spot_img
spot_imgspot_img

මහේස්ත්‍රාත්, සිරිධම්ම හිමිට සස්ටජන් ගන්න මුදල් දීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් විරෝධයක්. “මානුෂීය චේතනාවෙන් මුදල් දුන්නා” මහේස්ත්‍රාත් කියයි

පුවත්

විදෙස්

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ යන දෙදෙනා පසුගිය නොවැම්බර් මස 17 වැනි දින අධිකරණ නිල මැදිරියට කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය පක්ෂපාතීව කටයුතු කළ බැවින් එම නඩුව තවදුරටත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීම නුසුදුසු බවත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියේාජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (17) අධිකරණය හමුවේ කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) කොළඹ අතිරේක මහේස්ත්‍රත් තරංගා මහවත්ත හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.

මෙම නඩුවේ සැකකරුවන් නොවැම්බර් මස 17 සහ 22 දිනවල දී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය තම නිල කාමරයේ දී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන කොට්ඨාසයේ නිලධාරීන් 04 දෙනකු විසින් පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට කීවේය.

මෙලෙස දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇත්තේ ත්‍රස්ත මර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්, සහකාර පොලිස් අධිකාරී වසන්ත රත්නායක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර ඇතුළු සිව් දෙනකු විසිනි. එම දිවුරුම් ප්‍රකාශ අනුව අධිකරණ සේවා කොමිසම වෙත මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියාව සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස ද පොලිස්පතිවරයා ඉල්ලීමක් කර ඇතැයි ද දිලීප පීරිස් කී‍වේය.

“අපි හැමෝම වෙනුවෙන් ඔයාලා අරගල කළේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන නිසා අපිට ඇප දෙන්න බැහැ. පනතෙන් අපේ අත් බැඳ තිබෙනවා. මේ හිමිනමට සිංහල බෙහෙත් ලබා ගැනීමට අවශ්‍යනම් එයට ඉඩ ලබාදෙන්න” යනුවෙන් මහේස්ත්‍රාත් වරිය කියූ බවත් එම අවස්ථාවේ සිරිධම්ම හිමිට පස්පංගුව සහ සස්ටජන් ලබාදීමට අධිකරණ නිලධාරියකු අතට මහේස්ත්‍රාත්වරිය විසින් රුපියල් 10,000.00 ක මුදලක් ලබා දී ඇතැයි ද සඳහන් වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණ‍යට දැනුම් දුන්නේය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඉදිරිපත් වී ඇති දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි

මෛම නඩුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීම සුදුසු නොවන බැවින් එය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරුකරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරාය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහි දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ නඩුව මාරු කිරීමට නීතිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කළ යුතු දෙයක් බවයි. මෙලෙස සිදුකිරීමෙන් අධිකරණය බිය වැද්දීම හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදුවන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන සිරිධම්ම හිමි භික්ෂුවක් ලෙස සළකා මානුෂීය චේතනාව පෙරදැරිව තමන් විසින් එම ක්‍රියාව සිදුකළ ද එම අවස්ථාවේ කරන ලද ප්‍රකාශ සියල්ල ත්‍රස්ත මර්ධන කොට්ඨාසයේ නිලධාරීන් ඉදිරිපිට දී ම  සිදුකළ බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. නමුත් තමන් ප්‍රකාශ නොකළ කරුණු ද දිවුරුම් ප්‍රකාශවලට ඇතුළත් කිරීමෙන් තමන් වෙත ගැටලුවක් ඇතිකිරීමට දරන උත්සාහය අනුමත නොකරන බව ද මහේස්ත්‍රාත්වරිය කීවාය.

එම දිවුරුම් ප්‍රකාශ පදනම් කරගනිමින් අධිිකරණ සේවා කොමිසමට ඒ වනවිටත් පැමිණිලි ඉදිරිපත් කර නැතැයි ද අනාවරණය විය.

මෙම තත්වය හමුවේ නඩුව ඉදිරියේ දී ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ කැඳවන ලෙසට නියෝග කළාය. ඒ අනුව නඩුව ඊයේ නැවත දෙවැනි වරට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබිණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, වසන්ත මුදලිගේට ඇප ලබාදෙන ලෙස ඉල්ලීඹක් කළේය. එම ඉල්ලීමට අදාල ලිඛිත දේශන ලබන 24 වැනි දා අධිකරණය හමුවේ ගොනුකරන ලෙස දෙපාර්ශවය වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 31 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!