ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇහැළියගොඩ ශාඛාවට පැමිණි ශ්රමණවේශධාරියකුට පෝළිමට පිටින් ගනුදෙනු කිරීමේ අවස්ථාව දීම සම්බන්ධයෙන් සිය විරෝධතාව ප්‍රකාශ කළ පුද්ගලයකුට බැන තර්ජනය කරමින් අඬු කඩා හිරේ දානවායැයි කීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ඇහැළියගොඩ පදිංචි පුද්ගලයකු විසිනි.
දිනය පසුගිය නොවැම්බර් මස 04 වැනි දා ය. එදින මුදල් ගනුදෙනුවක් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇහැළියගොස ශාඛාවට ගොස් සිටි ඔහු සවස 2.45ට පමණ තම අවශ්‍යතාව එහි සිටි නිලධාරිනියක් අතට පත්කර තිබිණි. ඒ වනවිට එම ගනුදෙනුව සිදුකර ඔහුට වෙනත් බැංකුවකට යාමට ද අවශ්‍යව සිටි බව කියයි.
ඔහුගේ ගනුදෙනුව සිදුකිරීම බැංකු නිලධාරිනිය විසින් ආරම්භකරනවාත් සමඟම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආරක්ෂක නිලධාරියා පැමිණ කිසියම් ලේඛනයක් එම නිලධාරිනිය අතට පත්කර ඇති අතර ඇය මෙම පැමිණිලිකරුගේ කාර්යය පසෙකින් තබා ආරක්ෂක නිලධාරියා ඉදිරිපත් කළ කාර්යය සිදුකිරීම ආරම්භ කර ඇත. ඒ සමඟම එතැනට පැමිණි ශ්‍රමණවේශධාරියකු (අපි ඔහුට ශ්‍රමණ වේශධාරියකු යැයි කියන්නේ බෞද්ධ භික්ෂුවකට උචිත නොවන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් ඔහු ව්‍යාපාරිකයකු මිස භික්ෂුවක් නොවන බැවිනි) තම සිවුර අස්සට අත දමමින් මුදල් මිටි ගණනාවක් රැගෙන කවුන්ටරය මත තබා ඇත. නිලධාරිනිය එම මුදල් ගණන් කිරීම ආරම්භ කළ බැවින් මෙම පැමිණිල්ල සිදුකළ තැනැත්තා මේ ක්‍රියාවට සිය විරෝධතාව ප්‍රකාශ කර තිබේ.
එහි දී ඔහු පවසා ඇත්තේ පෝළිමේ තමන් පමණක් රැඳී සිටිය දී තම කාර්යය අවසන්කර මෙම හාමුදුරුවන්ගේ වැඩේ කර දෙන ලෙසයි. තමන්ගේ කාර්යය ඉතාමත් ඉක්මණින් අවසන් කළ හැකි බව ද තමන්ට තවත් බැංකුවකට යාමට තිබෙන බව ද ඔහු පවසා තිබේ.
මේ අවස්ථාවේ දී එම කවුන්ටරයේ සිටි බැංකු නිලධාරිනිය. “මේ හාමුදුරුනමක්. අපි හාමුදුරු කෙනෙක් ආවම ප්‍රමුඛත්වය දෙනවා” යනුවෙන් පවසමින් එම ශ්රමණවේෂධාරියාගේ කාර්ය කර දීම ආරම්භ කර තිබේ. ඒ අවස්ථාවේ එතැන සිටි තවත් නිලධාරිනියක් ද එම කතාවම කියා පෝළිමේ ඉදිරියෙන් ම සිටි තැනැත්තාගේ ඉල්ලීම නොසළකා හැර තිබේ.
මේ අවස්ථාවේ දී අදාළ ශ්‍රමණවේශධාරියා මෙම පැමිණිලිකරුට පරුෂ වචනයෙන් බැණ වදිමින් “තමුසේ බුද්ධාගමේ නෙවෙයි ද ? මම හොඳ වැඩක් කරනවා බලාගන්නවා කියමින් පහර දෙන තරමටම තර්ජනාත්මකව කතා කර තිබේ. මේ අවස්ථාවේ දී බැංකුවේ සේවකයන් ද එතැනට පැමිණ ශ්‍රමණවේශධාරියා සන්සුන් කිරීමට උත්සාහ ගත්ත ද ඔහු කිසිසේත්ම තම බැන වැදීම නවතා නැත.
එතැන සිටි මුඛ ආවරණ පැළඳගත් පුද්ගලයකු මේ අවස්ථාවේ දී ඉදිරිපත් වී තමන් ඇහැලියගොඩ පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරියෙක් බව පවසමින් ශ්‍රමණවේශධාරියා වෙනුවෙන් ඉදිරිපත් වී තිබේ. ඔහු දිගින් දිගටම තමන්ට බැන වදිමින් තර්ජනය කළ බව ඔහු පැමිණිල්ලේ සටහන් කර තිබේ. එම අවස්ථාවේ දී “තමුසේ දැනගන්නවා, මම තමුසෙගේ අඬු කඩලා කූඩුවේ දානවා” යැයි ද පවසා තිබේ.
කෙසේ වෙතත් ඇහැලියගොඩ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙම ගුරුවරයාගේ ඉල්ලීම ඉටුකර නැත ලක්ෂ ගණනක මුදල් තැන්පත් කිරීමට පැමිණි ශ්රමණවේෂධාරියා වෙනුවෙන් ඔවුන් අනෙක් ගනුදෙනුකරුවන්ගේ අයිිතිවාසිකම් උල්ලංඝනය කර තිබේ.
රාජ්‍ය ආයතනයක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නිලධාරීන් තම අයිතිවාසිකම් උල්ලංඝනය කර බව පවසමින් සිද්ධියට මුහුණදුන් තැනැත්තා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අතර ශ්රමණවේෂධාරියා විසින් තමන්ට තර්ජනය කළ බවත් ඇහැලියගොඩ පොලිසියේ බුද්ධි අංශ නිලධාරියකු ද තමන්ට පහර දී අතපය කඩා දමා කූඩුකරන බව කියමින් තර්ජනය කළ බවටත් ඔහු පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.
පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලට අනුව මේ වනවිට සහකාර පොලිස් අධිකාරී එච්.එම්.ඒ.ලෙවන්ගම විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ අප ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඇහැළියගොඩ ශාඛාවට ඇමතුමක් ගෙන කළමනාකරු ඇමතීමට උත්සාහහ ගත්තද ඔහු සම්බන්ධ කරගත නොහැකිවිය එම ශාඛාවේ දෙවැනි නිලධාරිනිය බව කියූ කාන්තාවක් අප කළ විමසීමේ දී කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකු මූලස්ථානයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. තවද පොලිසිය පවත්වන පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට තම නිලධාරීන් ගිය බව ද ඇය කීවාය. වැඩි විස්තර දැනගැනීම සඳහා කළමනාකරු සම්බන්ධ කර දෙන බව පැවසුව ද කළමනාකරු අප හා සම්බන්ධ වූයේ නැත.
මෙම ශ්‍රමණවේශධාරියා පැමිණ ඇති වාහනය ද මාර්ගය හරස්වන ආකාරයෙන් පාරේ නීති විරෝධී ලෙස නවතා තිබුණු අතර එය ලියාපදිංචි අංක SG GB 2981 දරණ KIA වර්ගයේ කොළ පැහැති මෝටර් රථයකි.
(මෙම ප්රවෘවත්තිය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට යම් අගතියක් සිදුවන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ කරුණු පැහැදිළි කිරීම් ද මේ හා සමාන ඉඩක් ලබා දෙමින් පළකිරීමට අපි බැඳී සිටින බව මෙයින් දැනුම් දෙන්නෙමු)
කරණවෑමියාට මෙන්ම ශ්‍රමණ වේශධාරියාට නීතිය ක්‍රියාත්මක වනු දැකීම අපි බලාපොරොත්තු වෙමු .