spot_img
spot_imgspot_img

අලුයම ගාලු මුවදොර උණුසුම් කළ මෙහෙයුම

පුවත්

විදෙස්

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (22) අලුයම ඇතිවූ කලබලකාරී තත්වයත් සමඟ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර සිටින අතර පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

‍අද අලුයම 1.00ට පමණ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය යළි අත්පත් කරගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

ගාලු මුවදොර ප්‍රදේශයට පිවිසෙන සියලුම මාර්ග අවහිර කරමින්  ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි ආරක්ෂක අංශ එහි සිටි අරගලකරුවන්ට ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමින් දන්වා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුවෙන් ඉවත්වන ලෙසයි.

එහි දී ආරක්ෂක අංශ සමඟ ගැටුමක් ඇතිකර නොගන්නා ලෙසත්, සාමකාමීව ඉවත් නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමතට් සිදුවන බව එම අවස්ථාවේ නිවේදනය කළ බවත්, ආරක්ෂක අංශ පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසින් ඉදිකර තිබූ බාධක ඉවත්කරමින් ආරක්ෂක අංශ එම කාර්යාලයට ඇතුළුවන අවස්ථාවේ දී උණුසුම් තත්වයක් ඇති වූ බවත් විරෝධතාකරුවන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු බවත් ආරක්ෂක අංශ දැන් පවසයි. එම අවස්ථාවේව දී ආරක්ෂක අංශ අවම බලය යොදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම අතුළු ගොඩනැගිල්ලත්, එහි භූමියත් තම බාරයට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් පිටත ගෝඨාගෝ ගම අරගල භූමියේ ඔවුන්ට තවදුරටත් සාමකාමීව රැඳී සිටින ලෙසත්, එයට කිසිදු බලපෑමක් නැති බවත් දිගින් දිගටම නිවේදනය කළ බවයි. එමෙන්ම එම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් ඉවත් නොකළ බවත් අරගල සඳහා වෙන්කර ඇති භූමිය හැර අනෙක් ස්ථාන අල්ලාගත් බවත් පොලිසිය කියා සිටියි.

මේ වනවිට අරගල කරුවන් උද්ඝෝෂණ සඳහා වෙන්කර ඇති ස්ථානයේ සාදා ඇති කූඩාරම් අසළ රැඳී සිටින අතර ආරක්ෂක හමුදාව එම ස්ථායේ සිට මිටර් කිහිපයක් දුරින් ස්ථානගතව සිටියි.

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සිට බාලදක්ෂ මාවත මංසන්ධිය දක්වා ම වූ සියලු කූඩාරම් ආරක්ෂක අංශ විසින් ඉවත්කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉවත්වන ලෙස බල කරමින් ඉදිකෙරුණු ගෝඨාගෝ ගම දින 100 ඉක්මවා තිබූ අතර අරගලකරුවන් වරින් වර ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පත්වීම තමන්ට පිළිගත නොහැකි බැවින් අරගලය දිගටම පවත්වාගෙන යන බවයි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ජූලි 09 වැනි දා අල්ලාගත් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය යළි බලධාරීන්ට බාර දෙන ලෙසයි. නමුත් අරගලකරුවෝ දිගටම ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අසළ රැඳී සිටි අතර අද (22) ඔවුන් එතැනින් ඉවත්වන බවට නිවේදනය කර තිබිණි. ඊයේ (21) සවස අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝ ඩීල් ගම” පවත්වාකෙන ගිය අරගලකරුවෝ එම ස්ථාානයෙන් ඉවත්වූහ.

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ද ඊයේ සිය කූඩාරම් ‍ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්කරගෙන තිබිණි.

නෝඩීල් ගම අරගලකරුවන් තම අරගල භූමිය ඉවත්කර ගැනීමට පෙර තන්ට ආරක්ෂාවව ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිට කාර්යාලය වෙත ගොස් ලිපියක් ද භාර දී තිබිණි.

අද අලුයම ඇති වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ අත්අඩංගුවට ගත් නීතිඥ නුවන් බෝපගේ, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා රඳවා සිටින ස්ථාන ආරක්ෂක අංශ විසින් අනාවරණය කළ යුතු බවයි. එමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.

පොලිසිය පවසන්නේ පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුවේ සිටින බවයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!