ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් කෲරත්වයට ත්කළා යැයි සැකපිට උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු සහ පරිවාස නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් හිටපු කොමසාරිස්වරයා 49 හැවිරිදි වියේ පසුවන වාරියපොළ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයකු වන අතර අත්අඩංගුවට ගත් නිලධාරිනිය 57 වියේ පසුවන අනුරාධපුරයේ පදිංචිකාරියකි.
අනුරාධපුර ළමා නිවාසයක අයථා ක්‍රියාකාරකම් සිදුවන බවට වර්ෂයේ දී මාධ්‍ය ඔස්සේ සිදු වූූ ප්‍රචාරයක් පදනම් කරගෙන සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එම මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ 2021 ජනවාරි 08 වැනි දා වන අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව 2021 ජනවාරි 16 වැනි දින අනුරාධපුර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
එහිදී අනාවරණය වූ තොරතුරු මත අධිකරණ නියෝග මත උපදේශන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 17ක දැරියක් ළමා නිවාසයක අරක්කැමි සේවයේ යොදවා කෘෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට විරුද්ධව ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා තිබුණි.
ඒ අනුව ඉහත වයස අවුරුදු 17ක දැරියගේ භාරය දරා සිටිමින් ඇය නොසලකා හැරීමෙන් සහ හිංසා කිරීමෙන් කෘෘරත්වයට පත් කිරීමේ වරදට සහ ළමා නිවාසයේ අරක්කැමි සේවයේ යොදවා ගැනීමේ වරදට උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලැබී ඇත.
ඒ අනුව අද (27) එම සැකකරු සහ සැකකාරිය අනුරාධපුර පොලිස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.