කොරෝනා වයිරසය මර්ධනය කළ නොහැකියි ? අනතුරු ඇඟවීමක්

0
311

කොරෝනා වයිරසය මීයන්, උගුඩුවන් වැනි අනෙකුත් සතුන්ට ද පැතිරිය හැකි බවත් එසේ සතුන් තුළට ගමන් කරන වයිරසයක් වසර ගනනාවකට පසු නැවත මිනිස් ජනගහනය වෙත පැමිණීමට හැකියාව ඇති බවටත් විශේෂඥයෝ අනතුරු අඟවති.

“මින්ක්” මුගටියන් තුළ වයිරසයේ පරිණාමය පිළිබඳ නව තොරතුරු වාර්තා වීමෙන් පසුව විද්‍යාඥයන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

මේ සම්බන්දව අදහස් දක්වමින් රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය පවසා ඇත්තේ වයිරසය මින්ක් සතුන්ගේ සිට මිනිසුන්ට සම්ප්‍රේෂණය වියහැකි බවයි.

සතුන් තුළ වයිරසය විකෘති වීම කොරෝනා සඳහා නිපදවන එන්නත් වල ඵලදායීතාවයට බාධාවක් වියහැකි බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.  

මෙම අවදානම පිළිබඳව සැලකිමත් වෙමින් සත්ත්ව සෞඛය සඳහා වන ලෝක සංවිධානය(OIE)  පවසන්නේ වයිරසය ව්‍යාප්ත වියහැකි මෙවැනි සතුන් සමග සමීප සබඳතා පවත්වන පුද්ගලයින් වඩාත් සුපරීක්ෂාකාරී වියයුතු බවයි.

සතුන්ට වයිරසය පැතිරීම සීමා කිරීම සඳහා වහාම පියවර ගැනීම අවශ්‍ය බවද ඔවුහු සඳහන් කරති.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මෙම වාර්තා සම්බන්දව සැලකිලිමත් වන අතර ප්‍රතිකාර හා එන්නත් සඳහා ඇති බලපෑම අවබෝධ කරගැනීම සඳහා වැඩිදුර අධ්‍යයනය කිරීම අවශ්‍ය බවයි.

අනෙකුත් වන සතුන් හා ගෘහාශ්‍රිත සතුන්ට වයිරසය ව්‍යාප්ත වන්නේ ද යන්න සම්බන්දව සෝදිසි කිරීම අවශ්‍ය බවද ඔවුහු පවසති.

නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ඉතාලිය හා ඇමරිකාව යන රටවල ලෝම සඳහා සතුන් ඇතිකරන ගොවිපල වල කොරෝනා පැතිරීම වාර්තා වී තිබේ.

බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රියාව මීට වසර ගනනාවකට පෙර ලොම් නිශ්පාදනය තහනම් කළ අතර ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය හා නෝර්වේ යන රටවල් ලෝම නිශ්පාදනය නතර කිරීමට සැලසුම්කර තිබේ.

නෙදර්ලන්තය ද ලබන වසර වනවිට මින්ක් ගොවිතැන අවසන් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here