spot_img
spot_imgspot_img

“දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ වෛද්‍ය වාර්තා පරස්පරයි” – නීතිඥයා අධිකරණයේ දී කියයි

පුවත්

විදෙස්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ වෛද්‍යවාර්තාවල පරස්පරතා රැසක් නිරීක්ෂණය වන බව ෂාෆ්ටර්ගේ වැන්දඹු බිරිඳ සහ පවුලේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අද (09) අධිකරණයේ දී කියා සිටියේය.

මෙම මරණය සිදුවූ දිනට පසු දින එනම් දෙසැම්බර් 16 වැනි දා පශ්චාත් මරණ පරීක්ෂණය කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් පවසා ඇත්තේ “තන්තුවකින් ගෙල සිර කිරීමෙන් ශ්වසනය ඇණහිට මරණය සිදුව ඇති බවයි.” යනුවෙන් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නමුත් පසුව මේම මරණයට හේතුව සයනයිඩ් විෂ, කෑම සමඟ මිශ්‍ර වීමක් බවට මතයක් ප්‍රකාශ කර ඇති බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අවස්ථා දෙකක දී පරස්පර විරෝධී මරණ පරීක්ෂණ වාර්තා ලබාදෙන අධිකරණ වෛද්‍ය රුහුල් හක් වෙනත් හේතුවක් මත පසුගිය දෙසැම්බර් 22 වැනි දා සිට මාස 08ක කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදීමේ තහනමකට ලක්වූ අයෙකු බවත්, ඔහුට එම තහනම පනවා ඇත්තේ වෛද්‍ය සභාව විසින් බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ ෂාෆ්ටර්ගේ මරණය ආගන්තුක පුද්ගලයකු විසින් සිදුකළ බවක් මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී නැති බවයි. මෙම කරුණු සැළකිල්ලට ගත් කොළඹ අංක 02 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවන් නඩුව ලබන මස 08 වැනි දා දක්වා කල් තැබුවාය.

රජයේ රස පරීක්ෂක වාර්තා උපුටා දක්වමින් විමර්ශන නිලධාරින් පවසන්නේ මෙම මරණය සයනයිඩ් ශරීරගතවීමකින් සිදුව ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත ඇතුළු විමර්ශන නිලධාරින් කණ්ඩායම සිය විමර්ශනවල ප්‍රගතිය වාර්තා ‍කළ අතර සාක්ෂි ලබාදෙන ලද්දේ උප පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත

“ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මියගිය දෙසැම්බර් 15 වන දිනට අදාළව ඔහුගේ මල්පාර නිවසේ සිට බොරැල්ල සුසාන භූමිය දක්වා වූ CCTV කැමරා දර්ශන රැසක් අපේ පරීක්ෂාවට ලක්වුණා. ඔහු නිවසින් පිටවෙලා තිබෙන්නේ දහවල් 2ට පමණ. එම නිවසේ ගේට්ටුවේ CCTV දර්ශන සමීපව පරීක්ෂා කිරීමේදී පෙනී ගියා ෂාෆ්ටර් මහතා මියයන අවස්ථාවේ ගෙල පෙදෙසේ තිබී හමුවූ කේබල් පටියට සමාන කේබල් පටියක් ඔහු නිවසින් පිටවන අවස්ථාවේ රියදුරු අසුනට යාබද අසුනේ තිබූ බව. එම කේබල් පටිය DISH TV කේබල් පටියක් බව අප විසින් හඳුනාගනු ලැබුවා.” 

ඔහුගේ ගෙල පෙදෙසේ තිබු මෙම කේබල් පටියට සමාන කේබල් පටියක් ඔහුගේ නිවසේ බිරිඳගේ මවගේ කාමරයට අතුළුවන ආලින්ද කොටසේ වැඩ කොකරන රූපවාහිනි යන්ත්‍රණයක තිබී හමුවුණා. මෙම කේබල් පටි දෙකේම සමානකමක් අප නිරීක්ෂණය කළ බැවින් අපි ඒවා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට යොමුකළා.”

මරණකරුගේ දෑත බැඳ තිබු පටිය කෙරෙහිද අපගේ විශේෂ අවධානයක් යොමුවුණා. මන්ද ඊට සමාන පටි 11ක් දිනේෂ් ෂාෆ්ටර්ගේ නිවසේ තිබී සොයා ගත්තා. මරණකරු මල්පාර නිවසේ සිට බොරැල්ල සුසාන භූමිය දක්වා ගමන් ගන්නා අතරතුර ආපන ශාලාවකින් පැටිස් එකක් සහ පේස්ට්‍රියක් මිලට අරගෙන තිබෙනවා. පසුව අනුභව නොකළ පේස්ට්‍රියක් ඔහුගේ මෝටර් රථයේ තිබී සොයා ගැනුනා. එමෙන්ම මොහු නිවසේ සිට බොරැල්ල කනත්ත දක්වා යන අතරතුර වෙනත් කිසිදු මෝටර් රථයක් හෝ පුද්ගලයකු ඔහු ලුහුබැදි බවක් විමර්ශනවල දී නිරීක්ෂණය වුනේ නැහැ.” 

වෙනත් කිසිදු පුද්ගලයෙකු මෙම මෝටර් රථයේ ගමන් ගත් බවක්ද අපට අනාවරණය වුනේ නැහැ. මරණකරුගේ මෝටර් රථය කනත්තට ඇතුළුවන අවස්ථාවේ බොරැල්ල කනත්තේ සේවය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් අප විමර්ශනවලදී ප්‍රකාශ ලබා ගත්තා. ඔවුන් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළා කිසිදු බාහිර පුද්ගලයෙකු මෝටර් රථයට නගින හෝ බසින දර්ශනයක් නිරීක්ෂණය නොවු බව. පසුව සුදු මහත පුද්ගලයෙකු කාර් රථයේ පිටුපස සිට ඉදිරියට ගමන් කරනවා ඔවුන් දැක තිබෙනවා. එම පුද්ගලයා මෝටර් රථයේ දොර හැර කෑ ගැසීමත් සමඟයි මෙම සේවකයින් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇත්තේ. එවිට ඔවුන් දැක තිබෙනවා රියදුරු අසුනේ සිටී තැනැත්තාගේ බෙල්ල වම් පැත්තට බරවෙලා, ඇදගෙන සිටී ටී ෂර්ටයේ වමනය තිබූ ආකාරයක්. දෑත් පටියකින් බැඳලා පපු ප්‍රදේශයේත් වයරයක් තිබී තිබෙනවා. පසුව එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු සුදු උස මහත පුද්ගලයාත් සමග මෝටර් රථයේ සිටී තැන්ත්තාව රෝහල්ගත කර තිබෙනවා. මෙම මරණයට අදාළව මරණකරුගේ පුද්ගලික සහකරුගෙන් සහ බිරිඳගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත්තා. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා මියගිය දිනේෂ් ෂාෆ්ටර් නැමැත්තා කලක සිට සිත් තැවුලෙන් පසුවූ බව. ඔහු අධික කේන්ති ගන්නා තත්ත්වයකින්, ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් නැති අයුරින් හැසිරිලා තිබෙනවා. දිනේෂ් ෂාෆ්ටර් විශාදය නැමැති රෝගයෙන් පෙළීම නිසා විශේෂඥ මනෝවෛද්‍ය නිල් ප්‍රනාන්දුගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ඔහු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සමග මුදල් ගනුදෙනු කර විශාල වශයෙන් පාඩු ලබා ඇති බව ඔහුගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී පෙනී ගියා.” 

කෙසේ නමුත් එකී කිසිදු පුද්ගලයෙකු හෝ ඔවුන්ගේ සමීපතමයෙකු මෙම මරණය සිදුවූ දින බොරැල්ල කනත්ත ආසන්න ප්‍රදේශයට ආ ගිය බවක් නිරීක්ෂණය වුනේ නැහැ. ෂාෆ්ටර්ට වැඩිම මුදල් පාඩුව සිදුවෙලා තියෙන්නේ බ්‍රයන් තෝමස්ගෙන්. ඔවුන් දෙදෙනා අතර ගැටුම්කාරී තත්ත්වයක් පවා ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නඩුවකුත් පවතිනවා. බ්‍රයන් තෝමස්ගෙන් පමණක් මරණකරුට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 140කට වැඩියි. කෙසේ වුනත් මෙම මරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය රූල් හක් මහතා නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තාවේ දැක්වෙන්නේ මෙම මරණය සයනයිඩ් ශරීරගතවීමෙන් සිදුවූ මරණයක් බවයි. එමෙන්ම අප කළ විමර්ශනවලදී මෙම මරණය සඳහා ආගන්තුක පුද්ගලයෙකු පැමිණි බවක් හෝ මරණය සිදුකළ බවක් අනාවරණය වන්නේ නැහැ. කෙසේ නමුත් අප තවදුරටත් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!