ජනාධිපති ලේකම් කාර්යාලයට අද (22) අලුයම ඇතුළු වූ ආරක්ෂක හමුදා විසින් එම ගොඩනැගිල්ල මේ වනවිට අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.
පසුගිය ජූලි 09 වැනි දා අරගලකරුවන් විසින් අල්ලාගනු ලැබූ ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මේ දක්වාම ඔවුන් භාරයේ පැවැතිනි. අරගලකරුවන් ඊයේ (21) සවස ප්‍රකාශ කළේ සිකුරාදා (අද 22) ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අරගල භූමියෙන් ඉවත්ව ඉන් එක් කොටසක පමණක් අඛණ්ඩව අරගලය පවත්වාගෙන යන බවයි.
ඉතාමත් කෙටි කාලයකින් සෑම දෙසින්ම ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණි විශාල හමුදා බල ඇණි කිහිපයක් එම ගොඩනැගිල්ල අත්පත් කර ගත් අතර එහි තිබූ අරගලකරුවන්ගේ ඉදිකිරිම් කිහිපයක් ද ඉවත්කර තිබේ. මේ අතර පහරදීම්වලින් කිහිප දෙනකු තුවාල ලබා ඇති අතර නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන මරදාන පොලිසියේ රඳවා සිටින බව ද වාර්තා වේ.
බීබීසී මාධ්‍යවේදී ජෙරින් සැමුවෙල්ට ද ආරක්ෂක හමුදා පහර දී ඇති බව වාර්තා වෙයි. මීට අමතරව මාධ්‍යවේදීන් වන චතුරංග ප්‍රදීප් කුමාර් සහ කසුන් කුමාරගේ අත්අඩංගුවට ගෙන ඇති අතර එක්ස්පෝෂර් ආයතනයේ මාධ්‍යවේදීන් වන රසික ගුණවර්ධන සහ ෂබීර් මොහොමඩ් හට ද පහර දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාල භූමියේ අරගලයේ නිරතව සිටි පිරිස් මේ වනවිට ගාලු මුවදොර පිටිය දෙසට දිව ගොස් ඇති අතර ඔවුන් අතර විශාල පිරිසකට තුවාල සිදුව ඇතැයි ද වාර්තා වේ.