spot_img
spot_img
spot_imgspot_img

රන්මුතු දූවට අවුරුදු 60යි. රන්මුතු දූවේ “ජනප්‍රිය දුෂ්ඨයා කතා කරයි

පුවත්

විදෙස්

1979 වන තුරු වැඩිම ආදායම් ලද සිංහල චිත්‍රපටය

දිය යට දර්ශන රැගත් ප්‍රථම සිංහල චිත්‍රපටය

සිංහල සිනමාවේ මුල්ම අංග සම්පූර්ණ වර්ණ චිත්‍රපටය

රසායනාගාර කටයුතු එංගලන්තයේ සිදු කරන ලද පළමු සිංහල චිත්‍රපටය

වමේ සිට දකුණට, ශේෂා පලිහක්කාර, ආතර් සී. ක්ලාක්, මයික් විල්සන්

මුළුමනින්ම වර්ණයෙන් නිෂ්පාදිත මුල්ම සිංහල චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ මුල් වරට තිරගත වීම ඇරැඹී හරියටම 60 වසරක් පිරෙන්නේ මේ සතියේය. 1962 අගෝස්තු 10 වැනිදා සිනමා රසිකයන් හමුවට ආ ‘රන්මුතු දූව’ ඉතා කෙටි කලෙකින් අතිශයින් ජනප්‍රිය වූ අතර වාර්තාගත ප්‍රදර්ශන දින ගණනක් හා අලෙවි ආදායමක්ද ලැබුවේය.

සිංහල සිනමාවට වීරයන් හදුන්වා දුන් චිත්‍රපටය මෙන්ම යුරෝපීය ජාතිකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු සිංහල වෘතාන්ත චිත්‍රපටය වූයේද එයයි.

මේ චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන හා තාක්ෂණික ශිල්පීන් අතරින් තවමත් අප සමඟ සිටින්නේ දෙතුන් දෙනකු පමණකි.

රන්මුතුදූව අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය ජාතික මයික් විල්සන්, නිෂ්පාදකයා වූ ශේෂා පලිහක්කාර, ආයෝජකයා වූ විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් පමණක් නොව චරිත නිරූපණය කළ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ශේන් ගුණරත්න, වින්සන් වාස්, ඇන්තනී සී. පෙරේරා, ලක්ෂ්මී බායි, ඔස්ටින් අබේසේකර මෙන්ම ගී ලියූ මානවසිංහ, ගී ගැයූ නාරද දිසාසේකර, සංස්කරණය කළ ටයිටස් තොටවත්ත, දෙබස් රචනා කළ කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා ආදි බොහෝ දෙනා ජීවතුන් අතර නැත.

චිත්‍රපට නිපද වීමට මයික් විල්සන්, ශේෂා පලිහක්කාර හා ආතර් සී ක්ලාක් පිහිටුවා ගත් සෙරන්ඩිබ් සමාගම සිය කීර්තිමත් ඉතිහාසය පවත්වා ගත්තේ දස වසරකට පමණී.

චිත්‍රපටයේ වීරයාගේ චරිතය ගාමිණී ෆොන්සේකා රඟපාන විට එහි දුෂ්ඨයාගේ (රෙංගා නැමති කට්ටඩියා) චරිතයට පණ දුන්නේ ඊට පෙර නළුවෙකු ලෙස අත්දැකීම් නොතිබුණු හෙක්ටර් ඒකනායකය. දැන් ඔහු 85 හැවිරිදිය.

ඔහු බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස 1950 දශකයේ නමක් දිනා සිටි අතර වරක් ජාතික ෆ්ලයිවේට් (flyweight) බොක්සිං ශූරයා විය. ඔහු මයික් විල්සන් හඳුනා ගත්තේ කිමිදුම් කටයුතු හරහායි.

කිමිදුම් සගයන් ලෙස ක්‍රියා කළ ඔවුන් ලංකා දූපත වටා සාගරයේ පුරෝගාමී දිය යට ගවේශණ රැසක් සිදු කළේ ආතර් සී. ක්ලාක් සහ රොඩ්නි ජෝන්ක්ලාස් දෙදෙනාගේ ද සහභාගිත්වයෙනි. 1961දී මයික් විල්සන් රන්මුතු දූව නිපදවන්නට පෙළඹුණෙත් කිමිදුම් කටයුතු සඳහා තමන්ගේම බෝට්ටුවක් මිළට ගන්නට මුදල් ටිකක් සොයා ගන්නටයි.

රන්මුතු දූව චිත්‍රපටයේ දිය යට රඟපෑම් සඳහා ගාමිණී ෆොන්සේකාව කිමිදෙන්නට පුහුණු කළේ හෙක්ටර් ඒකනායකය. චිත්‍රපටය තිරගත වීමත් සමඟ රට පුරා ජනප්‍රිය මුහුණක් බවට ඔහු පත් වුණත් ඔහු අනතුරුව රඟපෑවේ මයික් විල්සන්ගේම අධ්‍යක්ෂණයක් වූ ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ පමණි. එහි ඩග්ලස් ලෙස ඔහු කළ රඟපෑම කිසි කලක අමතක වන්නක් නොවේ. ගැටවරයෝ චිත්‍රපටයේ ගාමිණී සමඟ සටනක යෙදෙන්නේ ද ඔහුය.

වෙනත් චිත්‍රපටවල රඟපෑමට ලැබුණු විවිධ ඇරැයුම් ඔහු බාර නොගත්තේය. ඒ වෙනුවට අන්ඩර් වෝටර් සෆාරිස් (Underwater Safaris) නමින් ආතර් සී ක්ලාක් ඇරැඹූ මෙරට ප්‍රථම හා පැරැණිම කිමිදුම් සමාගම පාලනය කරමින් ලාංකික කිමිදුම්කරුවන් සිය ගණනක් නිසි ලෙස පුහුණු කිරීමට ඔහු සිය වෘත්තීය ජීවිතය කැප කළේය.

වසර දශක ගණනක් ආතර් සී. ක්ලාක්ගේ විශ්වාසවන්ත මිතුරා ලෙස ඔහුව රැක බලා ගත්තේ ද හෙක්ටර් සහ ඔහුගේ ඔස්ට්‍රේලියානු බිරිඳ වැලරි ඒකනායක විසිනි.

දැන් ඔහු 86 හැවිරිදිය. රන්මුතුදූව ප්‍රදර්ශනය අරඹා වසර 50ක් ගෙවුණු 2012 වසරේදී ඔහු විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සමග කල සම්මුඛ සාකච්ඡාවකි මෙය. සින්හලට අනුවාදය කළේ වින්දන ආරියවංශ විසිනි.

හෙක්ටර් ඒකනායක

මුලින්ම කියන්න ඔබ ගැන යමක්, බොක්සිං ක්‍රීඩකයකු, කිමිදුම්කරුවකු සහ විටෙක නළුවෙකු හැටියට ගත වුණ ඔබේ මුල්කාලීන ජීවිතය ගැන යමක් කිව හැකිද?

බොක්සිං ක්‍රීඩා කළත් මට කිමිදෙන්න ලොකු ආසාවක් තිබුණා. කිමිදුම්කරුවෙකු වීම තමයි මගේ අභිලාෂය වුණේ. 1957 අවුරුද්දේ යම් දිනයෙක මට මයික් විල්සන් හම්බ වුණා මුහුදු වෙරළකදී. මා ඔහු ළඟට ගිහින් කතා කළා. ඔහු හොඳ මනුස්සයෙක්.

ඔහුගේ බෝට්ටුවට ආම්පන්න දාගන්න මං උදව් කළා. එතකොට තමයි ඔහු මගෙන් ඇහුවේ කැමැති ද ඔහුත් සමඟ වැඩ කරන්න කියා. මට ඒ පිළිබඳව ලොකු සතුටක් දැනුණා. ඉතිං මං දවසක් ගියා ඔහුව හමුවන්න. ඔහු මට එහිදී ඔහුගේ මිත්‍රයෙකු වූ පුරෝගාමී ලාංකික කිමිදුම්කරු රොඩ්නි ජොන්ක්ලාස්ව (Rodney Jonklaas) හඳුන්වලා දුන්නා.

මයික් සමගම මෙරටට පැමිණ මේ රටේ ජීවත් වීමට තෝරා ගෙන හිටපු ආතර් සී. ක්ලාක්වත් මුණ ගැසුණා. අපි ඉතින් ඔහොම කතා කරගෙන යද්දී ඔවුන් මගෙන් ඇහුවා ඔවුන්ගේ මේ ගවේශණයට සහභාගි වෙන්නට පුළුවන් ද කියලා. මං කිව්වා ඔව් මං කැමැතියි කියලා.

ඊට පස්සෙ මොකද වුණේ?

ඊට පස්සේ මං ගිහින් ඔවුන්ට සහය වුණා. මයික් මං වැඩ කරනවා දැකලා පැහැදිලා කිව්වා, ඔයා දිගටම එන්න වැඩ කරන්න කියලා. ආතර් වගේම රොඩ්නිත් මං ගැන පැහැදුණා.

අපි මොහොතකට 1961 ආපසු ගියොත් ඔබ, රොඩ්නි සහ ආතර් සී. ක්ලාක් කිමිදෙන්න ගත්තා ඉන්දියන් සාගරයේ මහ රාවණා කොටුව කුඩා රාවණා කොටුව අතර. එහිදී 1961 මාර්තු සියවස් දෙකකට පමණ පෙර මුහුදුබත් වී බිඳී ගිය නැවක් හමුවුණා. රිදීකාසි රැසක් හා වෙනත් භාණ්ඩ සොයා ගැනුණා. ඔබත් එහිදී කිමිදුනාද?

ඔව්. මේ තමයි අපේ රටේ සමුද්‍ර පුරාවිද්‍යා ගවේශණවල ආරම්භය. එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් චාල්ස් ගොඩකුඹුරේ මහතාගේ අනුදැනුම හා අවසරය පිට අපි හොයා ගත්ත රිදී කාසිවලින් කොටසක් ජාතික කෞතුකාගාරයටත්, කොටසක් ඇමරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයටත් දුන්නා.

එතකොට කවදාද මේ චිත්‍රපටයක් ගැන අදහසක් මුලින්ම ආවේ? පසු කලක එම අදහස රන්මුතු දූව නම් වර්ණ චිත්‍රපටය බවට පත් වුණා?

ඔව්. මයික්ට අදහසක් ආවා චිත්‍රපටයක් කරන්න. නමුත් මයික් නිතරම ඒ පැත්තෙන් මේ පැත්තට පනින කෙනෙක්. ඔහු අදහසෙන් අදහසට එහෙම මාරු වෙනවා.

එම නිසා මුලදී ආතර් වුණත් මේ ව්‍යාපෘතියට මුදල් වියදම් කළේ සැකයෙන්. ඔහු මගෙන් ඇහුවා මේ චිත්‍රපටය කෙරේවිද කියා? මොකද මයික් විල්සන්ගේ පැත්තෙන් පැත්තට පනින න්‍යාය නිසා. මම කිව්වා මයික් දක්ෂ නිසා බය නැතිව සල්ලි දෙන්න කියලා.

ඊට පස්සේ ශේෂා පලිහක්කාර නිෂ්පාදකයෙකු හැටියට ආවා. ඔහු පළපුරුදු සිනමාකරුවෙක්. ඔහුට මේ රටේ කලාව හා චිත්‍රපට ගැන දැනීමක් තිබුණා. ඔහු නළුවෙකු හැටියටත් කටයුතු කර තිබුණා. කොහොම හරි අපේ සිනමා ව්‍යපෘතිය හොඳට ගියා. රූගත කිරීම් සිදු වුණේ ත්‍රිකුණාමලය පැත්තේ.

ඔබ කොහොමද රඟපැමට එක්වුණේ රන්මුතු දූවේ?

මං නළුවෙක් නෙවෙයි. නමුත් මං වැඩ කළේ අපේ කිමිදුම් කොම්පැනියේ. එක චරිතයක් තිබුණා, ඒකට කවුරුවත් (වෘත්තීය නළුවෙක්) හොයා ගන්න පුළුවන් වුණේ නැහැ. ඒකට කිමිදීමේ හැකියාවත් වැදගත් වුණා. මයික් විල්සන් මට ඒ චරිතය කරන්නට කියලා බාර දුන්නා. මං කළා. කොච්චර දුරට හොඳද කියන්න නම් මං දන්නේ නැහැ. දුෂ්ටයා හැටියට මට එක් සටන් ජවනිකාවකුත් තිබුණා ගාමිණී ෆොන්සේකා එක්ක… මූද යටදි!

ඔව්, මේ ප්‍රකට සටන් ජවනිකාව පිහිනුම් තටාකයක නොවෙයි ඇත්තටම මුහුද යට රූගත කළ එකක්. කාලයේ එය අමුතු වැඩක්. ගැන යමක් කියනවා නම්?

ඔව්. එම ජවනිකාවේ එක් කොටසක් තමයි මං මුහුද යට මැරෙන එක. එම ජවනිකාවේ මාව ගිලෙනවා. ඉතින් මං මගේ යාළුවන්ට කලින් කියලා තිබුණා මට අමාරු වුණොත් උදව් කරන්නට කියලා. මං ඉතින් බොරුවට ගිලෙනවා වගේ රඟ පාන්න පටන් ගත්තා.

අන්තිමේදි මං කොච්චර හොඳට ඒක කළාද කිව්වොත් මගේ යාළුවො හිතුවේ මං ඇත්තටම ගිලෙනවා කියලයි. ඔවුන් මාව බේර ගන්න පැන්නා මං මැරනවා කියලා හිතා ගෙන! ඒකෙන් ඉතින් වුණේ දළ සේයාපට නාස්ති වුණ එක විතරයි.

හැබැයි ඊළඟට එම දර්ශනයම නැවත ගන්න කොට මට ඇත්තටම අමාරු වුණා.

නමුත් මං රඟපානවා කියලා හිතලා කවුරුවත් මගේ සහායට ආවේ නැහැ. ඉතින් මං හරි අමාරුවක වැටුණේ. මගේ උත්සාහයෙන්ම තමයි අවසානයේ පණ බේරාගෙන ජවනිකාව රූගත කර අවසන් කළේ. කිමිදීම කියන්නේ සීරුවන් කළ යුතු වැඩක්.

ගාමිණී ෆොන්සේකා, ජීවරාණි කුරුකුලසූරිය වැනි අනෙක් නළු නිළියන් ගැන ඔබේ මතකය කොහොමද?

ඒගොල්ලො ඉතා සුහද, ගුණ යහපත් අය. ගාමිණී ෆොන්සේකා විශේෂයෙන්ම. ඔහුට ඕන වුණා හැම ජවනිකාවක්ම ඔහුම කරන්නට සහායකයන්ගෙන් (stunt doubles) තොරව. ඉතින් මං ඔහුව පුහුණු කළා හොඳ කිමිදුම්කරුවකු වෙන්න. පුහුණුවෙන් පස්සේ ඔහු හොදට කිමිදුණා.

මුළු චිත්‍රපටය පුරාවටම ඔහු ඔහුගේම කිමිදුම් දර්ශන රඟපෑවා. මයික් තෝරා ගත්ත හැම නළු නිළියක්ම අංග සම්පූර්ණ අය කරුණාවන්ත, ඉවසිලිමත් අය.

ෆොමයික් විල්සන් වමේ සහ ගාමිණී ෆොන්සේකා දකුණේ රූගත කිරීම් අතරතුර

වෙන නළු නිළියන්ගේ නම් මොනවාද ඔබට මතක?

ජෝ අබේවික්‍රම, වින්සන්ට් වාස්, ඔස්ටින් අබේසේකර…ජෝ නියමයි. ජෝ නොහිටින්න චිත්‍රපටය ගොඩාක් කම්මැලි වෙන්න තිබුණා. ඇන්තනි සී පෙරේරා නම් තවත් නළුවෙක් ගැන මට මතකයි. එච්චර තමයි මට මතක් කරගන්න පුළුවන්.

වකවානුවේදී ගාමිණී ෆොන්සේකා සුපිරි තරුවක් නොවෙයි?

ඔව්, මේ චිත්‍රපටයෙන් පස්සේ හැමෝම සුපිරි තරු වුණා.

ඔබේ රඟපෑම ගැන මොකක්ද ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාරය වුණේ?

මගෙන් අහපු අය හිටියා තව චිත්‍රපට කරන්න කැමැති නැද්ද කියලා. නමුත් මගේ ශෛලිය හැම චිත්‍රපටයකටම ගැළපුණේ නැහැ. ප්‍රසිද්ධිය කියන එක නම් ඕනැ තරම් මට ලැබුණා. ප්‍රසිද්ධිය හැම තිස්සෙම හොඳ නැහැ. මොකද ඔබව කොහේ ගියත් හඳුන ගන්න හින්දා රහසිගතව මුකුත් කරන්නට බැරි වුණා! ප්‍රසිද්ධියේ හොඳ පැත්තකුත් තිබෙනවා. උදාහරණයකට කාර් එකක පැච් එකක් ගියත් උදව් කරන්නට කට්ටිය ඕනෑ තරම් එනවා…

රන්මුතු දූව චිත්‍රපටයට කොතරම් කාලයක් ගත වුණාද රූගත කිරීම්වලට විතරක්?

අවුරුදු එකහමාරක් විතර.

මේ කියන්නේ විවේකීව ගත කරපු කාලයත් ඇතුළුවද?

ඔව්.

මොන කැමරාවෙන්ද මුහුද යට දර්ශන රූගත කළේ?

ඇරිෆ්ලෙක්ස් කැමරාව තමයි අපි පාවිච්චි කළේ. ඊට අමතරව මයික් මහා රාවණා කොටුව අවට මුහුද යට රූගත කළ දර්ශනත් චිත්‍රපටයට ඇතුළත් කළා.

රන්මතු දූව චිත්‍රපටය මුලින්ම තිරගත වූ විට එය බොක්ස් ඔෆීස්හි (ටිකට් අලෙවිය අතින්) කොතරම් දුරට සාර්ථක වුණාද?

ගොඩාක් සාර්ථක වුණා. මට මතක හැටියට අපේ රටේ එකම සිනමා ශාලාවක දින 100ක් දුවන්න සමත් වුණු පළවෙනි චිත්‍රපටය.

මොකක්ද සිනමා ශාලාව?

කොළඹ ගාමිණී හෝල්. දැන් වුණත් ඔය චිත්‍රපටය තිරගත කෙරුවොත් තවමත් සෙනඟ එයි බලන්න. ඒ කාලෙත් එහෙමයි වැල නොකැඩී සෙනඟ ආවා බලන්න.

මොකක්ද ඒකට හේතුව? එය වර්ණ චිත්‍රපටයක් වීමද?

ඔව්. එයක් එක හේතුවක්. ඊට අමතරව මුහුද යට මනරම් දර්ශන, මේ සියල්ලක්ම චිත්‍රපටයේ සාර්ථකත්වයට මූලික වුණා. ප්‍රේක්ෂකයින් මෙහි සටන් ජවනිකාවලට ගොඩාක් ප්‍රිය කළා. විශේෂයෙන්ම මා සහ ගාමිණී ෆොන්සේකා අතර සටන්. මට පුළුවන් පහර එල්ල කරන්න. මොකද මං බොක්සිං ක්‍රීඩකයකු වූ නිසා. ඉතින් ගාමිණීට සෑහෙන්න ගුටි කන්න සිද්ධ වුණා.

චිත්‍රපටය නිපදවන්න කොතරම් මුදලක් ගියාද?

ඒක නම් මං දන්නේ නැහැ. මොකද මං ගිණුම් අංශයේ නෙවෙයි වැඩ කළේ. ඒත් මං හිතන අන්දමට ලංකාවේ මුදලින් ලක්ෂ 1 ක් හෝ 2 ක් යන්න ඇති. 1960 දශකය මුලදි ඒක මහ ලොකු ගාණක්!

චිත්‍රපටය ගොඩාක් මුදල් උපයන්න ඇති නේද?

ඔව්. ගොඩාක් මුදල් ඉපයුවා. ආදායම් වාර්තා තැබුවා.

නමුත් කිසිම පිටපතක් ලංකාවේ අද ඉතිරි වෙලා නැහැ?

ඔව්. එක පිටපතක් පමණක් එංගලන්තයේ ටෙක්නිකලර් රසායනාගාරයේ තිබෙනවා. ආතර් සී. ක්ලාක් 2008 මිය යන්න කලින් මෙහි පිටපතක් නැවතත් ලබා ගන්නට ඔහු  උත්සාහ කළා. එයට පවුම් 18,000ක් පමණ වැයවෙන බවට දැන ගන්නට ලැබුණා. ඔහු ශේෂා පලිහක්කාරත් සමඟ එක් වී ඒ ගැන සාකච්ඡා කළා. නමුත් මුකුත් වුණේ නැහැ.

මේ චිත්‍රපටයේ හිමිකාරිත්වය, අයිතිය කාටද තියෙන්නේ?

මං දන්නේ නැහැ. ඒත් ආතර් තමයි මේ චිත්‍රපටයට මුදල් යෙදුවේ අවසානය වෙනකංම. ඒ විදියට බලන කොට නම් මේක අයිති ආතර්ට. ඒත් ඔහු නිතරම කිව්වේ ඔහු වියදම් කරන්නම්, කාට හරි අපේ කණ්ඩායමේ කෙනෙක්ට ඉදිරිපත් වෙලා මෙහි පිටපතක් නැවත ලබා ගන්න කියලයි. ආතර්ට ගොඩාක් ඕනෑකම තිබුණා පිටපතක් ලබා ගන්න. නමුත් මිය යන්නට පෙර ඔහුට එය නොහැකි වුණා.

සංවාදය: නාලක ගුණවර්ධන

පරිවර්තනය: වින්දන ආරියවංශ

විශේෂ ස්තූතිය තිස්ස ලියනසූරිය මහතාට සහ සුනිල් මිහිදුකුළ මහතාට

මේ සාකච්ඡාවේ එක් අනුවාදයක් 2012 අගෝස්තු 9 වනදා සරසවිය පත්‍රයේ පළ විය. මෙහිදී එයට අමතර පසුබිම් කරුණු එක් කොට ඇත.

පාවෙන උකුළු තලා –තාලෙට සලා සලා

සිප ගෙන පුළින තළා

රස පෙම් රහස කියා

ගංගා කොමළ නිළී-හදවත පුබුදු කළා

පාවෙයි පාවෙයි පෙම් රස සිහිනයක් වගේ

අනුරාගය හා මුසුවී යයි ගලා

සුළඟ ලපළු කොමලි මත් කළා

පාවෙන…..

ගොවිඳු සොයාලා රාධා ගියා සේ

ගංගා කුමාරී කවුදෝ සොයන්නේ

පාවී පාවී පෙම් රස ප්‍රේම සිහිනයක් වගේ

අනුරාගය හා මුසුවී යයි ගලා

සුළඟ ලපළු කොමලි මත් කළා

පාවෙන…

මේ ගීතය කිසිම දවසක ඔබට ඇසෙන්නට නොලැබුණ ගීයකි.මේ පදමාලාව ඇතුළත් ගීතය කිසි කලක නොඇසුන ද එය රචනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය.

එහෙත් මේ ගීතය වෙනුවට වෙනත් ගීයක් ලියැවුනා පමණක් නොව එය වසර පනහක් මුළුල්ලේ අද ද ජනප්‍රිය ගියක්ව පවතී. ඒ නන්දා මාලිනි හා නාරද දිසාසේකර විසින් ගයනු ලබන මානවසිංහයන් අතින්ම ලියුවුණු “ගලන ගඟකි ජීවිතේ…” ගීතයයි. රන් මුතුදූවට දායක වූවන් අතරින් අද ජීවත්වනුයේ අතලොස්සකි. ජීවරාණී කුරුකුලසූරිය අමරදේව, නන්දා මාලිනී, සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මේ අතරින් ප්‍රමුඛ වෙති. සිංහල සිනාමවට වීරයන් හදුන්වා දුන් රන්මුතුදූව නිපද වූ ශේෂා පලිහක්කාර අධ්‍යක්ෂණය කළ මයික් විල්සන්, එහි ආයෝජකයාවූ ආතර් සී ක්ලාක් පමණක් නොව චරිත නිරූපණය කළ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ශේන් ගුණරත්න, ඇන්තනී සී.පෙරේරා, ලක්ෂ්මී බායි, ඔස්ටින් අබේසේකර, කාල්ගුණසේන, මෙන්ම ගී ලියූ මානවසිංහ, ගී ගැයූ නාරද දිසාසේකර, සංස්කරණය කළ ටයිටස් තොටවත්ත, දෙබස් රචනා කළ කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා ආදි බොහෝ දෙනා ජීවතුන් අතර නැත. චිත්‍රපටය නිපද වීමට පිහිටුවා ගත් සෙරන්ඩිබ් සමාගම කීර්තිමත් ඉතිහාසය පවත්වාගත්තේ දස වසරකට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

error: Content is protected !!