විදුලිය සඳහා අයකරන ගාස්තු වැඩිකිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය.
ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 450ක් ණය වී ඇති බවයි. එම මුදල ගෙවා දැමීම අත්‍යාවශ්‍ය බවත් ඒ සඳහා වැට් බද්ධ වැඩි කිරීම හෝ විදුලිය සඳහා අයකරන ගාස්තු වැඩකිරීම හෝ අනිවාරය අවශ්‍යතාවක් බව ද හෙතෙම කීවේය. නමුත් අනාගතය පිළිබඳ සළකා බලා විදුලිය ගාස්තු වැඩිකිරීමට සිදුවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
“අපට මේ මෑතක දී අගෝස්තු මාසයේ දී විදුලි ගාස්තු වැඩිකරන්න සිදුවුණා. ඒක නොකළා නම් රුපියල් බිලියන 152ක අලාභයක් විඳින්න සිදුවෙනවා. සම්පූර්ණ අලාභය 2013 වර්ෂයේ දී බිලියන 300ක්, ඒ අනුව බිලියන 300ක් අපිට ඉක්මණින් සොයාගන්න සිදුවෙනවා. එන අවුරුද්දේ ඇතැම් විට නියඟයක් ඇතිවිය හැකියි. නියඟයක් ඇතිවුවහොත් රුපියල් බිලියන 420ක් සොයාගන්න වෙනවා. වැස්ස ආවොත් බිලියන 352යි හොයන්න වෙන්නේ. මේ තත්වය අනුව අපි බිලියන 300ක් හොයන්න ඕනෑ. ගංවතුර ඇතිවන තුරු වැස්සොත් බිලියන 295ක් අවශ්‍යයි. ආණ්ඩුවට මේ මුදල් සොයන්න තරම් ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්න ද ? වැට් බදු වැඩි කරන්න ද ? වැට් බදු වැඩි කරලා වැඩි කරලා අන්තිමේ දී භාණ්ඩ මිලත් වැඩි වෙවා. ඒ නිසා ඒක කරන්න බෑ. මම දන්නවා මේක ලොකු ප්‍රශ්නයක්. ජනවාරි පෙබරවාරි මාසවල විභාග පැවැත්වෙනවා. ඒ කාලේ විදුලි කප්පාදුවක් කරන්න අපි කැමති නැහැ. විදුලිය ගාස්තු වැඩිකරන විට ජනතාව පත්වන අපහසුතාවත් අපි දන්නවා. මේ සඳහා තියෙන විකල්ප මොනවාද ? අමාරුවෙන් අල්ලගෙන දැන් චීනය සමඟ සාකච්ඡා අවසන් වනවිට ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ ආදායම් ගේන්න බැිනම් පිටින් ආධාර එන්නේ නෑ. අපි හුඟක් කණගාටුවෙන් අකමැත්තෙන් හරි විදුලිය ගාස්තු වැඩි කරන්න වෙනවා. එහෙම වුණොත් අනාගතය හොඳ වෙනවා. නමුත්, එසේ නොකර ජනප්‍රිය තීන්දුවක් ගත්තොත් යහපත් අනාගතයක් නැති වෙනවා. බිලියන 400ක ණයක් එක්ක අපි මොනවද කරන්නේ. අපි හැමෝම මේකට වගකියන්න ඕනෑ සමහරුන්ට කෑ ගහන්න පුළුවන්. නමුත් අපි ජනප්‍රිය නොවන තීන්දුවලට යන්න වෙනවා.”