ගිං ගඟ සහ නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් ගංවතුර ඇතිවීමේ අවදානමක් හටගෙන ඇති අතර මාර්ග සහ පහත් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ගත වූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රදේශයටය. එය මිලිමීටර 149කි. දෙනියාය ප්‍රදේශයටත් මිලි මීටර 127ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර ගාල්ලේ නෙළුව ප්‍රදේශයට ඊයේ රාත්‍රී මිලි මීටර 118ක වර්ෂාපතනයක් හටගෙන තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වැසි තත්වය අද දිනයේත් දිගටම පැවතුණහොත් ගිං ගඟ සහ නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමකට ඉක්මණින් ම ළඟා විය හැකි බවයි. එබැවින් ගංඟා දෙක අවට පහත් බිම්වල පදිංචි ජනතාවට අවදානයෙන් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ වනවිට නෙළුව, තවලම, දෙනියාය ආදී ප්‍රදේශව පහත් බිම් රැසක් ජලයෙන් පිරී ගොස් ඇති අතර මාර්ග රැසක් ද ජලයෙන් යට වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා නිකුත් කළ පුරෝකථනයේ සඳහන් කර ඇත්තේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් දෙකට මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඉදිරියේ දී ද ඇතිවිය හැකි බවයි. මෙවැනි වර්ෂාපතනයක් ලැබුණහොත් ගිං ගඟ සහ නිල්වලා ගඟ පිටාර ගලනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


