යාල ජාතික වනෝද්‍යානයේ දී වන සතුන්ට හිංසාවන පරිදි හැසිරුණු බවට චෝදනා ලැබ සිටි අය අතරින් අද (26) අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදාහැර තිබේ.
එක් අයකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මෙලෙස ඔවුන් මුදාහරිනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ පරීක්ෂණ ආරම්භ වූ පසු මෝටර් රථ පැද වූ පුද්ගලයන් 07 දෙනකු සහ සිද්ධිය වීඩියෝ කළ දෙදෙනකු මෙලෙස ජීප් රථ 07ක් සමඟ වනජීවී දෙපාර්තමේන්තුවට බාර වී තිබිණි.
ඔවුන් අද (26) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණි.
අයථා ලෙස වාහන පදවමින් වනජීවී හා වෘක්ෂලතා පනත උල්ලංඝඝනය කිරීමට එරෙහිව මොවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරියට සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇතැයි ද පැවසේ.
වනෝද්‍යානය තුළ මෙම නීති විරෝධී හැසීරීම සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුම්වත් නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් කටයුතු කර තිබේ. අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ සභාපපතිත්වයෙන් මේ කමිටුව පත්කිරීමට නියමිත ය.
මෙලෙස නීති විරෝධීව හැසිරුණු පිරිස අතර කැබිනට් අමාත්‍යවරයකුගේ පුත්‍රයකු ද සිටින බවට දැඩි ප්‍රචාරයක් සිදුවුව ද මෙතෙක් එම අමාත්‍යවරයා හෝ පුත්‍රයා කවුරුන්ද යන්න මාධ්‍යයට අනාවරණය වී නැත. වනජීවී නිලදාරීන් 07 දෙනකු සමඟ වාහන 35කට වනාන්තරයට ඇතුළුවීමට අවසර ලැබුණේ එවැනි පුද්ගලයකුගේ බලපෑම ඇති නිසා යැයි පරිසරවේදීහු චෝදනා කරති.
වනෝද්‍යානයට ඇතුළු වී නීති විරෝධී ලෙස කටයුතු කළ ජීප් රථවල අංක තහඩු විශාල සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ අනන්‍යතාව සොයා ගැනීම අපහසු නොවනු ඇත.