ජනාධිපති ලේකම් කාර්යාලය අද (25) සිට යළි කාර්යාල කටයුතු සඳහා විවෘත කරන බව පොලිසිය පවසයි.
එම කාර්යාලය නැවත විවෘත කිරීමට කටයුතු කර ඇත්තේ දින 100කට පමණ පසුවය. පසුගිය 22 වැනි දා ආරක්ෂක අංශ විසින් කාර්යාල පරිශ්‍රය නැවත අත්පත් කරගැනීමෙන් පසු සිදුකළ පරීක්ෂණ අවසන් කර පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත එම කාර්යාලය නැවත බාර දී තිබේ.
බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආරම්භ කළ “ගෝ හෝම් ගෝඨා” අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ දොරටුව අල්ලාගෙන තිබිණි. ඒ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාමාන්‍ය සේවා කටයුතුවලට බාධාවක් වූ අතර හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ සිට තම රාජකාරී කටයුතු සිදුකළේය.
ජූලි මස 09 වැනි දා විශාල පිරිසක් පැමිණ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අල්ලාගත් අතර පසුගිය 22 වැනි දා අලුයම ආරක්ෂක අංශ විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගන්නා තුරු එය අරගලකරුවන් බාරයේ පැවතිණි.
පොලිසිය පවසන්නේ කාර්යාල කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මෙලෙස බාර දෙන්නේ එම ගොඩනැගිල්ලට සහ දේපළවලට සිදුවී ඇති හානිය පිළිබඳ විමර්ශන කිරීමෙන් පසුව බවයි.