මව ගෙනගිය පසු පුතා මියගිහින්. “මේ සිදුවීම ගැටලුවක්”- මනෝ වෛද්‍යවරු

0
302

මව රෝහල්ගත කිරීමෙන් පසු තනිවම නිවසේ සිටි විශේෂ අවශ්‍යතා ඇති තරුණයකු නිවස තුළ මියගොස් සිටි බව හෝමාගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම දොළහේන පදිංචි 25 හැවිරිදි අයෙකි. පොලිසිය පවසන්නේ ඔහු සියදිවි නසාගන්නට ඇති බවට සැක කරන බවයි. විශේෂ අවශ්‍යතා ඇති අයකුට සියදිවිි නසාගැනීම ඉතා අපහසු කාර්යයක් බව මනෝ වෛද්‍යවරු කියති.

ඔහුගේ මව පසුගිය 15 වැනි දා මහරගම මාළු වෙළඳ සැළකින් මාළු මිලදී ගත් බවත් ඉන් පසු කොරෝනා රෝග ලක්ෂණ ඇති බවත් අසල්වාසීන්ට පැවසීමෙන් පසු අසල්වාසීන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම්දීමෙන් පසු ඇය රෝහල්ගත කර තිබේ.

මහජන පරීක්ෂකවරුන් විසින් කාන්තාව රෝහල්ගත කිරීමට රැගෙන යද්දී ඇගේ පුතු ද රැගෙන යන්න යැයි ඉල්ලීමක් කළ ද එය ඉටුනොවූ බව අසල්වාසීහු කියති.

“ එයා හැමතැනම ඇවිදිනවා. අම්මට කොරෝනා හැදිලනම් මෙයා එළියට බැහැලා ගියොත් ප්‍රශ්නක් වෙනවා අපිට බලාගන්න බැහැ කිව්වම පීඑච්අයි ලා කිව්වා මේසයක් තියලා කන්න ටිකක් දෙන්න කියලා.” යැයි ඔවුහු කියති.

පොලිසිය පවසන්නේ විශේෂ අවශ්‍යතා ඇති මේ තරුණයා අද (31) නිවස තුළ ගෙල වැලලාගෙන සිටිය දී හමු වූ බවයි.

මෙම කරුණු සම්බන්ධයෙන් පොලිසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසීමේ දී ඔවුන් කියා ඇත්තේ මව රෝහල්ගත කිරීමේ දී තරුණයකු රෝහල්ගත කිරීමට නොහැකි බැවින් ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින ඇගේ සහෝදරයකුට මේ තරුණයා ගැන සොයා බලන ලෙස දැනුම් දුන් බවයි. කෙසේ වුව ද ඔහු ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙවැනි අවස්ථාවක තරුණකු සියදිවි නසා ගැනීම පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතාගෙන් විමසූ විට මෙසේ කීවේය.

“ විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙකුට සියදිව නසාගන්නවා කියන එක ඉතාමත් අමාරු දෙයක්. සාමාන්‍ය බුද්ධියක් තියෙන නමුත් විශේෂ අවස්ථාවක දී තමන්ගේ මානසික පීඩාව පාලනය කරගන්න බැරි කෙනෙක් තමයි මේ වගේ දෙයක් කරගන්නේ. විශාදය, ආවේග පාලන කරගැනීමට නොහැකි පෞරුෂත්ව දුර්වලතා නිසා මානසික පිඩනය දරාගන්න බැරුව මරණය තෝරාගන්නවා. බුද්ධි මට්ටම අඩුවීම සුළු වශයෙන් බුද්ධිය අඩුවීම හා වඩාත් හීන තත්ත්යක පැවතීම වෙන්න පුළුවන්. තරමක් බුද්ධිය අඩු කෙකේ නම් ක්‍රියා කරන්න් සාමාන්‍ය පුද්ගලයෙක් වගේමයි. ඒ වගේ කෙනෙකුනම් සියදිවි නසාගන්න පුළුවන්. නමුත් වඩාත් බුද්ධිය හීන කෙනෙකුට ජීවිත නැතිකරගන්න හිතුනත් ඒ සඳහා සැළසුම් කරන්න බැහැ. එවැනි කෙනෙකුට කරන්න පුළුවන් අනුකරණයක් විතරයි. ඒ වගේ අය ජීවිත නැති කරගන්න උත්සාහ ගැනීමේ දී අහම්බයෙන් අනතුරුදායක දේවල් වෙන්න පුළුවන්. කොහොම වුණත් කොරෝනා වසංගතය හේතුවෙන් කෙනෙක් රෝහල්ගත කරන විට හෝ නිරෝධායනයට යොමුකරන විට ඔවුන්ගෙන් යැපෙන්නන්, විශේෂයෙන් ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන සෞඛ්‍ය අංශ ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. මේ තරුණයා හදිසි ආවේගයක් නිසා මේ තීරණය ගන්න ඇත්තේ ඔහුට මව නොමැතිවීමෙන් ඇතිවූ වේදනාව නිසා විය හැකියි. නමුත් මෙය සිදවූමට අමාරු දෙයක්.”

පොලිසිය පවසන්නේ මෙම තරුණයා සහ මව පමණක් මේ නිවසේ වාසය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here