ශ්‍රී ලංකා රාජාවලියේ නිල වශයෙන් අවසන් රජු ලෙස නම් කරන ලද දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් අද (09) ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර ඇති අතර පාර්ලිමේන්තුවේ ද විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලදී.
1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබුව ද 1972 මැයි මස 22 වැනි දින ජනරජ තත්වයට පත්වන තුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය රජු හෝ රැජිනයි. ඒ අනුව 1952 වර්ෂයේ සිට 1972 මැයි 22 වැනි දින දක්වා මෙරට රජු ලෙස සළකන ලද්දේ දෙවැනි එලිසබෙත් මහ රාජිනයි.
1954 අප්‍රේල් මස 12 වැනි දින ශ්‍රී ලංකාවේ දී පාර්ලිමේන්තුව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී රැස්වී සිංහල බෞද්ධ රාජසභාවවක ආකාරයට සැකසූ පීඨිකාවක් මත දී එලිසබෙත් මහ රැජින ශ්‍රී ලංකා දේශයේ සිංහාසනාරූඪ කර රැජින ලෙස පිළිගන්නා ලදී. ඉන් පසු පාර්ලිමේන්තුව සැසිවාරය විවෘත කරමින් කිරීටක දේශනය (රාජාසන කතාව) ඇය විසින් පවත්වන ලද අතර මෙරට අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විසින් ජනතාව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් දෙවැනි එලිසබෙත් මහ රැජින සිංහල රාජාවලියට ඇතුළත් කරගන්නා බවත් අපේ ම ස්වෛරී සිංහල රැජිනක් ලෙස පිළිගන්නා බවත් ඇයට දන්වා සිටියේය. අනතුරුව ජේ.ආර්. ජයවර්ධන එවකට සභානායකවරයා ලෙස ස්තූති කතාව පවත්වා සභාව අවසන් කරන ලදී.
ඒ අනුව ඇය මෙරට රාජවලියේ සිංහසනාරූඪ වී කිරුළ හිස දැරූ අවසන් පුද්ගලයා වෙයි.