spot_img
spot_imgspot_img

මහා වනාන්තරයේ සැඟව තිබූ, දැවැන්ත නගරයක් හමුවෙයි

පුවත්

විදෙස්

මහා වනාන්තරයේ සැඟව තිබූ වසර 2,500ක් පමණ පැරණි දැවැන්ත නගරයක නෂ්ඨාවශේෂ සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ කියති.

මෙම නගර සොයාගෙන ඇත්තේ මෙතෙක් නොඉදුල් වනාන්තරයක් ලෙස සිතා සිටි ඇමසන් වනාන්තරයෙනි. නැගෙනහිර ඉක්වදෝරයේ උපනෝ ප්‍රදේශයෙන් මේ නගරය හමු වී ඇති අතර එහ නිවාස, දැවැන්ත ගොඩනැගිලි, විස්මිත මාර්ග සහ ඇළ මාර්ග ජාලයක් තිබූ බව ද මේ වනවිට තහවරු කරගෙන ඇත.

මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ ගිනිකන්දක බලපෑම් සිදුවන ප්‍රදේශයේය. නගරය දියුණුව තිබුණ ද එහි විනාශයට හේතුවන්නට ඇත්‍තේ ද මේ ගිනිකන්ද බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරයි.

පේරු හි මචු පික්චු වැනි දකුණු ඇමරිකාවේ උස්බිම් වල නගර ගැන අපි දැන සිටියත්, මිනිසුන් ජීවත් වන්නේ සංචාරශීලීව හෝ ඇමේසන් හි කුඩා ජනාවාසවල පමණක් බව මෙතෙක් විශ්වාස කෙරිණි.

“මෙය ඇමේසන් හි අප දන්නා වෙනත් ඕනෑම පුරාවිද්‍යාත්මක භූමියකට වඩා පැරණියි. අපට ශිෂ්ටාචාරය පිළිබඳ යුරෝ කේන්ද්‍රීය දැක්මක් තිබෙනවා. නමුත් මෙයින් පෙන්නුම් කරන්නේ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය යනු කුමක්ද යන්න පිළිබඳ අපගේ අදහස වෙනස් කළ යුතු බවයි.” යනුවෙන් පර්යේෂණය මෙහෙය වූ ප්‍රංශයේ විද්‍යාත්ක පර්යේෂණ මධ්‍යස්ථානයේ, ජාතික විමර්ශන අධ්‍යක්ෂ මහාචාර්ය ස්ටීවන්

“එය අපි ඇමසෝනියානු සංස්කෘතීන් දකින ආකාරය වෙනස් කරාවි. තවමත් මේ ප්‍රදේශවල ජීවත්වන  බොහෝ මිනිසුන් කුඩා කණ්ඩායම් නිරූපණය කරනවා. ඇතම්විට සමහරවිට නිරුවත්, පැල්පත්වල ජීවත් වීම සහ ඉඩම් එළිපෙහෙළි කිරීම සිදුකරනවා. නමුත් මේ නව සොයාගැනීම මගින් පෙන්නුම් කරන්නේ පැරණි මිනිසුන් සංකීර්ණ නාගරික සමාජවල ජීවත් වූ බවයි,”

මෙම පර්යේෂණයේ සාමාජිකයකු වූ  ඇන්ටොයින් ඩොරිසන් එසේ කීවේය.

පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසය වන්නේ මෙම නගරය ඉදිකර ඇත්තේ වසර 2,500 කට පමණ පෙර බවයි. පුරාවිද්‍යාඥයින් පවසන පරිදි එහි මිනිසුන් වසර 1,000ක් පමණ ජීවත් වන්නට ඇත.

එහි එකවර කී දෙනෙක් ජීවත් වූවාද යන්න නිවැරදිව තක්සේරු කිරීමට අපහසු නමුත් විද්‍යාඥයන් පවසන්නේ එය නිසැකව ම දස දහස් ගණනින් හෝ ලක්ෂ ගණනින් විය හැකි බවයි.

පුරාවිද්‍යාඥයින් විසින් ගොඩබිම් කැණීම් ඒකාබද්ධ කරන ලද අතර, ඝන ශාක හා ගස් යට නගරයේ නටබුන් හඳුනාගත හැකි ගුවන් යානයක සවිකරන ලද ලේසර් සංවේදක භාවිතයෙන් වර්ග කිලෝමීටර් 300 (වර්ග සැතපුම් 116) ප්‍රදේශයක් මේ වනවිට සමීක්ෂණයට ලක්කර ඇත. 

මෙම LiDAR තාක්‍ෂණය මඟින් මීටර් 20 (අඩි 66) සිට මීටර් 10 (අඩි 33) සහ මීටර් 2-3 උසින් යුත් සෘජුකෝණාස්‍රාකාර ඉදිකිරීම් 6,000 ක් සොයාගෙන ඇත.

ඒවා මධ්‍යම වේදිකාවක් සහිත ගොඩනැගිල්ලක් වටා ඒකක තුනේ සිට හය දක්වා කණ්ඩායම් වශයෙන් සකස් කර ඇති බව ද අනාවරණය වෙයි.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ බොහෝ ඉදිකිරීම් ජනතාව ජීවත් වූ නිවෙස් වූ නමුත් සමහර ඒවා උත්සව අරමුණු සඳහා ඉදිකරන ලද ඒවා විය හැකි බවයි.

ඒවා ගොඩනඟා ඇත්තේ කඳු කපා එහි මුදුනේ පස් මත වේදිකාවක් නිර්මාණය කිරීමෙනි.

25km (සැතපුම් 16) දක්වා විහිදුණු සෘජු මාර්ගයක් ඇතුළුව මේ ඉදිකිරීම් එකිනෙකට සම්බන්ධ කරන ලද මාර්ග ජාලයක් ද පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ.

ආචාර්ය ඩොරිසන් පැවසුවේ මෙම මාර්ග පර්යේෂණයේ වඩාත්ම කැපී පෙනෙන කොටස බවයි.

“මාර්ග ජාලය ඉතා සංකීර්ණයි. එය විශාල දුරක් විහිදෙනවා, සෑම ඉදිකිරීමක් ම මේ මාර්ග ජලායෙන් සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම සෘජු කෝණ ඉදිිකිරීම් දැකිය හැකියි. එය ඉතා ආකර්ෂණීයයි,” ඔහු කියයි.

ජලය කළමනාකරණය කිරීම සඳහා එකළ ජනතාව විසින් ඉදිකරන ලද ඇළ මාර්ග යැයි විශ්වාස කළ හැකි අගල් කිහිපයක් ද ඔවුන් සොයාගෙන ඇත.

විද්‍යාඥයන් පවසන්නේ මේ ඇළ මාර්ග පද්ධතිය පරීක්ෂා කිරීමේ දී නගරයට පිටතින් එල්ල වූ ආගන්තුක තර්ජනය පිළිබඳ සාක්ෂි සපයාගත හැකි බවයි. එම අගල් ඇතැම් ස්ථානවලදී අවහිර කර ඇතැයි ද පෙනී ගොස් තිබේ.

මෙම ස්ථානයේ යම් ඉදිකිරීම් ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබුණේ 1970 කාලයේ ය. නමුත් එහි පර්යේෂන කටයුතු ආරම්භ කර දැන් වසර 25ක් ගත වී තිබේ.  එතරම් දීර්ඝ අධ්‍යයනයකින් පසු පර්යේෂකයෝ තම පර්යේෂණ පත්‍රිකාව මේ වනවිට එළිදක්වා තිබේ. මෙම කරුණු ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ එම පර්යේෂණ පත්‍රිකාවෙනි.

මෙතෙක් සැඟ වී තිබූ නගරය, මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ සුප්‍රසිද්ධ මායා සමාජයන්ටත් වඩා විශාල සංකීර්ණ සමාජයක් හෙළිදරව් කරන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

එහි ජීවත් වූ මිනිසුන් සහ ඔවුන්ගේ සමාජ කෙබඳුද යන්න ගැන තවමත් එතරම් කරුණු අධ්‍යයනය කර නැත. වනාන්තරයෙන් වැසී ඇති මිනිස් ඉදිකිරීම් අතර තිබී ගොඩනැගිලි කොටස්, වළවල්, උඳුන්, භාජන කැබලි, ගල්, පිළිස්සුණු බීජ වර්ග, හමු වී ඇති අතර එහි සිටි ජනතාව කෘෂිකර්මාන්තයට හුරු වී සිටින්නට ඇති බවත්, බඩඉරිඟු, බතල වැනි දෑ ආහාරයට ගන්නට ඇති බවත් පැරණි බීජ වර්ග කිහිපයක් ම ඒ අතර ඇති බවත් පර්යේෂකයන් හඳුනාගෙන ඇත.

මහාචාර්ය රොස්ටේන් පවසන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භයේදී ම, ඇමේසන් වනයේ පැරණි මිනිසා ජීවත් නොවූ බවට පුරාවිද්‍යාඥයන්ගේ මතයට තමන් අභියෝග කළ බවයි

“මම හරිම මුරණ්ඩුයි, ඒ නිසා මම කොහොමහරි ඒක කළා. දැන් මම පිළිගන්න ඕනේ, මේ තරම් විශාල සොයාගැනීමක් කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා,” ඔහු පවසයි.

මෙම ප්‍රදේශයට යාබද වර්ග කිලෝමීටර් 300 (වර්ග සැතපුම් 116) ප්‍රදේශයක තවමත් සමීක්ෂණය කර නැති බැවින් එම ප්‍රදේශය ගවේෂණය කිරීම පර්යේෂකයන්ගේ මීළඟ පියවර වී තිබේ.

https://www.bbc.com/news/science-environment-67940671

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!