රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් සීමා කරමින් රාජ්‍ය මූල්‍ය කළමණාකරණය කරන්න යැයි දන්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් නිකුත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිහගේ උපදෙස් මත මහජන මුදල් උපරිම කාර්යක්ෂමතාවකින් භාවිතා කිරීම සඳහා මෙවැනි තීරණයක් ගත් බව ද එහි දැක්වේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරු පත්කළ ද එම අමාත්‍යවරු යටතේ රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස පවත්වාගෙන යාම සඳහා වෙන ම වැය ශීර්ෂයක් වෙන් කරන්නේ නැත. රාජ්‍ය අමාත්‍යාංශය සඳහා ලේකම්වරයකු පත්කරන්නේ ද නැත. රාජ්‍ය අමාත්‍යාංශ විෂය අයත්වන අදාල කැබිනට් අමාත්‍යාංශයේ සිටින අතිරේක ලේකම්වරු අතරින් වඩාත් ජ්‍යෙෂ්ඨත ම අතිරේක ලේකම්වරයා එම රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අදාල විෂයයන්ගේ පාලන කටයුතු කිරීම අවශ්‍යවන අතර එම අතිරේක ලේකම්වරයාට සහාය වීමට අමාත්‍යාංශයේ සිටින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු පූර්ණකාලීනව යෙදවිය යුතු වේ.
රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇතත් දැනට අදාල කැබිනට් අමාත්‍යාංශයේ අනුමත කාර්ය මණ්ඩලයෙන් ම අදාල කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාගත යුතු වේ. ඒ අනුව නව තනතුරු ඇතිකිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බව ද ජනාධිපති ලේකම්වරයා විසින් දන්වා ඇත. වෙන ම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවසරයක් නොලැබෙන අතර කැබිනට් අමාත්‍යාංශය ඇති කාර්යාල පරිශ්‍රයේ ම රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය පවත්වාගෙන යාමට සිදුවෙයි.
රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වන පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරී සහ මාධ්‍ය ලේකම් යන තනතුරු සඳහා මීට පෙර නිල රථ හිමිකමක් තිබුණ ද මෙම නව උපදසේ මාලාවෙන් එම හිමිකම ඉවත්කර තිබේ. නිල වාහනයක් හිමිවන්නේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාට පමණි. අනිකුත් සියලු නිලධාරීන් වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයේ වාහන සංචිතයෙන් නිල රථ දෙකක්වෙන්කර තිබිය යුතු බවත් අමාත්‍යාංශය සතු වෙනත් සංචිත වාහන කිසිම අවස්ථාවක දී අදාල නිලධාරීන් සඳහා භාවිතා නොකළ යුතු බවත් දැනුම් දී ඇත.
එමෙන් ම පෞද්ගලික ලේකම් වෙත ලබාදෙන නිල රථයේ රියදුරුගේ අතිකාල සහ සංයුක්ත දීමනා සම්බන්ධයෙන් ද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු කරන ලෙසත්, දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින අය පමණක් එම රියදුරු ලෙස යොදාගත යුතු බවත් දැනුම් දී ඇත. රියදුරන්ට මාසික අතිකාල දීමනා ලැබිය හැක්කේ පැය 150ක උපරිමයකට යටත්ව වන අතර ඔවුන්ගේ මාසික සංයුක්ත දීමනාව උපරිම දින 08කට හිමිකම් ලබයි. එමෙන් ම රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයට කාර්යාල කාර්ය සහායකයන්, කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරී යන තනතුරු සඳහා ද අනුයුක්ත කළ හැකිවන්නේ දැනට රාජ්‍ය සේවයේ නිරත නිලධාරී නිලධාරිනියන් පමණක් බව ද මෙම නව උපදෙස් මාලාවේ සඳහන් කර ඇත.
පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සන්නිවේදන දීමනාව ලබාදිය යුතු අතර, එම සන්නිවේදන දීමනාවට ඉන්ටර්නෙට් ඩේටා, ජාත්‍යන්තර දුරකථන ගාස්තු, මාසික ස්ථාවර ගාස්තු, බදු මුදල් හා අනෙකුත් ගාස්තු අයත් විය යුතු යැයි ද දැනුම් දී තිබේ. එමෙන් ම අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන ලබා නොදිය යුතු බව ද මෙම නව උපදෙස් මාලාවේ සඳහන් කර ඇත.
2010 මැයි මස 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් නිකුත් කර ඇති ලිපි සහ ඊට වරින් වර සිදු කරන ලද සංශෝධන සහිත ලිපිවල සඳහන් විධිවිධාන නැවත සංශෝධනය කරමින් මෙම නියෝගය ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.