spot_img
spot_imgspot_img

පිරිත් නූල ගැන කියමින්, ඇල්පිටිය HQI ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරයි

පුවත්

විදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කවරක් වුව ද තමන් බුද්ධාගම ප්‍රචාරය කිරීමට ඉඩ දෙන බව පවසමින් ඇල්පිටිය මූලස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරමින් සිටින අතර ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඇල්පිටිය, කුරුඳුගහහැත්ප්ම පතිරාජ උයනේ ඇති සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානය නමැති ස්ථානයක නීති විරෝධී ශබ්ද විකාශනයකට එරෙහිව කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ පවා නොතැකූ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා තමන් පවා පිිරත් නූල් බඳින බවත්, ජනාධිපතිවරයාාගේ අතේ ඇති පිරිත් නූලේ පවා බලයක් ඇති බව කියයි.

එම කාන්තාව තම පැමිණිල්ල සම්බන්ධයෙන් තමන්ට සාධාරණය ඉටු නොවූ බවත්, ඇල්පිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරමින් කටයුතු කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට, අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයා වෙත ද, මානව හිමිකම් කොමිෂම සහ පොලිස් කොමිෂන් සභාව වෙත ද අද (18) පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳ අපි ඇල්පිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති විජේසිංහගෙන් විමසූ විට හෙතෙම මෙසේ කිවේය.

“මේක ආගමික ස්ථානයක්. මිනිස්සුන්ට පිරිත් අහන්න බණ අහන්න ඕනෑ. එක පවුලක් විරුද්ධයි කියලා ගමේ මිනිසුන්ට අවශ්‍ය දේ නොකර ඉන්න කියලා කියන්න මට බැහැ. අධිිකරණයෙන් දීපු තීන්දු මොනවා වුණත් මේක ආගමික වැඩක්. ඒක නවත්වන්න මට බෑ. ඔයා මාධ්‍යවේදියෙක් කියලා මගෙන් ප්‍රශ්න කරන්න එන්න එපා. මිනිස්සුන්ට ඕන දේ අපි කරනවා. අධිකරණය වැඩක් නෑ.”

මෙම ශබ්ද විකාශන යන්ත්‍රවලට බලපත්‍රයක් දී ඇත්දැයි විමසූ විට ඔහු මෙසේ කීවේය

“බලපත්‍ර දීලා නෑ. පන්සලකට බලපත්‍ර ගන්න ඕන කියලා කවුද කියන්නේ. දවසකට එක හෝන් එකකට රුපියල් 250.00 ගණනේ පන්සලෙන් අය කරලා ඕවා කරන්න බෑ. උත්සව අවස්ථාවක දී නම් අපි බලපත්‍ර අරගෙන දාන්න කියලා කියනවා. අනිත් වෙලාවට ඒක අවශ්‍ය නෑ.”

ඇල්පිටිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසන්නේ මෙම ශබ්ද විකාශන යන්ත්‍රයට එරෙහිව පැමිණිලි කරන්නේ එක් පවුලක් විසින් පමණක් බවයි. පොලිසිය බහුතර මතයට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශනයක් සිදුකිරීමට නීතිමය බලයක් තිබේද යන්න විමසූ විට ස්ථානාධිපතිවරයා”ඔයා මාධ්‍යවේදියෙක් වුණා කියලා උසාවියෙන් වගේ මගෙන් ප්‍රශ්න කරන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙන් කියා දුරකථනය විසන්ධි කළේය.

නීති විරෝධී ශබ්ද විකාශ යන්ත්‍රයක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබුණු විට පොලිසිය ක්‍රියා කළ යුතු වන්නේ එම අනවසර ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා විකාශය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමයි. එම වරදකරුවන් ඉදිරිපත් කළ යුත්තේ ළඟම ඇති අධිකරණයට ද නොවේ.

නීති විරෝධී ශබ්ද විකාශනය අපරාධමය වරදක් බැවින් එවැනි පැමිණිල්ලක් ලැබුණු විට දෙපාර්ශවය ගෙන්වා සමථයකට පත්කිරීමක් සිදු සිදුකිරීමට ද පොලිසියට හැකියාවක් නැත.

නමුත් ස්ථානාධිපතිවරයාට පසුගිය සැප්තැම්බර් 30 වැනි දින මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට ඔහු කර ඇත්තේ පැමිණිලිකාරිය සහ අපරාධමය වරද සිදුකරන පාර්ශවය ගෙන්වා සමථයකට පත්කිරීමට උත්සාහ ගැනීමයි. නමුත් එම ශබ්ද විකාශනය දිගටම ක්‍රියාත්මක වීම හේතුවෙන් නැවත හදිසි ඇමතුම් අංක 119 සහ 118 වෙත පසුගිය 15 වැනි දා පැමිණිලි කළ විට ද පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කර නැත. පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධ පොලිසියට පැමිණ නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි.

පොලිසියට පැමිණිලිකාර පාර්ශවය ගිය විට එහි සිිටි නිලධාරීන් මේ බෞද්ධ මධ්‍යස්ථානයට එරෙහිව පැමිණිල්ල සටහන් කරගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබිණි අනතුරුව ඒ සම්බන්ධ සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කරන බව පැවසූ පසු පැමිණිල්ල සටහන් කරගෙන ඇති අතර අද (18) දෙපාර්ශවය ගෙන්වා නැවත පැමිණිල්ල විභාග කිරීමට මූලස්ථාන පොලිස් ස්ථානාධිපති විජේසිංහ කටයුතු කර තිබිණි.

ඔහු එහි දී පවසා ඇත්තේ අද (18) දිනයේ සිට ශබ්ද විකාශන නවතා දමාන ලෙසයි. නැවත ශබ්ද විකාශනය කළහොත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවන බවත් ඔහු පවසා ඇත. එමෙන් ම බෞද්ධ මධයස්ථානය අවට ජීවත්වන පවුල් න් 50ක කැමැත්ත අකමැත්ත රැගෙන එන ලෙස ද ඔහු විසි බෞද්ධ මධ්‍යස්ථානයේ භික්සුවට දැනුම් දී තිබේ. ගමේ ආගමික කටයුතු නැවතීමට තමන් කැමති ිනැති බවත්, ඒ අනුව සාධාරණයක් ඉටුකිරීමට අවශ්‍ය බැවින්, එලෙස කැමැත්ත අකමැත්ත ලැබුණු පසු ඒ පිළිබඳ කොළඹට දැනුම් දී නීති අංශයේ උපදෙස් විමසා ක්‍රියාමාර්ග ගන්නා බව ද ‍මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත.

නමුත් මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා මෙවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු වන්නේ ඒ ආකාරයෙන් නොවේ. අපරාධමය වරදක් වූ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් මහජන මතය විමසීම අවශ්‍ය නැත. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කළ නියෝගයක් සහ එයට සමගාමීව පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ තිබිය දී මෙම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා අත්අඩංගුවට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම ්දිය යුතුය. එසේ ක්‍රියා නොකිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා එයට අපහාස කිරීමක් බව නීතිවේදීහු පෙන්වා දෙති.

මෙම නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ කුරුඳුගහහැතැප්ම, පතිරාජ උයනේ ඇති සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානයේ ය.

එම ස්ථා‍නයේ සෑම දිනකම අලුයම 5.00 සිට 6.00 දක්වාත් සවස 5.00 සිට 6.00දක්වාත් සෑම සෙනසුරාදා දිනක ම සවස 4.00 සිිට 7.30 දක්වාත් පිරිත් දේශනා, බෞද්ධ ගීත ආදිය විකාශය කරයි.

සුමන නමැති භික්ෂුවක්  මෙම විහාරස්ථානයේ සිටියි.

එම භික්ෂුවට අපි කතා කළ විට ඔහු කියා සිටියේ ගමේ මිනිසුන්ගේ ඉල්ලීම මත ශබ්ද විකාශනය කරන බවයි. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගැන දන්නේ නැත. බුදු දහම ඉතාමත් නිශ්ශබ්ද ආගමක් බවත්, නිහඩතාව එහි ප්‍රධාන ලක්ෂනයක් බවත් විමසූ විට එම භික්ෂුව බුදු දහම නොදන්නා බව පැහැදිළි විය. 

මානව හිමිකම් කොමිසම සියලු ශබ්ද විකාශන ගලවන්න යැයි කළ නියෝගය

පන්සල්, මුස්ලිම් දේවස්ථාන ඇතුළු ආගමික ස්ථාන සහ පාසල්වල සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලින් ඇතිකරණ ශබ්ද දූෂණය නතර කිරීමට පොලිසිය වහාම ක්‍රියාත්මක විය යුතු බවට මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

එම කොමිෂන් සභාව විසින් ආදල නිර්දේශය ලබා දී ඇත්තේ ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සංවිධානයේ ලේකම් නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් අනතුරුවය.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය.

HRC/ANU/279/2021 යටතේ විභාග කෙරුණු මම පැමිණිල්ල සම්බන්ධ නිර්දේශ ලබා දෙමින් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් වන මා.හේ.නිමල් කරුණාසිරි සහ අනුෂුයා ශන්මුගනාදන් නිගමනය කර ඇත්තේ  “ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් සිදවන ශබ්ද දූෂණය වළක්වා ගැනීමට හැකියාව තිබිය දී වගඋත්තරකරුවන් විසින් එම හැකියාව ප්‍රයෝජනයට නොගෙන සිටීම තුළ පැමිණිලිකාරියගේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12(1) වන ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම ක්‍රියාත්මක කිරීම හා එහි රැකවරණය සර්ව සාධාරණ විය යුත්තේය යන  මූලික යිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවයි”

ඒ අනුව පවතින නීතිමය ප්‍රතිපාදන අනුව පියවර ගන්නා ලෙසට නිර්දේශ කරන බවත්, 2023 පෙබරවාරි 24 වැනි දිනට පෙර මෙකී නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15(7) වගන්තිය ප්‍රකාරව වගඋත්තරකරුවන්ට දන්වා ඇත.

මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා අදාල පොලිස් නිලධාරීන් මානව  හිමිකම් කොමිසමට කැඳවූ විට පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ,

“ආගමික විකාශනයන් නැවතීමෙන් සංහිදියාව නැති වේවි”

“මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ ස්වර්ණමාලී අනුරාධනායක මහත්මිය විතරයි. වෙන කාටවත් ප්‍රශ්නයක් නෑ”

“අපිට මහජන පීඩාකාරී ආඥා පනත යටතේ නඩුවක් පවරන්න බෑ. එක්කෙනෙකුගේ පැමිණිල්ලක් විතරක් නිසා”

යන කතාන්තර කිහිපයකි. ශබ්ද දූෂණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ්‍ය ලබාදුන් 38/2005 නඩු තීන්දුව සහ 2031/2007 පොලිස්පති චක්‍රලේඛය ක්‍රියාත්මක නොකරමින් පොලිසිය නිරන්තරව ම සඳහන් කරන්නේ එවැනි කතාවකි.

මානව හිමිකම් කොමිසම විසින් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවෙහි මේ ආකාරයෙන් දැක්වේ.

“ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය යටතේ දක්වා ඇති වැරදි පිළිබඳව යම් පුද්ගලයිනට විරුද්ධව කරනු ලබන පැමිණිලි හා පොලිස් ආඥා පනතේ 80 (1)  වගන්තිය යටතේ නිකුත් කරනු ලබන ශබ්ද විකාශන යන්ත්‍ර ඇම්ප්ලිෆයර් හෝ වෙනත් උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද බලපත්‍ර කොන්දේසි හා උපදෙස් උල්ලංඝනය කරමින් භාවිතා කරන බවට කරනු ලබන පැමිණිලි සටහන් කර ගැනීමටත්, ඒ පිළිබඳ විමර්ශනය කිරීමටත්, එම කොන්දේසි උළ්ලංඝනය කරන පුද්ගලයන්ට එසේ නොකරන ලෙස අවවාද කිරීමටත් ක්‍රියාකළ යුතු බවටත්, පොලිස් ආඥා පනත 80 (4) උප වගන්තිය යටතේ එම භාණ්ඩ හා උපකරණ පොලිස් භාරයට ගෙන රඳවාගෙන මෙම සිද්ධිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී වෙත දැනුම් දීම කළ යුතු බව පොලිස්පති චක්‍රලේඛ 2031/2007 මගින් දන්වා ඇත.”

පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හි 8 ඡේදය 8.1 සිට 9.4 දක්වා වන කරුණු මගින් සෑම ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍රයක් ම පොලිස් 307 පෝරමය ප්‍රකාරව නිකුත් කළ යුතු බවටත්, බලපත්‍රයේ දැක්වෙන කොන්දේසි වලට අමතරව පහත දැක්වෙන කොන්දේසි බලපත්‍රය සමඟ බලපත්‍රලාභියා වෙත නිකුත් කළ යුතු බවත් සඳහන් වේ.

මේ කරුණු  අනුව,

ශබ්ද විකාශන යන්ත්‍ර නිකුත් කරනු ලබන පරිශ්‍රයේ සීමාවෙන් ඔබ්බට එම ශබ්දය විස්තතාරණය නොවන ලෙසට වගබලා ගත යුතු වේ යන්නත්, ශබ්ද විකාශන යන්ත්‍රයේ ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා විය යුතු බවටත්, ශබ්ද පරිමාව මහජනතාවට හිරිහැරයක් නොවන පරිදි අවම මට්ටමකින් පවත්වාගෙන යා යුතු බවටත්, සඳහන්ව ඇත.

නමුත් වගඋත්තරකුරුවන් වූ පොලිසිය, ප්‍රකාශ කර සිටින්නේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් පැමිණිලිකාරියගෙන් හැර වෙනත් කිසිවකුගෙන් පැමිණිල්ලක් නොමැති බවයි. එමෙන්ම මෙම ශබ්ද දූෂණය පැමිණිලිකාරිය සිටින ප්‍රදේශයේ පමණක් නොව රටපුරාම පවතින බවත් වගඋත්තරකරුවන් වන පොලිස් නිලධාරීන් පවසා තිබේ.

මානව හිමිකම් කොමිසම පවසන්නේ,

“ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදුවන අපහසුතාව සහ කරදරයන් මැඩ පැවැත්වීම සඳහා පොලිසිය වෙත මාර්ග උපදේශනයන් / චක්‍රලේඛයන් නිකුත් කර ඇත්තේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි බවයි. මෙම චක්‍රලේඛනය මගින් පොදුවේ උපදෙස් ලබා දී ඇති බවටත්, ශබ්ද දූෂණ වැළැක්වීම සඳහා කණ්ඩායම් පැමිණිලි පමණක් අවශ්‍ය වන බවට කිසිදු පෙන්වාදීමක් නොමැති අතර, තනි පැමිණිල්ලක් මත නීතිය ක්‍රියාවට නැංවීමට ඉහත චක්‍රලේඛනය මගින් උපදෙස් දීම සිදුව ඇති බවත් මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් මෙම නිර්දේශවල සඳහන් කර ඇත.

තනි පුද්ගලයකුට කරදරයක් ඇති වුව ද තනි පැමිණිල්ලක් මත පදනම්ව වුව ද එම අපහසුතාවය හා කරදරය ඇති කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීම සදහා පොලිසිය සතුව ප්‍රමාණවත් නිතිමය ලේඛන පවතින අතර , එම නීතිමය ලේඛන පදනම්ව මෙම අපහසුතා සහ කරදර වළක්වා ගැනීමට හැකියාව ඇති බව ද මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත.

ඒ අනුව, පැමිණිලිකාරිය විසින් දක්වා ඇති පීඩාකාරී ශබ්ද දූෂණය සම්බන්ධයෙන් මානව හිමිකම් කෙකාමිසම දී ඇති නිර්දේශ 2023-02-24 දිනට පෙර ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් කොමිෂන් සභාවට ලැබීමට සළස්වන ලෙද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබේ

මෙම නිර්දේශ ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පදනම් කරගෙන බැවින් පොලිසියට එය ක්‍රියාත්මක නොකර සිටිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධ නීති

  • ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 09 වැනි දා ලබා දී ඇති තීන්දුවෙහි මෙසේ දැක්වෙයි.
    • “කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කිරීමක් හෝ දේශනා කිරීමක් කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ට සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම් හිමිදිරියේ හෝ දිවා කාලයේ දී හෝ නිදා සිටින විට දී හෝ වෙනත් අයගේ කටයුතු කරගෙන යාමට බාධාවක් විය නොහැක. අසල්වැසි ‍ජනතාවට ඔවුන්ගේ ස්වභාවික අයිතිය භුක්ති විඳීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනාවට සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ සජ්ජායනාවකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වලට උගන්වා නැත.”
  • එලෙස ලබා දී ඇති නියෝගය අනුව එවකට අපරාධ හා මෙහෙයුම් නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් 2007 නොවැම්බර් මස 28 වැනි දිනැතිව සියලු ම දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත්කර එම නඩු තීන්දුව ප්‍රකාරව 2007 නොවැම්බර් 22 වැනි දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛව 16/07 අනුව කටයුතු කරන ලෙස දන්වා තිබේ. ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ හැකි අවස්ථා, භාවිතා කළ යුතු ආකාරය, නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, නීතිමය කරුණු, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ හැකි කාල සීමාවන් ආදී සියල්ල චක්‍රලේඛයේ දක්වා ඇත.
  • 2031/2007 පොලිස් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයට වැඩිමනත් වශයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාදීම සහ ඒවා භාවිතා කිරීම සම්බන්ධ කරුණු ඇතුළත් උපදෙස් මාලාවක් 2013 වර්ෂයේ දී නිකුත් කර ඇති අතර  එම උපදෙස් අඩංගු ලිපියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ කරුණු 13ක් දක්වා ඇත. ඒ අනුව ශබ්ද විකාශනයක් කරන්නේ නම් එම ශබ්දය පරිශ්‍රයෙන් පිටතට නොයා යුතු අතර ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ යුතු ආකාරය පවා සඳහන් වේ
  • ශබ්ද විකාශන යන්ත්‍ර ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ සිදුවීම් සඳහා වුව ද භාවිතා කළ හැකි වන්නේ අවට සිටින පුද්ගලයන්ගේ කැමැත්ත විමසීමෙන් පසු අවට ඇති ඉඩම් පරිශ්‍රයන් පිළිබඳ වාර්තාවක් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමෙන් පමණි. එමෙන්ම ජාතික උත්සවයක දී හැර කිසියම් ඉඩම් පරිශ්‍රයක හැර මාර්ග පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට කිසිදු අවසරයක් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. එලෙස විශේෂ අවසරයක් ඇතිව ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන්නේ නම්, එම යන්ත්‍ර සවිකරන විදුලි කණු සඳහා විදුලිබල මණ්ඩලයේ ද දුරකථන කණු සඳහා ටෙලිකොම් ආයතනයේ ද ලිඛිත අවසරය ගෙන එම ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. එබැවින් කිසියම් ආගමික ස්ථානයක පැවැත්වෙන්නේ ජාතික උත්සවයක් නොවන්නේ නම් මාර්ගය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට බලයක් හෝ අවසරයක් නැත.
  • පාසලක හෝ දහම් පාසලක ක්‍රීඩා උත්සවයක් සඳහා හෝ ත්‍යාග ප්‍රධානෝත්සවයක් සඳහා හෝ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන්නේ නම් එම උත්සවය ආරම්භක අවස්ථාවේ දී (ආරාධිත අමුත්තා පැමිණෙන මොහොතේ) සිට ස්තූති කතාව නිමා වනතුරු පමණක් ශබ්ද විකාශනය කිරීමට අවසර ලබාගත හැකි අතර එම ශබ්දය ද පරිශ්‍රයෙන් පිටතට ( ක්‍රීඩාංගණයෙන් පිටතට හෝ පාසල් භූමියෙන් හෝ විහාර භූමියෙන් පිටතට) විකාශය කිරීමට අවසරයක් නැත
  • ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම පොලිසියට පැවරී ඇති රාජකාරියකි. ඒ සඳහා මුදල් අයකිරීමක් කළ යුතුය. එම මුදල් අයකිරීම සිදුවිය යුතු වන්නේ එක් ශබ්ද විකාශනය යන්ත්‍රයක් සඳහා එක් දිනකට රුපියල් 250.00ක මුදලක් වශයෙනි.  (පොලිස් චක්‍රලේඛ 1834/2005) ආගමික ස්ථානයක වසර පුරාම පවත්වන ශබ්ද විකාශන කටයුතු සඳහා හෝන් 04ක් සවිකරන්නේ නම්, ගාස්තුව රු.250.00 X 4 X 365 = රු 365,000.00කි.
  • ශ්‍රී ලංකා පොලිසිය විසින්, ශබ්ද විකාශන යන්ත්‍ර ආදිය සඳහා දෙන බලපත්‍රය (පොලිස් 307 අයදුම් පත්‍රය) ලබාදෙන අයදුම්පත්‍රයේ ශබ්ද විකාශන කාර්යයේ දී අනුගමනය කළ යුතු කොන්දේසි පැහැදිළිව දක්වා ඇත. එහි (ඉ) අකුරෙන් දැක්වෙන්නේ පොදු ස්ථානයකට ශබ්ද විකාශන බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බවයි. එමෙන්ම පොදු මාර්ගයන්හි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ නොහැකි බව ද එහි දක්වා ඇත. නමුත් මාර්ග අයිනේ ඇති බුදු පිළිම, බෝගස් ආදියෙහි ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇත්තේ නීති විරෝධී ආකාරයෙනි. එමෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාදීමේ අයදුම්පත්‍රයේ කොන්දේසිවල (උ) වගන්තියේ දැක්වෙන්නේ ධාවනය කරන වාහනයක ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ නොහැකි බවයි. එහි (ඌ) වගන්තියේ ඇත්තේ, නාගරික, සුළු නගර, පළාත් සභා පාලන බල ප්‍රදේශයන්හි එවැනි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ නොහැකි බවයි.
  • ශ්‍රී ලංකාවේ පාසල්, බෞද්ධ විහාරස්ථාන, මුස්ලිම් දේවස්ථාන, හින්දු දේවස්ථාන, කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන මෙන්ම ආගමික මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන බොහෝ ස්ථානයන්හි පීඩාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය නීති විරෝධී ලෙස දෛනිකව සිදුකරයි. ශබ්ද විකාශනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුව අනුව කටයුතු කිරීමට සියලු ආයතන සහ සියලු පුරවැසියන් බැඳී සිටියි. ඒ බව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 124  වගන්තිය අනුව තහවරු වෙයි. කිසිදු හේතුවක් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අර්ථකථනය කිරීමට කිසිදු ආගමික නායකුට හෝ රාජ්‍ය නිලධාරියකුට හෝ අයිතිවාසිකමක් නැත.
  • ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍රයක් නැතිව ශබ්දය විකාශය කරන්නේ නම් හෝ ශබ්ද විකාශන බලපත්‍රයේ ඇති කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිස් ආඥා පනතේ 80වැනි වගන්තිය යටතේ වහාම එම නීති වරෝධී සහ පීඩාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් උපකරණ අත්අඩංගුවට ගෙන පොලිස් ආඥා පනතේ 80 (4) වගන්තිය අනුව ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
  • අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 261 වැනි වගන්තිය අනුව ශබ්ද විකාශනය නීති විරෝධී කටයුත්තකි. ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් උපකරණ හෝ මහජනයාට හෝ එහි සිටින ජනතාවට කරදර ඇතිකරන්නේ නම් එය පොදු කරදරයක් ලෙස සැළකේ. එබැවින් ශබ්ද දූෂණයට එරෙහිව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 261 වැනි වගන්තිය අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. එබැවින් මෙය අපරාධමය වරදකි.
  • 1980 අංක 47 දරණ ජාතික පරිසර අධිකාරිය පනතේ ද “ශබ්ද දූෂණයට”අදාල ප්‍රතිපාදන දක්වා ඇත. එම පනතේ 23(P), 23(Q) සහ 23( R )යන වගන්ති මීට අදාල වේ. 23(P), හි සඳහන් වන්නේ පනතේ දක්වා ඇති සීමා හා ප්‍රමිතීන්ට පිටින් “ශබ්ද දූෂණය” ඇතිවන ක්‍රියා සඳහා අවසර නොමැති බවයි. 23( R ) හි සඳහන් වනනේ බලපත්‍රයක් නොමැතිව පනතේ කොන්දේසිවලට හා සීමාවලට පටහැනිව ශබ්ද දූෂණය කරන පුද්ගලයකුට රුපියල් 15,000.00කට නොඅඩු රුපියල් 120,000.00කට නොවැඩි දඩ මුදලක් නියම කළ හැකි බවයි. මෙම පනත යටතේ 1996-05-21 වැනි දින නෙ ආ 1996 අංක 01 දරණ ශබ්ද පාලන රෙගුලාසි යටතේ යම් ක්‍රියාවකින් නිකුත් කළ හැකි ශබ්ද සීමා සඳහන් කර ඇත. 2011-12-29 දින අංක 1738/37 දරණන ගැසට් පත්‍රය මගින් වාහන නළා නාද කිරීම සම්බන්ධව සීමාවන් පනවා ඇත.
  • එමෙන් ම, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම හිමිකර දී ඇත. සෑම ප්‍රදේශයක ම විවිධ ආගම් අදහන පිරිස් ජීවත්වන බැවින් එක් එක් ආගමික මධ්‍යස්ථාන (බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු) වෙතින් තම තමන්ගේ ආගමික වැඩසටහන් විකාශය කිරීම එම ප්‍රදේශයේ ජීවත්වන පුරවැසියන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස අහිමිකරමින් වෙනත් ආගමක් බලෙන් ඇසීමට සැළැස්වීමකි. එමගින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිවෙයි. මෙය නීති  විරෝධී කාර්යයකි. එබැවින් කිසිම ආගමික මධ්‍යස්ථානයකට එලෙස ආගමික වැඩසටන් විකාශය කිරීමට අයිතියක් නොමැත.
  • හුණුපිටිය විහාරාධිපති හිමියන් විසින් එක් රාත්‍රියක බෙර වයමින් ඝෝෂා ඇතිකිරීම සම්බන්ධව පොලිස් ආඥා පනත යටතේ ගොනු කරනු ලැබූ මාර්ෂල් එරෙහිව ගුණරත්න උන්නාන්සේ (1NLR179) නඩුවේ දී අධිකරණය ප්‍රකාශ කරනු ලැබුයේ බෞද්ධ හෝ ‍පොතෙස්තන්ත්‍ර හෝ කතෝලික කිසිදු ආගමික ආයතනයකට මහජන කරදරයක් කිරීමට අයිතිය නොමැති බවයි. එම නියෝගය අනුව ද ආගමික ස්ථානවලින් සිදුකරන ශබ්ද විකාශනය නීති විරෝධී බව තහවරු කර තිබේ.
  • 2007(1)(SLR 191) නම් මූලික අයිතිවාසිකම් පෙත්සමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව (ඇමුණුම් අංක 01) මහජන කරදරය සඳහා අවසරයක් නොවන බවට මෙරට ශබ්ද දූෂණය සම්බන්ධ ඉහළම අධිකරණ නියෝගය ලෙස සළකනු ලබන අතර එම නියෝගය අනුව දැනට ක්‍රියාත්මක කරනු ලබන ශබ්ද විකාශනයට අදාල සියලු පොලිස් චක්‍රලේඛ පවා නිර්මාණය කර තිබේ. එම නියෝගයෙන් ද ශබ්ද විකාශන සම්බන්ධ නීතිය බලාත්මක කර ඇත.
  • ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පීරිස් මහතා 2018 ජනවාරි 17 වැනි දින 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරනු ලබන පැමිණිල්ලකට අනුව නඩු අංක 85293/2018 තීන්දුව මගින් ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතය වළක්වා ඇත.  එමගින් ද නීති විරෝධී ශබ්ද විකාශනය වරදක් බව තහවරු කර තිබේ.  
  • කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ආගමික ප්‍රචාරයන් සිදුකිරීමෙන් ජනතාවට හිරිහැරයක් සිදුවන බව නඩු අංක 61472/6/16 මගින් තීන්දු කර තිබේ. එමගින් ද ආගමික ස්ථානවලින් දිනපතා ආගමික වැඩසටහන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් සිදුකිරීම නීති  විරෝධී බව තහවරු කර ඇත.
  • නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක විසින් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මූලස්ථාන පොලිස්පති අනුරාධපුරයට එදිරිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිලි අංක HRC/ANU/279/2021 තීන්දුවේ දැක්වෙන්නේ පොලිසිය නීති විරෝධී සහ පරිශ්‍රයෙන් පිටතට ඇසෙන පරිදි සවිකර ඇති සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. එමෙන්ම මානව හිමිකම් කොමිසම එම නියෝගය මගින් ප්‍රකාශ කර ඇත්තේ ශබ්ද දූෂණය යනු සංඥය වරදක් බැවින් පොලිසියට පැමිණිල්ලක් නොමැතිව වුව ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවයි. එපමණක් නොව ශබ්ද විකාශනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එක් අයකුගේ පැමිණිල්ලක් පමණක් ප්‍රමාණවත් බවත්, පිරිසක‍ගේ පැමිණිලි අනවශ්‍ය බවත් එම තීන්දුව මගින් ප්‍රකාශ කර තිබේ. මේ අනුව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.
  • බිරංගනා සංවිධානය විසින් ඉන්දීය රජයට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද 1996/100CWN617 නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් නිශ්ශබ්දතාවය, නිදාගැනීමේ අයිතිය, නිදහසේ ජීවත්වීමේ අයිතිය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අත්‍යාවශ්‍ය බවයි. එමෙන්ම ඉන්දියාවේ ඇති සියලු ආගම් ශබ්ද විකාශන යන්ත්‍ර නිපදවීමට වසර දහස් ගණනකට පෙර ලෝකයේ මිනිසුන් විසින් පිළිගෙන තවදුරටත් පවත්වාගෙන පැමිණ ඇති බැවින් ආගම් ඇදහීමට ශබ්ද විකාශන යන්ත්‍ර අනවශ්‍ය බවයි. මෙය ජාත්‍යන්තරව පිළිගනු ලබන තීන්දුවකි.
  • යාපනය අධිකරණයේ දී විනිසුරු ඉළංචෙලියන් මහතා විසින් ලබාදුන් සුප්‍රසිද්ධ නඩු තීන්දුවකින් කියා සිටියේ “දෙවියන්ට හොඳට කන් ඇහෙනවා. අනිත් අයට කරදරයක් නොවෙන්න ඝන්ඨාරය හෙමින් ගසන්න” යනුවෙනි. එමින් ද ආගමික ශබ්ද විකාශනය නීති විරෝධී බවත් මහජනයාට පීඩාකාරී බවත් තහවරු කර ඇත.
  • මුස්ලිම් දේවස්ථානවලින් සිදුකරන ශබ්ද විකාශනය නතර කරන ලෙස ස‍ෞදි අරාබියේ අධිකරණය මගින් නියෝගයක් ලබාදුන් අතර ඒ අනුව එරට දේවස්ථාන 80,000ක පමණ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අධික ශබ්දය මිනිසුන්ගේ සෞඛ්‍යයට දැඩි ලෙස හානිකරන බවයි. ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම්වලට (පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට, කාර්යාල සේවකයන්ගේ කාර්යක්ෂමතාවට, රෝගීන්ගේ යහ පැවැත්මට, හෘද රෝගීන්ට) අහිතකර ලෙස බලපාන බවත් මානසික ගැටලු උද්ගත කරන බවත් නිර්දේශ කර තිබේ. ශබ්ද දූෂණය සෞඛ්‍යයට ඉතා අහිතකර බවට ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් විසින් ද නිර්දේශ ඉදිරිපත් කර ඇත. 
  • ලෝක ශාක පරාගනයට විශාල වශයෙන් දායක වන මිමැස්සන් ඇතුළු බිඟුන් වර්ග සහ වවුලන් වැනි ශබ්දයට අතිශය සංවේදී සත්වයන් රැසකට ශබ්ද දූෂණයට තත්පර 30කට වැඩි කාලයක් ශ්‍රවණය වීම ඔවුන්ගේ චර්යාවන්ට බාධා කිරීමටත්, එම ප්‍රදේශවල සංචරණය නොකිරීමටත් හේතුවන බව පරිසරවේදීන් විසින් පර්යේෂණ රැසක් මගින් තහවරු කර ඇත. මේ සම්බන්ධ තොරතුරු සහිත වාර්තා අන්තර්ජාලයෙන් ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි වේ.

(සජීව විජේවීර විසිනි)

1 COMMENT

  1. Lapata paten lata pata pata Lapata patan lata pata pata Lapata patan lata pata pata rumberi kiyapan nube nombare
    感觉健康于哦和环境 发hivu吃醋那里比个i赴俄土8给i赴杜甫iv口元宵节付出i赴幅度4好像有点夜u给i看if看v开个咖啡肌肤看v将v减肥减肥讴歌i个iv可根据风景v将参加你i公开房间和粗放一点5独孤i获得更多好看他是头发开花呀花花哦黄瓜ID衣服可不开始将v发的今天高考附近那个角 🦧🐷🐐🐃🐂🐗🦍🐒🐸

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!