spot_img
spot_imgspot_img

රට ම රැවැට්ටූ බොරු ජාතික පාසල්

පුවත්

විදෙස්

චාමර සම්පත් විසිනි

ජාතික පාසල් 1,000ක් ඇතිකරන කියමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ සිදුකරන ලද්දේ ව්‍යාජ සංදර්ශනයක් බවත් එම පාසල් ජාතික පාසල් නොවන බවත් තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කරමින් කරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

“සෞභාග්‍යයේ දැක්ම” නමැති ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බව කියමින් 2022 ජනවාරි 08 වැනි දා මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කරන්නේ යැයි උත්සවයක් පවත්වා එම වැඩපිළිවෙල ආරම්භ කළ ද එතැන් පටන් මේ දක්වා අලුතෙන් ජාතික පාසල් බවට පත්කර ඇත්තේ පාසල් 23ක් පමණි.

රජයේ ප්‍රකාශය වූයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම ජාතික පාසල් තුනක් ස්ථාපිත කරන බවයි. නමුත් රජය කර ඇත්තේ නැවත වතාවක් ජනතාව සහ ළමා පරපුර රැවටීමක් පමණි. නිසි පරිදි වැසිකිළි, කැසිකිළි පහසුකම්වත් ප්‍රමාණවත් නැති පාසල් රැසකට රුපියල් ලක්ෂ 20ක් බැගින් ලබා දී පාසල ජාතික පාසලක් යැයි නාම පුවරුවක්, ඇතුළුවන ගේට්ටුව සහ සමරු ඵලකයක් ඉදිකර තිබේ. ඊට අමතරව එම මුදලින් ම ප්‍රදේශයේ මැති ඇමතිවරු ගෙන්වා උත්සවයක් ද පැවැත්විණි. එම පාසල්වලට ලැබුණු වෙනත් පහසුකමක් හෝ සිදුකරන ලද සංවර්ධනයක් හෝ නැත.

ඒ අනුව “සෞභාග්‍යයේ දැක්ම” නමැති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති ජාතික පාසල් 1,000ක් දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘතිය තනිකරම ඇස්බැන්දුමක් බවට පත්ව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකාවේ පාසල් විවිධ ආකාරයෙන් වර්ගීකරණය කර ඇති බවයි. එය ඉතාමත් අපහසු වර්ගීකරණයක් බව ද අමාත්‍යාංශය පිළිගනී. මේ නිසා පාසල් වර්ගීකරණය වෙනස්කිරීමට සිදුව ඇතැයි ද නිලධාරීන් පවසයි.

ජාතික පාසල්වලට මුදල් ප්‍රතිපාදන ලැබීම, ගුරු මාරු කිරීම, විදුහල්පති පත්කිරීම, විනය ක්‍රියාමාර්ග ගැනීම, ක්‍රීඩා සහ විෂය සමගාමී ක්‍රියා පැවැත්වීමේ යම් දායකත්වයක් සැපයීම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සෘජුව සිදුවෙයි. අනෙකුත් පාසල් සියල්ල පළාත් සභා පාසල් ලෙස හඳුන්වන අතර එ්වායේ සියලු කටයුතු සඳහා වගකීම ඇත්තේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ය.

කෙසේ වෙතත් සම්පත් බෙදී යාමේ දී නම් ජාතික පාසල්වලට ඉහළ සම්පත් ලැබීමක් සිදුවන බව පෙනෙන්නට තිබේ. ඒවායේ ගුරු හිඟයක් ද නැත. ජාතික පාසල් ගුරුවරුන්ට ද ජාතික පාසලකින් ජාතික පාසලකට මාරුවීම හැර පළාත් සභාවට යාමට හැකියාවක් නැත. ජාතික පාසල්වල විභාග ප්‍රතිඵල ද පළාත් සභා පාසල්වලට සාපේක්ෂව ඉහළ මට්ටමක ඇතැයි පිළිගනී. මේ නිසා ජාතික පාසල්වලට සිසු සිසුවියන් ඇතුළු කිරීමේ ඉහළ තරඟකාරීත්වක් හටගෙන තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව 374කි. අධ්‍යාපන අමාත්‍යාංශය ම පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ දී ඇතිකළ බව කියූ අනෙකුත් ජාතික පාසල් ගේට්ටුවට, නාම පුවරුවට සහ සමරු ඵලකයකට පමණක් සීමා වී ඇති බවයි. ඒවා ජාතික පාසල් නොවන බව ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව තවමත් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතියෙන් ජාතික පාසල් වන්නේ 3.6%ක් පමණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විසින් සියඹලාණ්ඩුව මහා විද්‍යාලය සමඟ පිහිටුවන ලද ජාතික පාසල් සංඛ්‍යාව පහත සඳහන් කර ඇත.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය

දොම්පෙ දේවි බාලිකා මහ විද්‍යාලය

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය

කොල්වින් ආර් ද සිල්වා මහ විද්‍යාලය

රාජසිංහ මහා විද්‍යාලය

හැටන් ශාන්ත ශ්‍රේබ්රියල් විදුහල

ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලය

පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය

වක්දන්ඩ ධර්මපාල බාලිකා විද්‍යාලය

පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය

පලාලි මධ්‍ය විද්‍යාලය

කල්මුණේ මුහම්මද් බාලිකා විද්‍යාලය

මහදිවුල්වැව මහා විද්‍යාලය

උහුමීය ඩී එස් සේනානායක මහා විද්‍යාලය

ලුණුවිල බෞද්ධ කාන්තා විද්‍යාලය

තම්බුත්තේගම මහා විද්‍යාලය

කැකිරාව විද්‍යාරත්න විද්‍යාලය

සියඹලාන්ඩුව මහා විද්‍යාලය

බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය

කුරුවිට මධ්‍ය විද්‍යාලය

රත්නාක ශාන්ත ජොන් දෙමල විද්‍යාලය

කෑගල්ල ස්වර්ණජයන්ති මහ විද්‍යාලය

වත්මන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් ජාතික පාසල් පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ ජාතික පාසල් 1,000ක වැඩසටහන ක්‍රියාත්මක නොවූ බවයි. රුපියල් ලක්ෂ 20ක් ලබා දී ගේට්ටුවක්, නාම පුවරුවක් සහ සමරු ඵලකයක් ඉදිකර, දේශපාලකයන් ගෙන්වා උත්සව පැවැත්වූ පාසල් සියල්ල ජාතික පාසල් නොවන බවත් ඒවා ‍ජාතික පාසල් ලෙස තවදුරටත් නම්කිරීමක් හෝ නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

“ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට පාසල් තුන බැගින් ජාතික පාසල් 1,000ක් දක්වා වැඩි කරන්න මීට අවුරුදු දෙකකට කලින් යෝජනා කර තිබුණත් ඒක ප්‍රායෝගික වැඩක් නෙවෙයි. ඒ නිසා එතෙක් තිබුණු ජාතික පාසල් 351 අතර ට තවත් පාසල් 23ක් එකතු කළා. ඒ අනුව දැන් ජාතික පාසල් 374ක් තිබෙනවා. අනිත් කිසිම පාසලක් ජාතික පාසලක් නොවෙයි. ඒවා තවදුරටත් පළාත් සභා පාසල්. පාසලක් ජාතික ද පළාත් සභා ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ එ්වා සියල්ල දියුණු කිරීම පමණයි. බෝඩ් විතරක් ගැහුවට ජාතික පාසල් වෙන්නේ නැහැ.”

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ පාසල් පර්ෂද 1,250ක් බිහිකිරීමට බලාපොරොත්තු වන බවයි. එමගින් ප්‍රමුඛ පාසලක් නම්කර අනෙක් පාසල් එකතුකරලා සමූහ පාසල් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කරන බවත් ප්‍රාථමික දරුවන්ට ශිෂ්‍යත්වයෙන් ඉහළට යාමට අවස්ථාව ලබාදෙන බවත් හෙතෙම කීවේය. දරුවන්ට 13 වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාගත හැකි පාසල් පද්ධතියක් බිහිකිරීම රජයේ අපේක්ෂාව යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ කරුණුවලින් පැහැදිළි වන්නේ ආණ්ඩුව මෙරට සමස්ත දරු පරපුර රවටා ඇති බවයි.

ඇස් පනාපිට බොරුවක් වු ජාතික පාසල් දහසේ වැඩ සටහන – තොරතුරු දැනගැනීමේ අයිතිය (rtisrilanka.lk)

3 COMMENTS

  1. ඇත්තට කවුද ඒ කාලෙ අධ්‍යාපන ඇමතිකම කරපු එකා?? ඌ දැන් කොහෙද??

  2. ඇත්තටම බෝඩ් එකයි,ගේට්ටුවයි විතරයි.සමහර පාසල් වල දරුවන්ට අවශ්‍ය ගොඩනැගිලි ප්‍රමාණවත් නැහැ.කාලේන් කාලෙට එක එක පාලකයට ඕන විදිහට පාසල් නම් කරනවා.දරුවන්ට වෙච්ච සෙතක් නම් නෑ.රටේ අනාගතයට වගකිවයුතු අමාත්‍යාංශයක් වුනු අධ්‍යාපන අමාත්‍යාංශයට ජෝකර්ලා අවශ්‍ය වගකීමෙන් .බුද්ධියෙන් වැඩ කල හැකි අමාත්‍යවරු පත් කල යුතුයි

  3. ඇත්තටම බෝඩ් එකයි,ගේට්ටුවයි විතරයි.සමහර පාසල් වල දරුවන්ට අවශ්‍ය ගොඩනැගිලි ප්‍රමාණවත් නැහැ.කාලේන් කාලෙට එක එක පාලකයට ඕන විදිහට පාසල් නම් කරනවා.දරුවන්ට වෙච්ච සෙතක් නම් නෑ.රටේ අනාගතයට වගකිවයුතු අමාත්‍යාංශයක් වුනු අධ්‍යාපන අමාත්‍යාංශයට ජෝකර්ලා අවශ්‍ය නෑ. වගකීමෙන් .බුද්ධියෙන් වැඩ කල හැකි අමාත්‍යවරු පත් කල යුතුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!