පුද්ගලික වියදමින් රෝහලක් සාදා රජයට දුන් උත්තුංග මිනිසෙක් (වීඩියෝ)

0
262

කොරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට තීරණය කර ඇති හික්කඩුව ආරච්චිකන්ද රෝහල වෙනුවෙන් පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද මාතෘ හා ළමා වාට්ටුවක් අද (18) ජනතා අයිතියට පත්කරන ලදී.

ගෝනාපීනුවල පදිංචි ආර්.කේ.කුලතිස්ස (87) සහ එම මහත්මිය (86) විසින් තම ව්‍යාපාරවලින් උපයාගත් මුදලින් රුපියල් කෝටි 05කට ආසන්න මුදලක් වැය කර මෙම වාට්ටුව ඉදිකර තිබේ. දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති එය රසායනාගාරයක්, වෛද්‍ය හා හෙද විවේකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.

මෙම ගොඩනැගිල්ල විවෘතකිරීමේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහොන් පී. ද සිල්වා මහතා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්න්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ.

ගෝනාපීනුවල දී උපත ලද කුලතිස්ස මහතා වයස අවුරුදු 17 දී තිස්සමහාරාමයේ ව්‍යාපාරයක් ආරම්භ කර සිටි සිය මුත්තණුවන් සමග එහි ගොස් තිබේ. තිස්සමහාරාමයේ සිටිමින් තම මුත්තණුවන් සමග ව්‍යාපාර කරගෙන ගිය ඔහු පසුව තනිවම තම ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇති අතර ඉන්ධන පිරවුම් හල්, පුවත්පත් බෙදාහැරීමේ ආයතන, සිල්ලර වෙළෙඳ සැල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාර ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබේ. පාසල් ගුරුවරියක වූ සිය බිරිඳ සමඟ මේ ව්‍යාපාර දියුණු කළ හෙතෙම ව්‍යාපාරවලින් උපයාගන්නා ධනය පොදු කටයුතු සඳහා වැය කරයි.

මෙම රෝහල ඉදිකිරීම පිළිබඳ අදහස් දැක්වූ ආර්.කේ.කුලතිස්ස මහතා මෙසේ කීවේය.

“මම දැන් ව්‍යාපාරකටයුතු වල යෙදුනත් ඒක වෙනත් අයට භාරදීලා තියෙන්නේ. ගොඩක් ආගමික වැඩ කටයුතු වලටම මුදල් යෙදෙව්වා. ඒ වගේ ම මගේ ලොකු ආසාවක් තිබුණා රෝහලක් හදන්න. ඒක තිස්ස මහාරාමයේ කරන්න හදනවිට පවුලේ අනිත් අයගෙන් ඉල්ලීමක් තිබුණා ගමේ රෝහලේ වාට්ටුවක් හදන්න කියලා. මගේ ආසාව තිබුණේ ළමා හා මාතෘ වාට්ටුවක් හදන්න. ඒ සඳහා තමයි ආර්.කේ.කුලතිස්ස සුව සෙවණ හැදුවේ. නමුත් දැන් සෞඛ්‍ය අංශ අපෙන් ඉල්ලීමක් කළා මේ වාට්ටුව කොරෝනා රෝගීන්ට දෙන්න කියලා. මොනවා වුණත් ලෙඩ්ඩු ඇතුළු කරන්නනේ දෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේ කඩිනමින් මේක භාර දෙනවා. තට ටිකක් අඩුපාඩු තියෙනවා. කොරෝනා වසංගතය ඉවරවුණාම නැවත ඒ අඩුපාඩු ටික අපි සම්පූර්ණ කරලා ළමා හා මාතෘ වාට්ටුව්ක් මෙහි ඇතිකරන්න කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here