“දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය” යන නමින් ඊනියා සංවිධානයක් පවත්වාගෙන යන පිරිසක් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් ගාල්ල නගරයේ කෝටි ගණනක් වටිනා කඩ සාප්පු, වැවිලි සමාගම් සතු ඉඩම් කොටස් තමන් සතුකරගනිමින් සිටින බව තොරතුරු දැනගැනීමේ පනත අනුව අනාවරණය වෙයි.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය නමින් මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් ආරම්භ කරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන් පිරිසකගේ සාමූහික ප්‍රයත්නයක් ලෙසිනි. එහි අනුශාසකවරු ලෙස කාලයක් ප්‍රාදේශීය සභා සභිකයකු ලෙස කටයුතු කර ඇති මතුගම ගුණරතන නමැති භික්ෂුවක් සහ ගාල්ල මහ නගර සභාවේ සභිගයකු වූ පාරම්පරික වෛද්‍ය ජයවීර කටයුතු කරන ලදී.
මෙම ලිපිය ලියන ලේඛකයා ද එම සංගමයේ ආරම්භක සාමාජිකයකු ලෙස කටයුතු කළේය. නමුත් මෙම සංවිධානය ටික දිනකින් එහි සාමාජිකත්වය ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ලබා නොදී එක්තරා කල්ලියකට පමණක් සීමා කිරීමේ යෝජනාවක් ගෙනවිත් සාමාජික සංඛ්‍යාව උපරිම 25කට සීමා කිරීම හේතුවෙන් මෙම ලේඛකයා එම සංගමයෙන් ඉවත්විය.
මේ අතර එවකට ගාල්ල නගාරාධිපතිවරයා ලෙස කටයුතු කරන ලැබූ කැළුම් සෙනෙවිරත්නගෙන් මෙම සංවිධානය කරන ලද ඉල්ලීමකට අනුව ගාල්ල ටැල්බට් ටවුමේ ඇති නගර සභාව සතු සිටිවීව් ගොඩනැගිල්ලේ කඩ කාමර දෙකක් එහි එම සංවිධානයේ කාර්යාලය පිහිටුවා ගැනීම සඳහා ලබා දී ඇත.
මෙම කඩකාමර දෙක ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා බව පවසමින් ගාල්ල මහ නගර සභාව විසින් ලබා දී ඇත්තේ මුදල් අයකිරීමකින් තොරවය. මේ දක්වාම එම කඩකාමර සඳහා දක්ෂිණ ලංකා මාධ්‍ය මධයස්ථානය විසින් මුදල් ගෙවීමක් සිදුකරන්නේ නැත.
මෙම කඩකාමර කිසිම ගිවිසුම්ගතවීමක් නොමැතිව, රජයට මුදල් ගෙවීමක් හෝ නොමැතිව භාවිතා කරන බවත්, එම ස්ථානයේ රාත්‍රී කාලයේ දී විවිධ අපචාර සිදුවන බව සහ එම කඩකාමර මාධ්‍යවේදීන් කිහිප දෙනකු විසින් පුද්ගලික පරිහරණය (හය දෙනකු විසින්) සඳහා යොදවාගැනීම නිසා නගර සභාවේ දේපළ මාධ්‍යවේදීන්ගේ පොදු පරිහරණය සඳහා යොදාගත නොහැකි වී ඇතැයි පවසමින් දකුණු පළාත් ප්‍රමුඛ මාධ්‍ය සංවිධානය 2018-01-25 වැනි දින අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබිණී. මීට අමතරව එම දිනට පෙර සහ පසුව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා වෙත ද පැමිණිලි කර තිබේ.
ජනාධිපති කාර්යාලය වෙත සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිලි අනුව ඒ පිළිබඳ දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ මෙහෙවීමෙන් පරීක්ෂණයක් ද පවත්වා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම නිර්දේශවල දැක්වෙන්නේ දැනට පුද්ගලයන් කිහිප දෙනකුගේ පරිහරණය සඳහා පමණක් යොදාගන්නා එම කඩ කාමර ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මාධ්‍යවේදීන්ගේ පරිහරණය සඳහා යොදාගැනීමට හැකි පරිදි විධිමත් විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් මෙම ලේඛකයා ගාල්ල මහ නගර සභාවෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවේ දී මහ නගර සභාවේ තොරතුරු නිලධාරී ලෙස කටයුතු කරන නීති නිලධාරී මිථිලා එස්.කොඩිකාර විසින් 2023-06-04 වැනි දින පිළිතුරු ලබා දී තිබිණි.
එම පිළිතුරු සහ ලැබී ඇති සහතික කරන ලද ලිපි පිටපත් අනුව තහවරු වන්නේ ගාල්ල මහ නගර සභාවේ එවකට නගරාධිපති කැලුම් සෙනෙවිරත්න විසින් මාධ්‍යවේදීන්ට බව පවසමින් තමන්ට හිතවත් මාධ්‍යවේදීන් පිරිසකට මෙම කඩ කාමර ලබා දී ඇත්තේ “දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය” නමැති මාධ්‍ය සංවිධානයකින් කරන ලද ඉල්ලීමක්වත් ලිපිගොනුව තුළ නොමැතිව බවයි.
සිටි වීව් ගොඩනැගිල්ලේ උඩු මහලේ කඩ කාමර 20ක් පමණ පිහිටා ඇති අතර එක් කඩ කාමරයක මාසික වාණිජ වටිනාකම මේ වනවිට රුපියල් 50,000.00 ඉක්මවා තිබේ. නමුත් මේ කඩ කාමර සඳහා ගාල්ල මහ නගර සභාවට මෙතෙක් එකම ශතයක හෝ මුදලක් ලැබී නැත. එයින් පෙනී යන්නේ මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පුද්ගලයන් 06 දෙනකු පමණ මෙම ස්ථානය පරිහරණය කරමින් රාජ්‍ය දේපළ අවභාවිතා කර රටට ආදායම් අහිමිකරන බවයි.
ගාල්ල මහ නගර සභාවේ නීති නිලධාරී පවසන පරිදි මෙම කඩකාමර දෙක “දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය” නමැති සංවිධානයකට ලබා දී ඇත්තේ කිසිදු ගිවිසුමක් නොමැතිවය. ගිවිසුමක් නොමැතිව නගරාධිපතිවරයකු තමන්ට හිතවත් මාධ්‍යවේදීන් මෙලෙස කෝටි ගණනක් වටිනා කඩකාමර ලබාදීමෙන් ඔහු කර ඇත්තේ රජයට ආදායම් අහිමි කිරීමකි. එමෙන්ම දේශපාලයන් හෝ රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ආයතන වෙත හෝ මාධ්‍යවේදීන් වෙත හෝ පරිත්‍යාග ලෙස, සන්තෝෂම් ලෙස හෝ මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර අනුබල ලබාදීම ආචාරධාර්මික මාධ්‍යකරණයේ දී සැළකෙන්නේ අල්ලස් ලබාදීමක් හා ලබාගැනීඹක් ලෙසිනි. ඒ අනුව හිටපු නගරාධිපතිවරයා ඇතුළු එවකට සිිටි සියලු නාගරික මහජන නියෝජිතයන් මාධ්‍යවේදීන් පිරිසසකට රාජ්‍ය දේපළවලින් කොටසක් අල්ලස් ලෙස ලබා දී ඇත.
මෙහි දී අප කළ සොයාබැලීමකින් අනාවරණය වන්නේ ගාල්ල නගර සභාවෙන් එවැනි අල්ලසක් ලබාගත් මාධ්‍යවේදීන් කිහිප දෙනා සිරස, ස්වර්ණවාහිනී, දෙරණ, ජාතික රූපවාහිනී, ස්වාධීන රූපවාහිනී, හිරු, සියත ආදී නාලිකා නියෝජනය කරන අතරම ගුවන්විිදුලි නාලිකා රැසක්, ලංකාදීප, දිවයින, අරුණ, ඩෙිලි මිරර්, ඩේලි නිවුස්, දිනමිණ, සිළුමිණ ආදී පුවත්පත් රැසක් ද නියෝජනය කරන බවයි.
මෙම කඩකාමර දෙක අල්ලස් ලෙස ලැබුණු පසු එම මාධ්‍යවේදීන් කිසිවකු ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරුන්ට හෝ හානිකර පුවත් කිසිවක් හෝ ගාල්ල නගරයේ ඇති ගැටලු අනාවරණය කිරීම් හෝ කිසිවක් සිදුකර නොමැති බව ද නිරීක්ෂණය වී තිබේ.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගා.දි.ලේ./ර.නො.සං/01/03/04/01/19/2014 යටතේ ලියාපදිංචි කර ඇති බව දැනගන්නට ඇත.
ඒ බව තහවුරු කරන්නේ මෙම ලේඛකයා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ තොරතුරු නිලධාරී සී.පී.රාජකරුණා විසින් ලබාදුන් තොරතුරු අනුවය.
එම තොරතුරු සැපයීමේ දී අපට අනාවරණය වූයේ දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේක්ම කාර්යාලයේ ලියාපදිංචි කර ඇතත් එම සංගමයේ බැංකු ගිණුම්වල තොරතුරු, වාර්ෂික වාර්තා තොරතුරු, වාර්ෂික සැළසුම් පිළිබඳ තොරතුරු කිසිවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලියාපදිංචි කළ 2014 වර්ෂයේ සිට 2023 වර්ෂය සඳහාම ලැබී නොමැති බවයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ලියාපදිංචි සංවිධානයක වාර්ෂික වාර්තා, ගිණුම් තෙරතුරු සහ වාර්ෂික සැළසුම් ලබා නොදෙන්නේ නම් එම සංවිධානයේ වලංගු භාවයක් තිබේ ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අවුකන සංජීවගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ලියාපදිංචි කිරීමෙන් පසු සෑම ආයතනයක් ම හෝ සංවිධානයක් ම තම වාර්ෂික සැළසුම් වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන් ම වාර්ෂික විගණන වාර්තා සහ වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොකරන ඕනෑම සංවිධානයක් අසාදු ලේඛන ගත කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ඒ අනුව පැහැදිළි වන්නේ දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය නමින් හඳුන්වන මෙම සංවිධාන ලියාපදිංචිය අවලංගු වූ නීත්‍යානුකූළ නොවන සංවිධානයකි.
එම සංවිධානය එවැනි තත්වයකට පත්ව තිබිය දී තමන්ට කාර්යාලයක් ඉදිකිරීම අවශ්‍ය යැයි කියමින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිළි සංස්ථාවෙන් ඉඩමක් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ 2023-01-18 වැනි දිනැති ලිපියක් මගිනි.
මෙම ලිපිය මුද්‍රණය කර ඇති ලිපි ශීර්ෂයෙ දුරකථන අංකයක් සඳහන්ව ඇත. එම දුරකථන අංකයට ඇමතුමක් ගත් විට පිළිතුරු ලබාදෙන්නේ නවාතැන් පහසුකම් සපය ආයතනයකිනි (ගෙස්ට් හවුස්) එමෙන් ම එම ලිපි ශීර්ෂයේ දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය ලෙස heesara.lk යනුවෙන් සඳහන්ව ඇත. එම වෙබ් නාමය මේ දක්වාම කිසිවකු විසින් මිල දී ගෙන නොමැති බැවින් මෙම ලේඛකයා විසින් එය මිල දී ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව පැහැදිළි වන්නේ ද “දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය” නමැති මෙම සංවිධානය රාජ්‍ය වැවිලි සංස්ථාවට ඉල්ලීම් ලිපියක් යොමුකර ඇත්තේ ව්‍යාජ ලිපි ශීර්ෂයක් යොදාගෙන බවයි.
ලියාපදිංචිය පවා අවලංගු වී අසාදු ලේඛන ගත වී ඇති දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය විසින් 2023-01-18 වැනි දින ව්‍යාජ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් වලහන්දූව රාජ්‍ය වතුයායේ අධිවේගී මාර්ගයට යාබදව පර්චස් 40ක ඉඩමක් ඉල්ලා ඇති අතර ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති නීතිඥ ශ්‍රීමාල් විජේසේකර විසින් එම ඉඩම ලබාදීමට කැමැත්ත පළ කරමින් ලිපියක් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයට යොමුකර ඇත. ඒ ඉතාමත් කෙටි කාලයකිනි. මෙරට ඉඩමක් නැති දුප්පත් මිනිසුන් දස දහස් ගණනක් ඉඩම් ඉල්ලා සිටිය ද ඉඩම් ලබා නොදෙන ආයතනය ඊනියා මාධ්‍ය සංවිධානයකට ඉඩමක් ලබාදීමට එවැනි කෙටි කාලයක දී උනන්දු වීම පුදුම සහගතය.
සභාපතිවරයාගේ SLSPC/HO/LND/B.D/Walahanduwa/2023 අංක දරණ ලිපිය 2023-04-20 වැනි දින අවුරුදු තෑග්ගක් ලෙස දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය වෙත ලැබී තිබිණි. එහි දැක්වෙන්නේ වලහන්දූව වතු යායේ පර්චස් 20ක ඉඩම් කොටසක් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයට රජයේ තක්සේරුව අනුව වසර 30ක කල්බදු පදනම යටතේ ලබාදෙන බවයි.
මේ සම්බන්ධයෙන් අපි රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති නීතිඥ ශ්‍රීමාල් විජේසේකරගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“අපිට කිව්වේ දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ ගාල්ලේ සියලුම මාධ්‍යවේදීන් ඉන්නවා කියලා. ඒ නිසා සද් භාවයෙන් මේක දෙන්න තීරණය කළේ. මාධ්‍යවේදීන් වෙනුවෙන් යමක් කරන්න. ඒ වගේම ඒ ඉඩම දැන් අධිවේගී පිවිසුම් මාර්ගය නිසා ප්‍රධාන වතුයායෙන් වෙන් වෙලා පටු තීරුවක් ලෙස තියෙන්නේ. ඒකේ වගා කරන්න බැහැ. ඒ නිසා වටිනාකම්ක නෑ.”
නමුත්, අධිවේගී පිවිසුමට යාබද ඉඩමේ වගාකළ නොහැකි වුවත් එහි විශාල වාණිජ වටිනාකම් තිබෙනවා නේදැයි විමසූ විට සභාපතිවරයා එය පිළිගත්තේය. නමුත් රාජ්‍ය වැවිලි සංස්ථාව එය අමතක කර තිබීම පුදුම සහගත කරුණකි.
මේ සම්බන්ධයෙන් ද නිවැරදි තොරතුරු සෙවීම සඳහා අපි තොරතුරු පනත භාවිතා කළෙමු.
ඒ අනුව පහත සඳහන් තොරතුරු අප වෙත අනාවරණය විය.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය විසින් ව්‍යාජා ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් කරන ලද ඉල්ලී ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ අධයක්ෂ මණ්ඩලය විසින් 2023 මාර්තු මස 09 වැනි දින සළකා බැලීමෙන් අනතුරුව ඒ එම ඉඩම ලබාදීමට නිර්දේශ කර ඇත.
මෙහි දී දන්වා ඇත්තේ අධිවේගී මාර්ගයේ ගාල්ල නගරයේ සිට පින්නදූව දක්වා ඇති පිවිසුමට යාබද රජයේ ඉඩමක් ඌන සංවර්ධන ඉඩමක් ලෙස නම්කර ඇත්තේ කෙසේද යන්නයි. රටේ ප්‍රධානතම මාර්ගයකට යාබදව එම මාර්ගයට පිවිසුම් සහිතව මුහුණ ලා ඇති ඉඩමක් ඌන සංවර්ධිත ඉඩමක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිළි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය බුද්ධිය ඌන පිරසක් ද යන්න විමසා බැලිය යුතුවව තිබේ.
අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දක්ෂිණ ලංකා මාධ්‍ය මධයස්ථානයට පර්චස් 20ක වපසරියෙන් යුතු කෝටි ගණක වාණිජ වටිනාකමක් සහිත ඉඩමක් නිදහස් කිරීමට තීරණය කර ඇතත් එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාල සංවිධාානය රජයේ ලියාපදිංචිය තවදුරටත් පවතින සංවිධානයක් ද යන්න සොයා බලා නැත. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද විමසීමක දී ශ්‍රී ලංංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ තොරතුරු නිලධාරී සහ සාමාන්‍යාධිකාරී එච්.එන්.පී.ජනසේන විසින් එවන ලද SLSPC/HO/Land2023 අංක දරණ පිළිතුරු ලිපියට අනුව පැහැදිලි වන්නේ ව්‍යාාජ ලිපි ශීර්ෂයක කරන ලද ඉල්ලීමට අමතරව දක්ෂිණ ලංකා මාධ්‍ය මධයස්ථානය රජයේ ඉඩමක් ලබාගෙන සිදුකරනු ලබන ව්‍යාපෘතිය කවරේද යන්න පිළිබඳ කිසිදු වාර්තාවක් රාජ්‍ය වැවිලි සංස්ථාවට ඉදිරිපත් කර නැති බවයි.
එමෙන් ම එවැනි ඉඩමක් ඉල්ලීම සඳහා එම සංවිධානයේ මහ සභා රැස්වීමේ යෝජනා සම්මත කරන ලද වාර්තා ඉදිරිපත් කළ යුතු වුව ද එවැනි ලේඛනයක් ද ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත ඉදිරිපත් කර නැත. එමෙන් ම අවම වශයෙන් තම සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ගේ නාම ලේඛනයක්, වාර්ෂික සැළසුම්, මෙතෙක් සිදුකර ඇති ව්‍යාපෘති සම්බ්නධයෙන් හෝ කිසිම ලේඛනනයක් රාජ්‍ය වැවිළි සංස්ථාවට ඉදිරිපත් කර නැත.
ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා ඉඩම් ඉල්ලා එවකට වැවිළි කටයුතු විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ද, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති නීතිඥ ශ්‍රී මාල් විජේසේකර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද නොමග යවමින් දක්ෂිණ ලංකා මාධ්‍ය මධයස්ථානය රජයේ දේපළ තවදුටත් කොල්ලකෑමේ යෙදී සිටින බවයි.
මේ සම්බන්ධයෙන් අප වැවිළි අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකුගෙන් කරන ලද විමසීමක දී ඔහු පවසා සිටියේ අක්මීමණ අශ්වත්ථාරාම විහාරස්ථානනෙය් විහාරාධිපත මතුගම ගුණරතන නමැති භික්ෂුවගේ ඉල්ලීමට අනුව මෙම ඉඩම ලබාදීමට කටයුතු කර ඇති බවයි.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධයස්ථානයේ සාමාජික ලේඛන, ඔවුනගේ ව්‍යාපෘති, ගිනුම් වාර්තා, වාර්ෂික වාර්තා සහ විගණන වාර්තා ඉල්ලා මෙම ලේඛකයා විසින් එම සංවිධානය වෙත තොරතුරු ඉල්ලීම් සිදුකර ඇතත් ඒ කිසිවකට ඔවුන් පිළිතුරු ලබා දී නැත.
මාධ්‍ය නිදහස, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින බව පවසන එම සංවිධානයේ නිලධාරීන් රජයේ ගොඩනැගිල්ලක රැඳී සිටින අතර, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් ඉඩමක් ඉල්ලා එයට මේ වනවිට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ිහිමකරගෙන තිබේ. රාජ්‍ය දේපළ භාවිතා කරනවානම් හෝ රාජ්‍ය ආයතන සමඟ ිගිවිසුම් ගත වී ඇත්නම් ඔවුන් 2016 අංක 12 දරණ තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට තොරතුරු ලබාදීමට බැඳී සිටියි.
නමුත් එම සංවිධානය භාවිතා කරන ගාල්ල නගරයේ පිහිටි සිටි වීව් ගොඩනැගිල්ලේ ලිපිනයට යවන ලද තොරතුරු ඉල්ලීම භාර ගැනීමට එහි කිසවෙකුත් නැතිය පවසමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නැවත ආපසු හරවා එවා ඇත.
ගාල්ලේ අනිකුත් මාධ්‍යවේදීන්ට වසා දමා ඇති එම ගොඩනැගිල්ල භාවිතා කරන්නේ පුද්ගලයන් 06 දෙනකු වැනි ඉතාමත් සීමිත පිරිසක් විසින් තම යූටියුබ් නාලිකා ප්‍රවර්ධනය කිරීමට, ව්‍යාජ මාධ්‍ය සංකච්ඡා පවත්වමින් ජනතාව නොමඟ යවා දේශපාලයන් සහ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීම වැනි කාර්යයන් සදහා පමණි.
අවම වශයෙන් ලියාපදිංචි තැපෑලෙන් යවන ලිපියක් හෝ භාර ගැනීමට එහි කිසිවෙකුත් නැත.
මෙවැනි රාජ්‍ය දේපල අවභාවිතයන්ට විරුද්ධ ව පෙල ගැසිය යුතුයි.