අක්මීමණ පොලිසිය විසින් තම සහෝදරයාට වෙඩි තබා බරපතල තුවාල සිදුකර, අත්බෝම්බයක් සහ ටී 56 උණ්ඩ 105ක් දමා අසත්‍ය චෝදනා එල්ලකර ඇතැ අක්මීමණ පදිංචි භානුක දිසානායක පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිවරයාට, අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට පවා පැමිණිලි කර ඇත.
මෙලෙස වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 21ක් වන මලීෂ විදුරංග දිසානායක නමැති අක්මීමණ පදිංචි තරුණයෙකි. ඔහු පසුගිය 10 වැනි දා රාත්‍රී 9.00ට පමණ තවත් මිතුරකු සමඟ සංගීත සංදර්ශනයක් බැලීමට යාමේ දී මෙම සිද්ධියට මුහුණ දී ඇත.
ඔහු සමඟ ගිය මිතුරාගේ, මව සිද්ධිය දැනගෙන පැමිණ පවසා ඇත්තේ මලීෂට පොලිසිය විසින් වෙඩි තබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එම තොරතුරට අනුව පවුලේ ඥාතීන් කරාපිටිය ශික්ෂණ රෝහලට යන විට තුවාල ලබා සිටි මලීෂගේ මුහුණට වෙඩි වැදීමෙන් තුවාල සිදුව තිබෙනු දැකගත හැකිවිය. ඒ වනවිටත් අක්මීමණ පොලිසියේ නිලධාරීන් හා ගාල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ සිට ඇත.
භානුක දිසානායක පවසන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනගත් තොරතුරු අනුව තම බාල සහෝදරයා සහ ඔහුගේ මිතුරා අක්මීමණ ආන්නගොඩ ප්‍රදේශයේ අතුරු පාරක යතුරුපැදිය නතර කරගෙන බීඩි බොමින් සිටිය දී පොලිස් යතුරුපැදියක් පැමිණ ඇති බවයි. ඒ සමඟම තම සොහොයුරා සමඟ සිටි මිතුරා පොලිසිය එන බව පවසමින් යතුරුපැදියෙන් වේගයේන ඉදිරියට ගිය බවත්, මල්ලීට කිසිවක් කරකියාගත නොහැකිව සිටිනවිට පොලිසිය විසින් ඔහු අල්ලාගෙන ඇති බවත් පවසයි. ඇති වූ බයට පොලිසියෙන් බේරී දිව ගිය බවත් එම අවස්ථාවේ වෙඩි හඬක් ඇසුණු බව ද එම වෙඩි ශබ්දය සමඟ තම මුහුණ තුවාල වී තිබුණ ද ඉදිරියට දිව ගිය බව තුවාලකරු පවසයි. එම අවස්ථාවේ තම මිතුරා මාර්ගයේ සිටි බැවින් ඔහුගේ යතුරුපැදියේ නැග කරාපිටිය රෝහලට පැමිණි බවත් තුවාලකරු පවසා තිබේ.
තමන්, මව සහ පියා රෝහලට පැමිණි බව දැනගත් පොලිසිය මව අසළට පැමිණ “පුතා හොඳ එකෙක් නෙවෙයි බෝම්බයක් ගහන්න හදල තියෙනවා” යනුවෙන් ද පැවසූ බව ද භානුක කියයි.
“පස්සේ මේ කතාව රූපවාහිනී මාධ්‍යයේත්, සමාජ මාධ්‍යවලත් ප්‍රචාරය වුණේ මගේ මල්ලී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයකින් පහර දෙන්න හදනවිට මල්ලීට වෙඩි තැබූ බව කියමින්. ඒ වගේම එයා ගාව තිබිලා අත්බෝම්බයක් සහ ටී-56 උණ්ඩ 105ක් පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් ප්‍රචාරය වුණා. මගේ මල්ලී ජීවිතේට අත්බෝම්බයක් දැක හෝ අල්ලා නොමැති බව මට විශ්වාසයන්ම පැවැසිය හැකියි. ගමේ ඕනෑම කෙනෙකුගෙන් අප පවුල ගැන සහ මගේ මල්ලී ගැන රහසිගතව පරීක්ෂණයක් පැවැත්වුවහොත් අප කවුද කියලා සොයාගන්න පුළුවන්” භානුක කියයි.
පොලිසිය ම වෙඩි තියලා දැන් බෝම්බයි උණ්ඩයි දාලා මල්ලිව අපරාධකාරයෙක් කරන්න බොරු නඩු පටලවනවා. පොලිසිය හිතාමතාම වෙඩි තියලා ඒක සාධාරණීකරණය කරන්න හදන්නේ.
“පොලිසිය මේ බොරු ප්‍රචාරය කරමින් මල්ලීටත්, අපේ පවුලටත් කර ඇති අපරාධය හා අපහාසය සම්බන්ධයෙන් අපිට යුක්තිය ඉටුවෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ ගැන අක්මීමණ පොලිසියෙන් කරන පරීක්ෂණ පිළිගන්න බැහැ. ඒක හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හා සමාන දෙයක්.” යැයි භානුක පවසයි.
අක්මීමණ පොලිසිය මෙම තරුණයාට වෙඩි තැබීම නීති විරෝධී බවත්, අසත්‍ය චෝදනා එල්ල කරමින් නඩු පැවරීමට විරෝධය දක්වමින් අක්මීමණ ගම්වාසීහු පිරිසක් ද උද්ඝෝෂණයක නරත වූහ.