spot_img
spot_imgspot_img

වැලිගම දී දරුවන් දෙදෙනකුට දිවි අහිමිවුණේ, ප්‍රාදේශීය සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදින් ?

පුවත්

විදෙස්

අහිංසක දරුවන් ඇතුළු පුද්ගලයන්ගේ ජීවිත දුම්රිය අනතුරුවලින් අහිමිවීමේ දී එහි වරදින් වැඩි කොටසක් දුම්රිය දෙපාර්තමෙන්තුව සහ අනිකුත් රාජ්‍ය ආයතන බාරගත යුතු බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නේය.

ඊයේ (04) සවස ඔහු මේ බව කියා සිටියේ වැලිගම පැලෑනේ දී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු සහ යුද හමුදා සාමාජිකයකු මියගිය අනතුර පිළිබඳ සඳහන් කරමිනි.

එම අනතුරින් මියගිය විතරණ මියුරු සත්සර මෙන්ඩිස් නමැති වයස අවුරුදු 07ක් වූ පාසල් සිසුවාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකරන ලදී.

එහි දී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දුම්රිය අනතුර සිදවූ පැලෑන පොහොර ගබඩාව අසළ ඇත්තේ විදුලි සංඥා සහිත දුම්රිය හරස්මාර්ගයක් වුව ද සති ගණනක සිට එම සංඥා කුළුණු නිවැරදිව ක්‍රියාත්මක වී නැති බවයි. එමෙන් ම දුම්රිය මාර්ගය දෙපස දුම්රිය රක්ෂිතයේ විශාල වශයෙන් ශාක වැවී ඇති බවත් අනාවරණය වූ බව මරණ පරීක්ෂකවරයා කීවේය. එවැනි ස්ථානවල ඈතින් එන දුම්රිය පහසුවෙන් දැකගත හැකි පරිදි දුම්රිය මඟ දෙපස එළි පෙශෙළි කර තිබීම අදාල ආයතනවල වගකීම බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

තව ද මෙම මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාව විසින් ඒ ආසන්න කාණු සුද්ද කිරීමෙන් අනතුරුව දුම්රිය මාර්ගය අසළ පස් ගොඩක් එකතුකර ඇති බවයි. මෙම පස්ගොඩ හේතුවෙන් මාර්ගයේ ගමන්ගන්නා කුඩාවාහනවලට දුම්රිය විදුලි සංඥාව නිසිපරිදි දර්ශනය නොවන බවත් අනතුරක් සිදුවිය හැකි බවත් ගම්වාසීන් විසින් අවස්ථා කිහිපයක් ම පැමිණිලි කර තිබුණ ද එම පස් ගොඩ අනතුර සිදුවන තුරුම ඉවත්කර තිබුණේ නැත.

පෙරේදා (03) සවස මෙම අනතුර සිදුවූ පසු ඊයේ (04) මරණ පරීක්ෂණ සිදුකරමින් තිබිය දී ප්‍රාදේශීය සභාව විසින් සේවකයන් යොදා එම පස්ගොඩ කඩිමුඩියේ ඉවත්කර ඇත.

මෙම කරුණු පෙන්වාදුන් හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ දුම්රියක වාහනයක් හෝ පුද්ගලයකු ගැටුණු විට ඒක පාර්ශ්විකව එම අනතුරට ලක්වූ වාහනයට හෝ පුද්ගලයා  වෙත වැරැද්ද යොමුවන බවයි. නමුත් මෙවැනි මරණ සිදුවන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල වරදින් බවත් එවැනි අනතුරු රැසක් පසුගිය මාස කිහිපයේ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට වාර්තා වූ බවත් ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ කියා සිටියේය.

මියගිය දරුවාගේ පියාවන විතාරණ ලලිත් කුමාර මෙන්ඩිස් (41) මෙම මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.

“මම ධීවර රස්සාව කරන්නේ. දවස් කිහිපයකින් මුහුදු ගියේ නෑ, පුතාලා කිව්වා පෝයෙන් පස්සේ යන්න කියලා. ඒ නිසා නතර වුණා. මියගොස් සිටින්නේ මගේ බාලම දරුවා. එයාට වයස අවුරුදු 07යි. ඊට වැඩිමල් අවුරුදු 13ක සහ 09ක පුතුන් දෙදෙනෙක් ඉන්නවා. එයාලා පොල්අතුමෝදර මහා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. එදා ඉස්කෝලේ උත්සවයක් නිසා මගේ නෝනාත් දරුවන් එක්ක පාසලට ගිහින් ආපසු එන අතරේ පවුලේ ඥාතිවෙන මල්ලී කෙනෙක් එයාගේ ත්‍රී රෝද රථයේ මෙයාලා හතර දෙනාව නග්ගාගෙන තිබෙනවා ගෙදරට එක්කගෙන එන්න. ඒ මල්ලී හමුදාවේ වැඩ කරන්නේ. මාස දෙකක පොඩි දරුවෙකුගේ තාත්තා කෙනෙක්. එයා දරුවා බලන්න නිවාඩුවට ඇවිත් අද ආපහු යන්න හිටියේ. ඒ එන අතරේ දී තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. මට යාලුවෙක් ඇවිත් කිව්වා. මම එතනට යනකොට නෝනවත්, පුතාල තුන්දෙනාවත් වැලිගම ඉස්පිරිතාලෙට අරගෙන ගිහින්. වැලිගම ඉස්පිරිතාලෙට ගියාම කිව්වා ලොකු පුතාත්, දෙවැනි පුතාත් නෝනාත් මාතරට අරගෙන යනවා. පොඩි පුතා කරාපිටියට අරගෙන යනවා කියලා. මමත් මාතරට ගියා. කරාපිටියේ අපේ අක්කා කෙනෙකුට කිව්වා බාල පුතා ගේනවා එයා ගැන බලන්න කියලා. මාතර ගියාම දැනගත්තා දෙවැනි පුතා මියගිය බව. ත්‍රීවීලර් එක අරගෙන ආපු මල්ලිත් මැරිලා බව දැනගත්තා. ලොකු පුතාගේ කකුලක් කැඩිලා. නෝනගෙත් අතපය තුවාල වෙලා. අක්කා රෑ 9.30ට විතර කෝල් කරලා කිව්වා පොඩි පුතාත් මියගියා කියලා.

මේ අනතුර සිදුවුණු ස්ථානයේ විදුලි සංඥා හරියට වැඩ කරන්නේ නෑ. කැලේ වැවිලා පාර දෙපැත්ත පේන්නෙත් නෑ. වැලිගම ප්‍රාදේශීය සභාවෙන් එතන පස් ගොඩක් ගහලා පොඩි වාහනවලට අර දුම්රිය සංඥා ලයිට් පේන්නේ නෑ.  මේ ගැන ප්‍රාදේශීය සභාවට කලින් කියල තියෙනවා. ඒත් ඒවා ගණනකට ගත්තේ නෑ. අන්තිමේ දී මට මගේ දරුවන් දෙන්නෙක් ම නැති වුණා“

මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ත්‍රී රෝද රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි. වැලිගම පොලිසිය එම දුම්රියේ රියදුරාගෙන් සාක්ෂි සටහන් කරගැනීමට නියමිත අතර තුවාල ලබා සිටින මව බෝපගේ හිමාලි ප්‍රියදර්ශනීගෙන් ද සාක්ෂි සටහන් කරගැනීමට නියමිතය.

ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ආර්.සී.විජේනායකගේ වාර්තාව සැළකිල්ලට ගත් ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේ ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් හිස්කබලට සහ මොළයට සිදුවූ හානි හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!