spot_img
spot_imgspot_img

ජනතා අයිතියට පයින් ගසා, අමතක කළ මැතිවරණය, ඒකාධිපති පාලනයට රුකුලක් ද ?

පුවත්

විදෙස්

සජීව විජේවීර විසිනි

ජනතාවගේ ඡන්ද අයිතිය ගැන කතාකරන දේශපාලන පක්ෂ රැසකට, දේශපාලකයන්ට සහ රටේ බහුතර ජනතාවකට මේ වනවිට පළාත් සභා මැතිවරණය අමතකව ගොස් ඇත.

මෙරට වර්ගවාදී අර්බුදයට දේශපාලන විසඳුමක් ලෙස 1987 දී හඳුන්වාදුන් පළාත් සභා ක්‍රමය අනුව ශ්‍රී ලංකාවේ මහජන නියෝජති ආයතන වන පළාත් සභා 09ක් පිහිටුවන ලදී. දැන් ඒ සියල්ල මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන් 09 දෙනකු යටතේ පාලනය වෙමින් තිබේ. ඔවුන් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

තවමත් මෙරට පළාත් ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන්නේ බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් ය.

නමුත්. මැතිවරණ කොමිෂන් සභාවට, මෙරට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජන බලවේගයට, උතුරේ සහ නැගෙනහිර පළාත් සභා සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් සියලු බලතල ඉල්ලන දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවලට, මෙන්ම 1987 පළාත් සභා මැතිවරණයට ඡන්දය දැම්මොත් මරණය කියා නියෝග පනවා පසුව ප්‍රජාතන්ත්‍රවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණට පවා දැන් පළාත් සභා මැතිවරණය අමතකව ගොසිනි.

පළාත් සභා 09 යටත් අමාත්‍යාංශ ඇති අතර එම අමාත්‍යාං යටතේ ක්‍රියාත්මක වන ආයතන රැසක් ද පවතී. පළාත් සභාවලට රජයෙන් මුදල් වෙන් කිරීම ද සිදුවෙයි. ඒවායේ එකම බලධාරියා බවට ආණ්ඩුකාරවරයා පත්ව ඇති බැවින් දැන් පළාත් සභාවල ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති පාලනයට සමාන ක්‍රමයකි. මහජනතාව වගකියන නියෝජිතයන් එහි නැත. ආණ්ඩුකාරව‍රයෙක් සහ නිලධාරී පැලැන්තියක් විසින් සියල්ල ක්‍රියාත්මක කරයි.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ 1988 අංක 02 දරණන පළාත් සබා මැතිවරණ පනත අනුවය. පළාත් සභා සඳහා කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමය මිශ්‍ර කර කාන්තා නියෝජනය ද වැඩි කර එකම දිනක පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි කියන යෝජනාව සහිත 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංහෝධන පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව කොට්ඨාස සීමා නිර්ණය කමිටුවක් පත්කර මාස 04ක් තුළ සකස් කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර තිබේ. නමුත් අත්‍යාවශ්‍යම සීමා නිර්ණය වාර්තාව ප්‍රතික්ෂේප විය. එහි පුදුමය වූයේ පනත ඉදිරිපත් කළ අමාත්‍යවරයා පවා එම පනතට විරුද්ධව ඡන්දය ලබාදීමයි.

මේ පනතේ සඳහන් ආකාරයට සීමා නිර්ණය සමාලෝචනය කිරීමට අගමැතිවරයාද ඇතුළත් සමාලෝචන කමිටුවක් පත්කළ යුතුයි. ඒ අනුව මාස දෙකක් තුළ එම සමාලෝචන කමිටුව විසින් වාර්තාව කතානායකවරයාට භාරදිය යුතු වෙයි.

එවකට හිටපු කතානායකවරයා විසින් එකල හිටපු අගමැති වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත්කළ ද අද වනතුරු එවැනි වාර්තාවක් ඉදිරිපත් කර නැහැ. ප්‍රතිඵලය වුණේ පළාත් සභාවලට මහජන නියෝජිතයන් නොමැතිවීම. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු ක්‍රමයක් නොමැතිවීම.

නමුත් එසේ වාර්තාව ඉදිරිපත් නොකළ එවකට හිටපු අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ පළාත් සභාවලට අදාල 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සියලු බලතල ලබාදිය යුතු බවයි.

2018 සැප්තැම්බර් 26 වැනි දා සබරගමුව පළාත් සභාව විසුරුණාට පසු ක්‍රමයෙන් පළාත් සභා නිල කාලය අවසන්ව විසිරුණා. අවසන් වතාවට 2019 සැප්තැම්බර් 08 වැනි දා උව පළාත් සභාව විසිරුණු දිනයයි. ඉන් පසු මේ රටේ පළාත් සභා සඳහා මහජන නියෝජිතයන් පත්වී නැත.

මේ වනවිට කිසිවෙකුත් ඒ ගැන කිසිවක් නොකියන තත්වයකට පත්ව ඇත.

පළාත් සභාවවිසිරුණු දිනය
සබරගමුව2018 සැප්තැම්බර් 26
නැගෙනහිර2018 සැප්තැම්බර් 30
උතුරුමැද2018 ඔක්තෝබර් 01
මධ්‍යම2018 ඔක්තෝබර් 08
වයඹ2018 ඔක්තෝබර් 10
උතුර2018 ඔක්තෝබර් 25
දකුණ2019 අප්‍රේල් 10
බස්නාහිර2019 අප්‍රේල් 21
ඌව2019 සැප්තැම්බර් 08

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!