spot_img
spot_imgspot_img

රනිල්, පාසල් පද්ධතියට ම තර්ජනය කරයි. සියලු දේ රාජකීයයන්ට පමණක් ද ?

පුවත්

විදෙස්

සජිව වි‍ජේවීර විසිනි

පාසල් ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් නිරාකරණය කර නොගන්නේ නම් පාසල් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි ද දරුවන් ප්‍රාණ ඇපයට ගැනීමට කිසිම කණ්ඩායමකට ඉඩ නොතබන්නේ යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දී ක‍ීවේය.

ඔහු මේ බව කියා සිටියේ පාසල් සිසුන්ට සහ පිරිවෙන් සිසුන්ට නොමිළයේ පෙළ පොත් හා නිල ඇඳුම් බෙදාදීමේ ජාතික උත්සවය අමතමිනි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ‍හේමන්ත ප්‍රේමතිලක ද සහභාගී සිටියහ.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරන ලද්දේ ගුරු මාරු මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද මාරුවීම් 12,050ක් ජනාධිපතිවරයාගේ අණින් අත්හිටුවීමෙන් පසු ගුරුවරුන් කරන ලද උද්ඝෝෂණයකින් අනතුරුව ප්‍රසිද්ධ වේදිකාවක කතාවක් පවත්වමිනි.

එම ගුරුමාරුවීම් අත්හිටුවන ලද්දේ තමන්ගේ ඉල්ලීම මත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ඉල්ලීම් සියල්ල ඉටු කරන බවටත් කොළඹ සුපිරි පාසලක විදුහල්පතිවරයකු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් හමුවේ පුරාජේරු කියා තිබිණි. ගුරු සංගම් සියල්ල චෝදනා කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාරුවීම් අවලංගු කළ බවයි.

ගුරු මාරු මණ්ඩලය පිහිටුවන ලද්දේ 2017 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් සකස් කරන ලද ගුරු මාරු ප්‍රතිපත්තියක් අනුව යමිනි. එවකට අගමැතිවරයා වූූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. එක් පාසලක වසර 10කට වැඩි කාලයක් සේවය කරන ලද ගුරුවරුන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා ඔවුන් මාරුවී යාමට කැමති විද්‍යාල ලේඛනයක් ද සකසා ගුරු මාරුවීම් මණ්ඩලය අදාල මාරුවීම් පිරික්සන ලද්දේ 2022 අගෝස්තු මාසයේ සිටය. ඉන් පසු එම මාරුවීම් පළමු ලේඛන සකසා අභියාචනා 8,000කට වැඩි ප්‍රමාණයක් ද සළකා බලා තිබිණි.

ඉන් අනතුරුව සැකසූ අවසන් ලේඛන අනුව ගුරුමාරුවීම් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනුම් දීමෙන් පසු රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ජනාධිපතිවරයාගෙන් රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරඟය අතරතුර මෙම ඉල්ලීම කළ බව ගුරු සංගම් චෝදනා කරයි.

එම ඉල්ලීම විදුහල්පතිවරයා විසින් සිදුකර පැය කිහිපයකට පසු ජනාධිපති මාධ්‍ය ඒකකය ගුරු මාරු මණ්ඩලය අහෝසි කළ බවටත්, ගුරු මාරුවීම් 12,000ක් ජනාධිපති අණින් වහාම අත්හිටවූ බවත් එයට හේතුව ගුරුවරුන් විශාල පිරිසක් මුහුණ දී ඇති ආර්ථික අපහසුතා සහ ඔවුන්ගේ ඉල්ලීම බවත් කියමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

නමුත් එම මාධ්‍ය නිවේදනය නිකුත්වීමත් සමඟ rata.lk අපි ගුරු මාරු මණ්ඩල සාමාජිකයන්ට සහ ගුරු සංගම් නිලධාරීන්ට අමතා එම පුවත සත්‍යයක් දැයි විමසුව ද ඔවුන් එවැනි පුවතක් දැන සිටියේවත් නැත. අධ්‍යාපන අමාත්‍යවරයා හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද එවැනි කරුණක් දැන සිටියේ නැත. රාජකීය ආදි ශිෂ්‍ය රනිල් වික්‍රමසිංහ මහා ක්‍රිකට් තරඟයේ ආශ්වාදයෙන් පසු සඳුදා ගුරු මාරු අධ්‍යක්ෂවරයා කැඳවා අදාල මාරුවීම් ලේඛන  ජනාධිපති ලේකම් කාර්යාලය භාරයට ලබාගෙන තිබුණේ ඒ ගැන පිරික්සන බව සඳහන් කරමිනි.

ගරු මාරුවීම් නවතා දැමීමට විරෝධය දක්වමින් සියලු ගුරු සංගම් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එම ගුරු විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාම වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබිණි. එම උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානය ඉදිරිපිට කිසිම අවස්ථාවක නොතිබුණු සංවිධාන නම් යටතේ ගුරු උද්ඝෝෂණයට විරුද්ධව තවත් උද්ඝෝෂණ දෙකක් සංවිධානය කර තිබිණි. එම උද්ඝෝෂණවල සිටි පිරිස් මාධ්‍යවේදීන් සමඟ ගැටුම් පවා ඇතිකරගත්හ.

අප වෙත වාර්තාවන ආකාරයට කොළඹ රාජකීය විද්‍යාලයට අරක්ගෙන වසර 10කට වැඩි කාලයක් සේවය කරන මහා බලවතුන් ලෙස පෙනී සිටින ගුරුවරු 50 දෙනකු මාරුවීම් ලැබීමට නියමිතය. ‍රටේ සියලුම සිසුන්ට සම අධ්‍යාපන අයිතිවාසිකම් හිමිවිය යුතුයැයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත්කර තිබිය දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුරක් නෑර ක්‍රියාත්මක කළ යුතුයැයි කියන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බිග් මැච් ආශ්වාදයත් සමඟ එය අමතක වී ඇති බවක් පෙනී යයි.

රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකාවේ සුපිරි පාසලක් යැයි ද එහි ඇති සම්ප්‍රදායන් සහ අධ්‍යාපන තත්වය ආරක්ෂා කිරීමට පාසලට වසර 10ක් පුරා අරක්ගෙන සිටින ගුරුවරු සිටිය යුතුයැයි ද විදුහල්පති, පාසල් ආදි සිසුන් සහ පාසල් සංවර්ධන සමිතිය තැන තැන කියති. එමගින් ඔවුන් රනිල් වික්‍රමසිංහ නම් ආදි සිසු ජනාධිපතිවරයා සමඟ එක්ව අහිමි කරන්නේ සියලු දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය. එමෙන්ම ගුරවරයකුට තම සුදුසුකම් අනුව සේවා ස්ථානයකට මාරුවී යාමේ අයිතිය ද රාජකීය විද්‍යාලයට මාරුවීම් ලබා පැමිණීමට නියමිත ගුරුවරුන්ට අහිමිකිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ද විපක්ෂය විසින් ප්‍රශ්න කළ විට අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ උගන්වන ගුරුවරු හැර අනෙක් සියලු ගුරුවරුන්ගේ මාරුවීම් පෙර පරිදි ක්‍රියාත්මක කරන බවයි. අනෙක් ගුරුවරුන්ගේ මාරුවීම් අප්‍රේල් 17 සිට ක්‍රියාත්මක වන බව කීවේය. නමුත් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලු ගුරුමාරුවීම් ලබන අප්‍රේල් 17 සිට ක්‍රියාත්මක කරන බවයි.

මෙවැනි වාතාවරණයක් පවතිද්දී දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව පවසයි. පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නේ නැතිනම් පාසල් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරන්නේ යැයි ද තර්ජනය කරයි.

පාසල් අධ්‍යාපනය දරුවන්ට අත්‍යාවශ්‍ය සහ අනිවාර්ය දෙයකි. ඒ ගැනි අපට කිසදු විවාදයක් නැත. නමුත් රනිල් වික්‍රමසිංහ වැනි කොළඹ 07 පුද්ගලයන් ඉගෙනුම ලැබූ රාජකීය විද්‍යාලයේ වුවමනාවට අනෙකුත් පාසල්වල දරුවන් වන්දි ගෙවිය යුතු  නැත. රාජකීය විද්‍යාලයේ ගුරුවරු කිහිප 50ක පිරිසකගේ වුවමනාව නිසා, මාරුවීම් අපේක්ෂාවෙන් සිටි තවත් ගුරුවරු 12,000කට එම අවස්ථාව අහිමිවිය යුතු නැත.

පාසල් දරුවන්ගේ ගැටලු විමසීමට යැයි කියමින් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් ගෙන්වාගෙන සංදර්ශන පැවැත්වූ රනිල් වික්‍රමසිංහට ගමේ පසලේ දරුවන්ගේ ගැටලු නොතේරීම පදුමයට කරුණක් නොවේ. ඔහු දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෑම දරුවකුටම සම අධ්‍යාපන අයිතිය ලබාදීමේ ප්‍රතිප්තිතයත් උල්ලංඝනය කරමින් සිටියි.

කොළඹ 07 රනිල් වික්‍රමසිංහලා රාජකීය පදයට නටද්දී, රටේ සුවහසක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ තත්වය ගැන පසුගිය දා අධ්‍යාපන අමාාත්‍යාංශය විසින්ම පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිදරව් විය.

03 වැනි ශ්‍රේණියේ සිසු දරු දැරියන් 10,000ක් සම්බන්ධ කරගනිමින් පැවැත්වූ එම සමීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ දරුවන්ගේ ගණිතමය සාක්ෂරතාව 95%කට ම අහිමි වී ඇති බවයි.

කොළඹ 07 රනිල් වික්‍රමසිංංහ බිග් මැච් උන්මාදයෙන් ආශ්වාදයට පත්වී තමන් ඉගෙනුම ලැබූ පාසලේ වුවමනාව ඉටු කරන්නේ මේ රටේ සුවහසක් පාසල් දරුවන්ට ඛේදවාචකයක් උරුම කරමිනි.

(මෙම ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් විමසීමට ‍කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද විද්‍යාලයේ දුරකථන ඇමතුමට පිළිතුරු දෙන පුද්ගලයන් පවසන්නේ විදුහල්පතිවරයාට ඇමතුම් සම්බන්ධ කළ නොහැකි බවයි. ඔහුගේ ජංගම දුරකථන අංකය ද ලබාදෙන්නේ නැත. එබැවින් මෙම ලිපිය හේතුවෙන් රාජකීය විද්‍යාලයට හෝ වෙනත් පාර්ශවයකට අගතියක් සිදවුන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ අදහස් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින බව දන්වා සටින්නෙමු.)

1 COMMENT

  1. තක්කඩි 134 ක චන්දෙන් පත්වෙලා මුගේ කථා.. අනේ පරයෝ උඹ හිතන් ඉන්නේ පොලිසියේ හමුදාවේ තුවක්කුවෙන් රට දුවන්නද..? එහෙනම් බලමුකෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!