spot_img
spot_imgspot_img

කැන්ඩි කණ්ඩායම ශූරතාව දිනා ගනී

පුවත්

විදෙස්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟවාලියේ ශූරතාව හිමිකරගැනීමට, බී ලව් කැන්ඩි කණ්ඩායම ඊයේ (20) සමත්විය. ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරඟයේ දී කඩුලු 05කින් දඹුල්ල අවුරා කණ්ඩායම පරාජයට පත්කරමිනි.

එල්පීඑල් තරඟාවලිය මීට පෙර පැවැති අවස්ථා තුනේ දී ම එහි ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ පළමු වටයෙන් ම ඉවතට විසි වූ අතර කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අවසන් මහා තරඟයට පිවිසියේ තරඟාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

පෙරදින පැවැති තරඟයේ දී පාදයේ ආබාධයකට ලක්වූ කැන්ඩි නායක වනිඳු හසරංග මෙම තරඟයට සහභාගී නොවූ අතර ඇන්ජලෝ මැතිව්ස් ඒ වෙනුවට කණ්ඩායම මෙහෙයවූයේය.

අවසන් මහා තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 147ක් ලබාගැනීමට සමත්විය.

ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු 40 ලබා ගත් අතර සධීර සමරවික්‍රම පන්දු 30 කදී ලකුණු 36ක් ලබා ගත්තේය. කුසල් ජනිත් පෙරේරා පන්දු 25කට නොදැවී ලකුණු 31ක් රැස්කර ගත්තේය.

චතුරංග ද සිල්වා ලකුණු 25 කදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බී ලව් කැන්ඩි එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 05ක් දැවී ලකුණු 151ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය.

එහි දී කමිඳු මෙන්ඩිස් පන්දු 37කදී ලකුණු 44ක් ලබා ගත් අතර මොහොමඩ් හාරිස් පන්දු 22කට ලකුණු 26ක් රැස් කළේය.

දඹුල්ල අවුරා කණ්ඩායමේ නූර් අහමඩ් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

මෙවර අවසන් මහ තරඟයේ දී කැන්ඩි කණ්ඩායමේ තාවකාලික නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25ක් ලබාගැනිමින් තම කණ්ඩාය‍මේ ජයග්‍රහණය දක්වාම පිටියේ රැඳී සිටි අතර පන්දු යැවීමෙන් ද පන්දුවාර 02ක් ලකුණු 11කට සීමා කරගැනීම නිසා ඔහුට තරඟයේ වීරයා සම්මානය හිමිවිය.

තරඟාවලියේ වීරයා වූයේ පිත්තෙන් ලකුණු 219ක් සහ කඩුලු 19ක් දවාගනිමින් දස්කම් දැක්වූ කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!