කොරෝනා ආසාදිත පුද්ගලයකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි බවට අනාවරණය වීම හේතුවෙන් නිවසේ ම ස්වයං නිරෝධායනයට යොමු වී සිටි වෛද්‍ය සඳරැස් අද (29) සිය නිරෝධායනය අවසන් කළේය.
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු වන වෛද්‍යවරයාට අද දහවල් නිරෝධායනය අවසන් කළ බවට නිකුත් කරන සහතිකය ලබාදීමට කටයුතු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මාතර රජයේ කාර්යාලයක සේවය කරන මාගාල්ලේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදනය වීමෙන් පසු අනාවරණය වූයේ ඔහු වෛද්‍ය සඳරැස් විසින් දශක කිහිපයක සිට ගාල්ලේ පවත්වාගෙන යන පුද්ගලික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබාගත් බවයි.
මේ තොරතුරු අනාවරණයවීමත් සමඟ ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් වෛද්‍ය සඳරැස් පීසීආර් පරීක්ෂණයකට යොමුකරන ලදී. එම පරීක්ෂණයෙන් තහවුරු වූයේ වෛද්‍යවරයා ආසාදිත වී නොමැති බවයි. කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ආරම්භ වූ මුල් දිනවල සිටම වෛද්‍යවරයාගේ පුද්ගලික බෙහෙත් ශාලාවේ සෞඛ්‍ය ආරක්ෂිත නීති අනුගමනය කර තිබිණි.
කෙසේ වෙතත් සෞඛ්‍ය උපදෙස් වූයේ වෛද්‍ය සඳරැස් නිරෝධායනය විය යුතු බවයි. ඒ අනුව ඔහු සිය නිවසේ නිරෝධායනය වීමෙන් අනතුරුව අද නිරෝධායනය අවසන්කර තිබේ.
නමුත් ගාල්ලේ පදිංචිකරුවන් අතර පැතිරයන කටකතාවලින් කියවෙන්නේ වෛද්‍ය සඳරැස් කොරෝනා ආසාදනය වී ඇති බවයි. එමෙන්ම ඔහු අසාද්‍ය තත්ත්වයකට පත්ව ඇතැ බව ද ඇතැම් දෙනා පවසති. මේ කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව නැවතත් තහවුරු කිරීමට සිදුව ඇත්තේ මේ හේතුවෙන් ම ගාල්ලේ පදිංචි විශාල පිරිසක් අනවශ්‍ය ගැටලු ඇතිකරගන්නා බැවිනි.