“ටී 56 ක් ගෙනත් මේකේ ඉන්න දෙතුන් දෙනෙක් බාවනවා” යැයි තර්ජනය කළ විදුහල්පති වහාම මාරුකර යන ලෙස ඉල්ලා හම්බන්තොට පහළ අන්දරවැව විදුහලේ දෙමාපියෝ දැඩි විරෝධයක් දක්වති.
පාසල ඉදිරිපිට ඊයේ (03) විරෝධතාවක් ද පැවැත්විණි.
මේ වනවිට එම පාසලට දරුවන් එවීමෙන් දෙමාපියෝ වැළකී සිටින බව ද වාර්තා වෙයි.
දෙමාපියන් පවසන්නේ උදේ 9.00 – 10.00 ට පමණ ප්‍රමාද වී විදුහල්පතිනිය පාසලට පැමිණෙන බවයි. පසුගිය 02 වැනි දා අසනීප වූ දරුවකු 1990 ගිලන් රථයකින් රෝහල්ගත කර ඇතත් විදුහල්පතිනිය ඒ පිළිබඳ කිසිවක් දැන නොසිටි බව ද දෙමාපියන් නගන චෝදනාවකි.
ගුරුවරුන්ගෙන් පළි ගනිමින් තමන්ට අවනත නොවන ගුරුවරුන් ස්ථාන මාරුකර යවන බවත් මේ හේතුවෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලැබෙන බවත් දෙමාපියෝ පවසති.
මෙම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 160 දෙනෙකි. නමුත් ඊයේ (03) දිනයේ පාසලට පැමිණ සිටියේ 10 දෙනකු පමණි. විදුහල්පතිනිය තමන්ට එරෙහිව සිටින්නන් වෙඩි තබා ඝාතනය කරන බවට සිදුකළ බව කියන තර්ජනය හේතුවෙන් මෙවැනි තත්වයක් උදා වී ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිනියගෙන් කරුණු විමසීමට මාධ්‍යවේදීන් පාසලට ගිය ද ඊයේ (03) පාසල පැවැත්වෙන කාලයේ විදුහල්පතිනිය එහි සිටියේ නැත. ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්ත ද විදුහල්පතිනිය ඊට ප්‍රතිචාර දක්වන්නේ ද නැත.
හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මේ ගැන විමසීමට උත්සාහ ගත්ත ද සෑම දුරකථන ඇමතුමකට ම ලැබුණු පිළිතුර වූයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙනත් කටයුත්තක් සඳහා බැහැරව ගොස් ඇති බැවින් සම්බන්ධ කළ නොහැකි බවයි.
කලාප කාර්යාලයේ පරිපාලන නිලධාරීවරයාගෙන් විමසූ විට මේ පාසලේ ගැටලුවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් කලාප අධ්‍යක්ෂතුමිය විසඳුමක් ලබාදීමට කටයුත් කරමින් සිටින බවත් කීවේය. දෙමාපියන් පවසන පරිදි වෙඩි තබා ඝාතනය කරන බවට විදුහල්පතිනිය තර්ජනය කළා යැයි කියන සිද්ධිය පිළිබඳ දැනුම්වත් නැතැයි ද ඔහු කියා සිටියේය.
Rajapaksha Gost.