ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබන 13 වැනි දා සිය ධූරයෙන් ස්ථිර වශයෙන් ම ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද නිල වශයෙන් දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
පසුගිය 09 වැනි දා අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස සහ අගමැති නිල නිවස අත්පත් කරගැනීමෙන් පසු පක්ෂ නායක රැස්වීමක් කැඳවා පක්ෂ නායකයන්ගේ තීරණය තමන් වෙත දැනුම් දෙන ලෙසත් පක්ෂ නායකයන් ගන්නා තීරණයකට තමන් එකඟවන බවත් ජනාධිපතිවරයා කීවේය.
ඒ අනුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේ තීරණය වූයේ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවයි. ඒ බව කතානයකවරයා විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා 13 වැනි දා ඉල්ලා අස්වන බව තමන්ට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.
අද (11) අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ අගමැතිවරයාට ද ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කර ඇතිත බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනි දා ඉල්ලා අස්වුවහොත් ඔහු මෙරට ඉතිහාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ද වෙයි.