ලෝකය ම වෙලා ගත් කොවිඩ් වසංගතයත් සමඟ ය. කොවිඩ් උවදුරත් සමඟ මෙරටට ලැබුණු මූල්‍ය ආධාර, ණය මෙන්ම වෙනත් සම්පත් හා ඒවා පරිහරණය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වූ නමුත් බොහෝ අවස්ථාවල ඒවා හුදෙකලා ප්‍රශ්න  බවට පමණක්  පත්විය. මෙම ගවේෂණාත්මක කතාවෙන් මතු කිරීමට උත්සාහ ගන්නේ කොවිඩ් අවදානම දුරැලීම පිණිස ශ්‍රී ලංකා රජය  මෙන් ම රාජ්‍ය  ආයතන ද රටේ මහජන මුදල් හා විදෙස් ණය හා ආධාර භාවිත කළ ආකාරය යි.

 ලෝකයේ වේගයෙන් පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල සමාජ ආර්ථික පදනම් දෙදරා ගිය අතර ආර්ථිකය  කඩා වැටීමේ ඉරණමට සංවර්ධිත රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද එකසේ මුහුණ දෙන්නට සිදු විය. මේ තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටවලට දරාගැනීමට  හැකි දෙයක් නොවුණු බැවින් කොවිඩ් අවදානම දුරැලීම පිණිසත්, රටවල ආර්ථික ධාරා කිසි මඟක දිවවීමටත් ලෝකයේ බොහෝ සංවිධානවල මූල්‍යමය සහාය ඒ ඒ රටවල් සඳහා ප්‍රදාන හා ණය ලෙස ලබාදීම සිදු විය.

මෙහිදී කොරෝනා වසංගත තත්වයෙන්  ශ්‍රී ලංකාවට  සිදුවූ බලපෑම පදනම් කර ගනිමින්  2020.ජුලි 30 වනදා වනවිට  ප්‍රදාන ලෙස   ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 (1900000)ක් , එක්සත් ජාතීන්ගේ අරමුදලින් (UNFPA ) ඩොලර් 2,12,260ක් , UNICEF  වෙතින් ඩොලර් 1,25,000ක් , ආසියානු සංවර්ධන බැංකුව(ADB) මගින් ඩොලර් මිලියන 300 (300000000) ක මුදලක් ද ගෝලීය අරමුදල මගින් ඩොලර් මිලියන1.1  (1,194,424) ක් ද ලැබී තිබේ. ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් (WP) ඩොලර් මිලියන128ක් (128,000,000) ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

  ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසයේ බලපෑම සිදුවූ දින සිට 2021වසරේ දෙසැම්බර් 31 වැනි දා දක්වා   විටින් විට විදේශීය හා දේශීය  සංවිධාන  මගින් ප්‍රදාන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් (1992608922.62) ලැබී තිබිණි. එම කාලය වන විට  ඉන් වියදම් කර තිබුණේ  රුපියල් මිලියන 197ක් (197476824.06 ) බවත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාගත් තොරතුරුවලින් අනාවරණය විය.

  මේ තත්ත්වය මත ශ්‍රී ලංකා රජයට ලැබුණු බොහෝ ආධාර හා  ණය  විවිධ ආකාරයෙන් අවභාවිත වන බව විවිධ වෘත්තීය සමිති හා සිවිල් සමාජය මඟින් දිනෙන් දින චෝදනා එල්ල කළ කාරණයක් වේ. කොරෝනා යැයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂා කිරීම සඳහා නැඟෙනහිර කොළඹ රෝහලේ පිහිටුවූ PCR යන්ත්‍රයක් අක්‍රියවීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල 20,000කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙන බව පවසමින් 2020 ඔක්තෝම්බර් මස 20 දින ලංකා C නිවුස් වෙබ් අඩවියේ පුවතක් පළව තිබිණි.  ඒ ගැන අදහස් දක්වමින් රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කර තිබුණේ  මෙම යන්ත්‍රය ටෙන්ඩර් පරිපාටිවලට පරිබාහිරව ගෙන්වා ඇති බවත්, මෙරට එහි දේශීය නියෝජිතයා වශයෙන් එක් පුද්ගලයකුගේ නමක් පමණක් සඳහන් කර ඇති බවත් ය.

(තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සෞඛ්‍යඅමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු)

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පවතින සැබෑ තත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සෞඛ්ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්යාංශය මගින් 2023/01/30, දිනැතිව ලිපි අංක MH/RTI/A/04/2023 යටතේ  තොරතුරු පනත හරහා ලබාගත් PCR යන්ත්ර ගෙන්වීමට අදාළව    ලබාදුන්  තොරතුරුවලට අනුව 2020 වර්ෂය දක්වා වූ කාලයේදී පමණක් මුල්ලේරියාව රෝහල හැර  මෙරට රජයේ රෝහල් හා ආයතන 09ක් සඳහා PCR පරීක්ෂණ යන්ත්ර  14ක් හා ඊට අදාළ උපකරණ ගෙන්වීමට සෞඛ්ය අමාත්යාංශය වැය කර ඇත්තේ  රුපියල් මිලියන 55ක (කෝටි පහක් පමණ /55,028,540.00) පමණ මුදලක් බව අනාවරණය විය.

රුපියල් මිලියන 209ක් වැයකළ මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රය 

එමෙන්ම යම් ආන්දෝලනයකට තුඩු දුන් මුල්ලේරියාව රෝහල වෙත එක් PCR යන්ත්රයක් හා උපකරණ ගෙන්වීමට පමණක් සෞඛ්ය අමාත්යංශයේ සෞඛ්ය අංශය වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය (Health Sector Enhancement Project) මඟින්  එකවර රුපියල් මිලියන 250කට අධික මුදලක්   වැය කර තිබෙන බව සෞඛ්ය  අමාත්යාංශය තොරතුරු දැනගැනීමේ පනත යටතේ  ලබාදුන් තොරතුරු මෙන්ම මුල්ලේරියාව රෝහල මගින් 2022/08/26 දිනැතිව ලිපි අංක CEBH/PL/2020/PCR/LAB  යටතේ තොරතුරු පනත හරහා ලබාගත් PCR යන්ත්ර ගෙන්වීමට අදාල තොරතුරු විශ්ලේෂණය මගින් අනාවරණය කර ගැනීමට හැකි විය.

කොවිඩ් තත්ත්වය හමුවේ ජාතික PCR පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ  මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකළ විශේෂ අනුක ජීවී විද්‍යා පරීක්ෂණ, රසායනාගාරයේ ස්ථාපනය කිරීම වෙනුවෙන් මිලදී ගත් PCR යන්ත්‍රය සඳහා වැය කර තිබූ මුදල රුපියල් මිලියන 209කට(209850387) හෙවත් රුපියල් විසි කෝටි අනු අට ලක්ෂ පනස්දහස් තුන්සිය අසූහතකට අධික විය. එම මුදල ගෙවා චීනයේ M/S BGI Health (HK) CO.LTD ආයතනයෙන් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇත්තේ ඒ සඳහා දේශීය නියෝජිතයකු නොමැති අවස්ථාවක බවත්, එහිදී විශාල වංචාවක් සිදුවී ඇති බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නට වූයේ මේ අතරතුර ය.

කෝටි 17ක් වටිනා PCR යන්ත්‍රයක් හා උපකරණ?

මේ ආකාරයෙන් ගෙන්වූ PCR යන්ත්‍රයේ හා උපකරණවල වටිනාකම  අමෙරිකා ඩොලර් (USD)  – 943312 වන අතර එය එවක කාලීන ඩොලරයේ  වටිනාකම (189.26 ) මත  රුපියල් මිලියන 178ක් (178531229.12) එනම් රුපියල් දාහත්කෝටි අසුපන්ලක්ෂ තිස්එක්දහස් දෙසිය විසිනමයක් විය. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ අනෙකුත් PCR යන්ත්‍ර 14ක් වෙනුවෙන් වැයකර ඇත්තේ රුපියල් මිලියන 55ක් පමණක් වීම නොව  මුල්ලේරියාව රෝහලේ  ස්ථාපනය කළ අදාළ PCR යන්ත්‍රය උපකරණ  වෙනුවෙන් එය ගෙන්වීමට ගුවන්යානා ගාස්තු ඇතුළුව සමස්ත වියදම  රුපියල් මිලියන 209කට(209850387) අධික වීම ය. අනෙකුත් සෑම රෝහලක ම  PCR රසායනාගාරවල ස්ථාපනය කෙරුණු එක් PCR යන්ත්‍රයක සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 40ට අඩු අගයන්වල පැවතියත් මුල්ලේරියාව රෝහලේ  ස්ථාපනය කළ අදාළ PCR යන්ත්‍රය වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 54කට (5488540) අධික මුදලක් යොදවා තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සෞඛ්‍යඅමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ්  අවධාරණය කරන්නේ මේ වෙනුවෙන් ගෙන්වූ උපකරණ හා ද්‍රව්‍ය වෙනුවෙන් එවක වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩියෙන් ගෙවා ඇති බව ය.

 සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත (රජයේ රෝහල් හා වෙනත් ආයතන සඳහා ) අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම  සඳහා අවසර ලබා දී තිබෙන ලියාපදිංචි සමාගම් හෝ පුද්ගලයන් සිටියි. ඒ ආකාරයෙන් 2020 වර්ෂයේදී මේ සඳහා සමාගම්16ක්, 2021දී සමාගම් 34ක් හා 2022 දී සමාගම් 26ක් ලියාපදිංචිව සිට ඇත. මේ සම්බන්ධයෙන් සෞඛ්ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්යාංශය මගින් තොරතුරු පනත යටතේ 2022.08.19 දින ලිපි අංක HSEP/PMU/Information/2022 හරහා ලබා ගත්  සෞඛ්ය අමාත්යාංශය වෙත (රෝහල් හා වෙනත් ආයතන සඳහා) අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම  සඳහා අවසර ලබාදී තිබෙන ලියාපදිංචි සමාගම් සම්බන්ධ තොරතුරු අනුව  මෙරටට  ගෙන්වූ  PCR යන්ත්ර කීපයක් සෞඛ්ය අමාත්යාංශයේ ලියාපදිංචි සමාගම්වලට පරිබාහිර සමාගම් වන IMS Holdings (PVT)Ltd ,Microtech Biological(PVT)Ltd , Analytical instruments (PVT)Ltd Rs , Analytical instruments (PVT)Ltd වෙතින් මිලදී ගෙන ගෙන්වා තිබෙන බව  සෞඛ්ය අමාත්‍යාංශය ලබාදුන් අදාළ තොරතුරුවලින් අනාවරණය විය. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සමාගම්වල දේශීය නියෝජිතයන් මඟහරිමින් මේ ආකාරයේ මිලදී ගැනීම් සිදු කිරීකළ නොහැකි බව රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙයි.

  ‘’දේශීය හෝ විදේශීයව අපිට හම්බවෙන අරමුදලකින් රසායනාගාරයක් හදනවා නම් අපි මුලින්ම බලන්න ඕන අපේ අවශ්‍යතාවට සැපයීම් කළ හැකි  ශ්‍රී  ලංකාවේ රසායනාගාර උපකරණ සැපයිය හැකි අය ඉන්නවද කියල, බැරි වුණොත් විදේශීය ආයතයක් වෙත හැරෙන එක වෙනම දෙයක්. ඒත් මෙම  රසායනාගාරය සෑදීමේ දී  මෙරට සේවා සපයන්නන්ට ඒ සඳහා සේවා ලබා දිය නොහැකි ලෙස මුලින් ම ආධාර දෙන ආයතනයට පැවසීමෙන් පසුවයි ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ සඳහා අරමුදල් අරගෙන තියෙන්නේ’’

  ‘’අපි ප්‍රශ්න කරනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් අරමුදල් ලබා දෙද්දි තිබුණු කොන්දේසි මොනවද කියල. මෙයින් පැහැදිලි වෙන්නෙ තමන්ට වුවමනා ජාත්‍යන්තර සැපයුම්කරුවෙක් කලින් තෝරා ගෙන අදාළ මිලදී ගැනීම් ඒ මඟින් සිදු කර ගත් බවයි. ප්‍රශ්නය  එන්නේ චීනයේ BGI සමාගම විතරක් මේකට තෝරාගත්තේ කොහොමද කියලා. එම සමාගමට ශ්‍රී ලංකාවේ සේවා සපයන්නෙක් නෑ. ඒවගේ දේශීය නියෝජිතයෙක් නොමැතිව තමයි මේ රසායනාගාරය හදන්න පටන් ගත්තේ.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රමවේදය අනුව ඒකත් වැරදියි. මේ සමාගම සඳහා දේශීය නියෝජිතයෙක් සම්බන්ධ කර ගෙන තිබුණේ ඉන් පස්සේ’’

රසායනාගාර සේවා මඟ හැරීම

රසායනාගාර ගොඩනඟා ගැනීමේදී ඒ හා සම්බන්ධ ප්‍රවීණයන් සිටින රසායනාගාර සේවා හරහා එය සිදු කළ යුතු වුවත් පූර්වයෙහි සිදු කළ වංචාසහගත කටයුතු වසන් කිරීම වෙනුවෙන් එම පියවර ද මඟහැර මේ කටයුතු කර තිබෙන බව ද කුමුදේශ් අවධාරණය කරයි.

‘’ සාමාන්‍යයෙන් මේ වගේ රසායනාගාර හදන්නේ රසායනාගාර සේවාවල උපදෙස් හා මඟ පෙන්වීම හරහා යි.  මෙහිදී එම පියවර මඟහැරලා තමයි මෙම රසායනාගාරය හදන්නේ. සාමාන්‍යයෙන් එහෙම කරන්න බෑ. ඔවුන් කිසියම් උපක්‍රමශීලි බවකින් මේ කටයුත්ත සිදු කළා. එහිදී මේ පිළිවෙළ  මුල ඉඳලා ම අපිට ප්‍රශ්නයක් වුණු නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ ගැන ප්‍රශ්න කළා. අමාත්‍යාංශය අපට කිවුවේ මේක තාවකාලික රසායනාගාරයක් නොවේ, කොවිඩ් අවසන් වුණාට පස්සෙත් ක්‍රියාත්මක වනු පිණීස  දීර්ඝකාලීනව හදන රසායනාගාරයක් කියලා. ඒ නිසා තමයි මේ රසායනාගාරයට මිලියන 250 පමණ මුදලක් වැය වෙන්නේ කියන එක. ‘’

මිලියන 250කට සිදුවුණු දේ

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 250කට අධික ණය ආධාර මත මේ ආකාරයෙන් ඉදි කළ රසායනාගාරය අද වනවිට කිසිදු කටයුත්තකට භාවිත කළ නොහැකි තත්ත්වයට පත්වෙමින් යන බව රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් වැඩිදුරටත් පෙන්වා දෙයි.

‘’ මුල්ලේරියාව රෝහලේ රසායනාගාරය හදන්න  මිලියන 250කට අධික මුදලක් වැයකරලා  තියෙනවා.  ඒ සල්ලි ගත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ආධාරයක් ලෙස යි. මේ වගේ රසායනගාරයක් රුපියල්  මිලියන 40කින් පමණ හදන්න පුළුවන්. දීර්ඝකාලින රසායනාගාරයක් කිවුවට මේ රසායනාගාරය හදල තිබුණේ තාවකාලිකව සෘජිෆෝම් ස්ටයිල් එකේ බිත්තිවලින්. මෙම ආකෘතියේ ම සෘණ පීඩන සහිත,  මිට වඩා විශාල රසායනාගාරයක් හදන්නත් මෙච්චර මුදලක් වැයවෙලා තිබුණේ නෑ. මෙවන් මුදලක් වැයකරලා හදපු මුල්ලේරියාව රෝහලේ රසායනාගාරය අද පැත්තක දාලා තියෙන්නේ. ඒ කිසිදු ආකාරයේ වැඩකට භාවිත කරන්න බැරි තත්ත්වයකට අද පත්වෙලා.’’

(රුපියල් මිලියන 250ක වියදමින් මුල්ලේරියාව රෝහලේ ඉදිකළ රසායනාගාරයේ වර්තමාන තත්වය )

 අප සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩනඟන වර්ග අඩි 3444ක් පමණ විශාලත්වයකින් යුත් අංග සම්පුර්ණ රසායනාගාරයේ ගොඩනැඟිල්ලට වියදම් වී ඇත්තේ මිලියන දෙකක (2392570) පමණ මුදලක් බව ය.  මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකළ වර්ග අඩි 2132ක පමණ විශාලත්වයකින් යුතු රසායනාගාරයේ ගොඩනැඟිල්ල වෙනුවෙන් පමණක්  රුපියල් මිලියන 40  මුදලක් වැය කර තිබේ. මෙවන් විශාල මුදලක් වැය කරමින් තැනු මෙම තාවකාලික ගොඩනැඟිල්ලේ  විශේෂත්වය කුමක්ද? එය රැක ගැනීමට නිසි ක්‍රමවේදයක් සකසා නොමැත්තේ කුමන කාරණයක් නිසාද?

  මෙම කාරණා සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා ) වෛද්ය ජි .සුරංග දොලමුල්ල මහතාගේන් කළ විමසීමකදී කියා සිටියේ මෙම මිලදී ගැනීම් සිදුකර තිබෙන්නේ තමන් මෙම තනතුරට පැමිණීමට පෙර දී බව ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය හැකි  නිලධාරියෙකු සම්බන්ධ කිරීමට උත්සාහ කරන බව ද හෙතෙම කියා සිටියේය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැනගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පි.ජි .මහිපාල මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කීපයකදී උත්සහ කරනු ලැබුවත් එයද ව්‍යර්ථ විය

වැඩි ලංසුවට ගිය PCR යන්ත්‍ර ටෙන්ඩර්

සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ලබා දුන් අනෙකුත් තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී පෙනී ගිය තවත් කාරණයක් වන්නේ PCR යන්ත්‍ර ගෙන්විමේ දී ඒ සඳහා අඩු ලංසු ලබාදී තිබෙන ආයතන තිබිය දී වැඩි ලන්සු ලබා දුන් ආයතන වෙත එම ටෙන්ඩර් ලබාදී ඇති බව ය.

ඒ ආකාරයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතයන වෙනුවෙන් ලබාගෙන තිබෙන PCR යන්ත්‍රය වෙනුවෙන් ආයතන හතරක් මිල ගණන් ඉදිරිපත්කර තිබිණි. එම මිල ගණන් අතර IMS Holdings (PVT)LtdRs  4,650,000.00, Microtech Biological(PVT)Ltd , Rs 3,800,000.00, Analytical instruments (PVT)Ltd Rs  3,494,000.00 , Analytical instruments (PVT)Ltd Rs  5,223,520.00 ආදී ලෙසින් මේ ආයතන මිල ගණන් ඉදිරිපත්කර තිබිණි. එහිදී ටෙන්ඩරය ලබා දී ඇත්තේ රුපියල් 3,800,000.00 මිලක් ඉදිරිපත් කළ Microtech Biological (PVT) Ltd වෙතට වේ. ඒ ආකාරයෙන්ම  යාපනය රෝහලට අවශ්‍ය PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට 2020.09.23 පැවැත්වූ ටෙන්ඩර් මණ්ඩලයේ දී එහි ටෙන්ඩරය හිමිවී ඇත්තේ තවත් අඩු මිලට ඉදිරිපත් කිරීම් කීපයක් එහි තිබියදී ය. සෞඛ්‍ය අමාත්‍යංශය මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකදී ම කටයුතු කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ  සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබාදුන් තොරතුරුවලින්ම අනාවරණය කර ගැනීමට හැකි විය.

(අඩු ලංසුවට කළ ඉදිරිපත් කිරීම් තිබියදී ඉහළ ලංසු වෙනුවෙන් ටෙන්ඩර් අනුමැතිය ලබාදී තිබෙන අයුරු )

(තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සෞඛ්‍යඅමාත්‍යාංශය මගින් ලබාගත් PCR යන්ත්‍ර ගෙන්වීමට ඉදිරිපත්වූ මිලගණන් ඇතුලත් ලේඛන)

ඉහත කාරණා සියල්ල සැලකිල්ලට ගැනීමේ දී අනාවරණය වන්නේ කොවිඩ් වසංගත සමයේදී මෙරටට  ලැබුණු ණය මෙන් ම ආධාර මුදල්වලින් සැලකිය යුතු කොටසක් සුක්ෂමව අවභාවිත වී ඇති ආකාරය යි.  මෙම මුදල් අවභාවිත කර ඇත්තේ කවුරුන් ද? ඒ පිළිබඳ තොරතුරු  අනාවරණය කර ගන්නට විධිමත් පරීක්ෂණ ඇරඹී තිබේද? මේ හා සම්බන්ධ පිරිස් අරබයා නීත්‍යනුකුලව පියවර ගැනීමක් ඉදිරියට සිදු වන්නේ ද යන ගැටලුවලට සැබෑ පිළිතුරු  විනිවිදභාවයකින් යුතු රජයක් වෙතින් මහ ජනතාව අනිවාර්යයෙන් බලාපොරොත්තු වන්නකි.

(මුල්ලේරියාව රෝහලේ ඉදිකළ රසායනාගාරය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!