මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ යෝජිත ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් දැඩි කනස්සල්ල පළ කරමින්, මූලික අයිතිවාසිකම් සහ නිදහස කෙරෙහි ඒවායේ ඇති විය හැකි බලපෑම පිළිබඳව අනතුරු අඟවා තිබේ.
ඔන්ලයින් ආරක්ෂණ පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරිය පනත් කෙටුම්පත සහ රාජ්‍ය නොවන සංවිධාන අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ පනත ඇතුළු නව නීති කිහිපයක් හඳුන්වාදීම සම්බන්දව ඒහිදී මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.
“මෙම නීති පනවනු ලැබුවහොත්, විධායකයට, ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබා දිය හැකි අතර, රැස්වීමේ, සංගමයේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා කළ හැකිය,” ඔහු පැවසීය.
එපමනක් නොව, දරිද්‍රතා මට්ටම් ඇස්තමේන්තුගත 27.9% දක්වා ඉහල යාම සහ ගෘහස්ථ ආදායමේ සැලකිය යුතු පහත වැටීමක් සමග ශ්‍රී ලංකාව තුල පවතින ආර්ථික අර්බුදය සම්බන්දව ද ටකර් අවධාරනය කලේය.
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා, වසර 15 කට පෙර සිවිල් යුද්ධයේ අවසානය දක්වා දිවෙන මානව හිමිකම් කඩවීම්, නොවිසඳුණු අතුරුදහන් කිරීම්, ඉඩම් ආරවුල් සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පොරොන්දු වූ බලය බෙදා හැරීමේ ඌනතාවයන් පිළිබඳව ද අවධානය යොමු කළේය.
තවද, සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා වූ කොමිෂන් සභාවක් සඳහා නීති කෙටුම්පත් හඳුන්වා දී තිබියදීත්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම ගැන ටර්ක් කනස්සල්ල පළ කළේය. සිවිල් සමාජ නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් නිරීක්ෂණය කිරීම, හිරිහැර කිරීම සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ චෝදනා දිගටම පවතින අතර, වගවීම සහ සත්‍ය සෙවීම සඳහා කරදරකාරී පරිසරයක් පෙන්නුම් කරන බවද හෙතෙම පැවසීය.
2010 වසරේදී පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරුකර ඇති අයෙකු පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද අවධානයෙන් පසුවන බව ඔහු පැවසීය.
ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු පැහැරගැනීම්, නීතිවිරෝධී රඳවා තබාගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳ වාර්තා ඉස්මතු කරමින්, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණවල හදිසි අවශ්‍යතාවය අවධාරනය කළේය. මෙම අභියෝග මධ්‍යයේ වුවද, අව්‍යාජ සංහිඳියාවක් සහ තිරසාර සාමයක් සඳහා ගැටුම් සහ ආර්ථික අර්බුදයේ මූල හේතු ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා යළිත් අවධාරණය කළේය.
මහකොමසාරිස්වරයා මෙසේ ද පැවසීය,
“ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රවර්ධනය කිරීමට මගේ කාර්යාලය අඛණ්ඩව කටයුතු කරයි. එය අපරාධ යුක්තිය පිළිබඳ විමර්ශන සිදු කරන අධිකරණ බල ප්‍රදේශ කිහිපයකට සහාය ලබා දෙමින් සිටින අතර මානව හිමිකම් සම්බන්ධ විශේෂිත සිද්ධීන් මත එහි තොරතුරු සහ සාක්ෂි පදනම ගැඹුරු කරයි. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ පර්යේෂණ සහ වින්දිතයන් සමඟ උපදේශන පැවැත්වීම ද සිදු කර ඇත.
ප්‍රතිගාමී නීති සහ අධිකාරීවාදී ප්‍රවේශයන් සමඟ ශ්‍රී ලංකාව තුළ තිරසාර සාමය සහ සංහිඳියාව ළඟා කර ගත නොහැකි වනු ඇත.”