spot_img
spot_imgspot_img

පාඨලී චම්පික අලුත් ගමනකට අර අදී. මැතිවරණ කොමිසමත් හමුවෙයි

පුවත්

විදෙස්

රටේ තරුණ පරම්පරාව ඉල්ලා සිටින දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය පාවඩය එළන්න තමන් ඇතුළු 43 වැනි සේනාංකය සූදානම් යැයි එහි නායක පාඨලී චම්පික රණවක ඊයේ (13) මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

ඔහු පවසන්නේ දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා මැතිවරණ කොමිසම හමු නොවූ බවයි. 21 වැනි සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සහ අත්‍යාවශ්‍යයෙන් ම කළ යුතු මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳවත් යෝජනා බාර දීමටත් පැමිණි බව මන්ත්‍රීවරයා මෙහි දී කියා සිටියේය.

“පක්ෂවල ගැටගැහිලා නෙමෙයි. පොදු ප්‍රතිපත්තියක් මත අවම වැඩපිළිවෙලක් එක්ක මේ බංකොලොත් රට ගොඩගන්න ඕනේ. ඒ සඳහා වෘත්තීය මැදිහත්වීමක් රටේ ඉල්ලනවා. ඒ වගේම තරුණ පරම්පරාව මේ දේශපාලන සදාචාරයේ, සංස්කෘතියේ වෙනසක් ඉල්ලනවා. අන්න ඒක ඉටුකර දෙන්න අපේ කැපවීම අපි සිදු කරනවා.

පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම හොරු කියලා අපි විශ්වාස කරන්නේ නෑ. පාර්ලිමේන්තුවේ ඉන්නවා ආණ්ඩුවේ ඉදිරියෙන්ම ඉන්නවා වැදගත් දේශපාලනයක නියැලෙන පිරිස්. ඒ වගේම අත්දැකීම් බහුල පිරිස්. ඒ අයත් පිටත අරගල භූමියේ ඉන්න අය වෙන්න පුළුවන්. එහෙම නැතුව ඉන්න වෘත්තීයවේදීන් වෙන්න පුළුවන්. ඒ අයව මේ රටට අනාගතය ගොඩනඟා ගැනීමට අපි එකතු කරගත යුතුයි. ඒ සඳහා කටයුතු කරනවා.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ‍ම පිරිසක් වෙනත් දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සාකච්ඡා කරනවා. ඒක හොඳ ලකුණක්නේ. ඒ කියන්නේ රාජපක්ෂ තනි පවුලේ ආධිපත්‍යයෙන් මිදිලා නිදහස්ව හිතන පිරිසක් එම පක්ෂය තුළින් බිහිවීම අපි දකින්නේ දේශපාලනයේ සුබ ලකුණක්. ප්‍රජාතන්ත්‍රවාදයේ සුබ අඩිතාලමක් හැටියට.

අපිට සතුටු වෙන්න බැහැ. මේ ඇතිවෙලා තියෙන ආණ්ඩුව ගැන මේක මං කලින් හැම වෙලාවෙම පැහැදිලි කළා. මේක සර්ව පාක්ෂික ආණ්ඩුවකුත් නෙමෙයි මේක. දැන් පේනවා අන්තර්කාලීන ආණ්ඩුවකුත් නෙමෙයි. ඒ වගේම මේ පරණ නිලධාරී ඉන්නේ. ඉතින් අපිට පේනවා මේ ඒ නිලධාරි තට්ටුව ක්‍රියාත්මක වෙන ආකාරය. වෘත්තීයවේදී පිරිසකට රටේ ආර්ථිකයේ තීරක මරමස්ථාන හැසිරවීමට ඉඩකඩ ලබාදිය යුතුයි. එහෙම නැතුව මේ අර්බුදය පිළිබඳ විශ්වාසයක් මහජනයාට ගොඩනැගෙන්නේ නෑ. මේක අපිට ජයගන්න පුළුවන්.

හැමෝම බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල වෙතට ගිහිල්ලා, ඒ හරහා යන විසඳුමක් ගැන, තව මාස ගණනාවක් ගතවෙයි. අපි බලාපොරොත්තු වෙනවා, ජූලි මාසේ මුල සතිය වෙනකොට මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට IMF එකත් එක්ක එයි. හැබැයි ඒකෙන් අපේ මුල්‍ය ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේ නෑ. අපට යම් දළ මාර්ග සිතියමක් ලැබෙයි ඉදිරියට යන්න. ඒක වඩාත් අපහසුකාරී ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න වෙයි.

කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ සිතියම අසාර්ථක වුණොත්, මොකක්ද කරන්නේ අන්න ඒකට අවශ්‍ය කරන විකල්පය ලබාදෙන්න. ඒ නිසා අපි ඉදිරි කාලයේදී, තීරක ක්ෂේත්‍ර, උදාහරණයක් හැටියට විදුලිබල, ප්‍රවාහන, ආහාර, ඖෂධ, කියන මේ ක්ෂේත්‍ර තුන හතර සම්බන්ධයෙන් ප්‍රමාණික විරෝධතාකරුවන් ප්‍රමාණික වෘත්තීයවේදීන් එක්ක එකට එකතු වෙලා ප්‍රතිපත්ති මාලාවක් හදලා ඒක ජනගත කරලා ඒකත් එක්ක ඉදිරියට යන්න. ඒ සංකල්පීය අදහසක් අපි මේ වෙනකොටත් ඉදිරිපත් කරනවා.

අපි ඒ හැමෝටම විවෘතයි. ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම දැන් නව දේශපාලන බලවේගයක් ගැන කතා කරනවා. ඔහු ඇතුළු පිරිසක් මෙරට දේශපාලනයේ කාලාන්තරයක් නියැලිලා හිටියා. අත්දැකීම් බහුල අය එතැන ඉන්නවා. සමගි ජන බලවේගෙත් ඒ වගේ පිරිස් ඉන්නවා. දෙමළ සන්ධානයෙත් ඉන්නවා. අනෙකුත් දේශපාලන පක්ෂ වලත් ඉන්නවා. මේ හොඳ පිරිස එකතු කරගෙන  පවුල් වාදෙටයි, පාදඩ වාදෙටයි එරෙහිව නව බලවේගයක් හදමු කියන තේමාව ඔස්සේ තමයි අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පක්ෂ දහයටත් ඒක විවෘතයි.

අපිට කිසිම කෙනෙක් එක්ක පුද්ගලික ගැටලුවක් නෑ. රට පත්වෙලා තත්වය යටතේ අපිට එහෙම පුද්ගලික ගැටළු නෑ. මොකද මේ රටේ ඉතාමත්ම අහිතකර, බරපතළ, භයානක තත්වයකට ඇද වැටිලා තියෙන්නේ. ඒකෙදි අපේ ඔය පුද්ගලික ප්‍රශ්න, පරණ දේශපාලන ප්‍රශ්න, අපි හිත හිත කල්පනා කර කර සිටිය යුතු නැහැ. මොකද රට බංකොලොත්.

රන්ජන් රාමනායක කියන්න වගේ අපි කා එක්කවත් යාලුත් නෑ, තරහක් නෑ. පවුල්වාදී බලවේග, පාදඩ සල්ලි කාරයෝ නම්, අපිත් එක්ක තරහ බව අපි දන්නවා. ඒ නිසා අපිට දඬුවම් දෙන්න ඒගොල්ලෝ උත්සාහ කළා එදා අපිව හිරේට ගත්ත වෙලාවේ.  අපි නෙවෙයි කවදාහරි ජනතාවගේ හිර ගෙට වැටෙන්නේ මේ පවුල්වාදයයි. පාදඩ සල්ලියි තියෙනවයි කියලා අද ඔප්පු වෙලා තියෙනවනේ. ඉතින් ඒක නිසා අපි ඒවා ගැන අනුකම්පා කරනවා. අපෙන් පළිගන්න උත්සාහ කරපු අය ගැන අපි අනුකම්පා කරනවා. ඒවා දැන් අපි අතීතයට තියලා, අනාගතයේ මේ රට බංකොලොත් රට ඉදිරියට ගෙනයාම ගැන කල්පනා කරන්න.

පක්ෂ පාට කිසිම දෙයක් අවහ්‍ය නෑ. කහද, රතුද, නිල්ද, තැඹිලිද?  වෙන ප්‍රශ්න ද  කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් රටට අවශ්‍ය රට ගලවා ගැනීමට සාපේක්ෂ වශයෙන් හොඳ මිනිස්සු ටික සාපේක්ෂ වශයෙන් ඉන්න වැදගත් මිනිස්සු ටික දේශපාලනය එකට එකතු වෙලා ගමනක් යාම අවශ්‍යයි. ඒකයි අපි අවධාරණය කරන්නේ. ඒ පොදු වැඩපිළිවෙල අපි මේ දවස්වල නිර්මාණය කරනවා. හැමෝටම එකතු වෙන්න පුළුවන් වේදිකාවක්. හොඳ මිනිස්සු.

අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩ පිළිවෙලට අපි ඉඩදීලා තියෙනවා. දැන් අගමැතිවරයා යම් උත්සහයක් දරනවනේ. ඒකට අපි ගල් පෙරලන්න යන් නෑ. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න. අවශ්‍ය සහයෝගය අපි පාර්ලිමේන්තුව තුල ලබා දෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච සර්ව පාක්ෂික ආණ්ඩුව හෝ අන්තර්කාලීන ආණ්ඩුව හැදුවේ නෑ. ඒ ගැන අපිට කණගාටුයි. එහෙම වුනානම් අපි ඒකට කෙලින්ම මධ්‍යයට ම ඇවිල්ලා ඒකට වැඩ කරනවා. නමුත් අපිට දැන් පුළුවන් පාර්ලිමේන්තු මට්ටමින් වැඩ කරන්න. ඒකට අවශ්‍ය උපකාර අපි කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් මේ ක්‍රියාදාමයට එකතු වෙන්න ඕනි. ඔහු තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන මේ රටට ගැලපෙන ක්‍රියාදාමයක් හදාගෙන සමගි ජන බලවේගයත් එකතු වෙයි කියලා අපි හිතනවා.” යැයි ද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!