spot_img
spot_imgspot_img

හම්බන්තොට දී අලියකුට වෙඩි තියලා. වනජීවී නිලධාරීන් එය සැඟවීමේ උත්සාහයක (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

හම්බන්තොට, මාගම්පුර රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව අසළ දී අද (22) අලුයම අලියකු වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එම අලියාට වෙඩි තබා නැතැයි ද විදුලි සැර වැදී මියගොස් ඇතැයි ද පවසමින් අලියාගේ ඝාතනය සැඟවීමට වනජීවී නිලධාරින් උත්සාහ ගෙන තිබිණි.

අලියාගේ හිසට (කුම්බස්තලයට) වෙඩි උණ්ඩයක් ඇතුළුවූ සළකුණක් පැහැදිලිව දක්නට ලැබෙද්දී වනජීවී නිලධාරීන් එම අලියාගේ ඝාතනය සැඟවීමට උත්සාහ කළේ කවර හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේ වෙතත් වෙඩි වැදුණු අලියා එම ස්ථානයේ ඇති අධි බලැති විදුලි රැහැන් සහිත කණුවක වැදීමෙන් එම කණුව ද කැඩී ගොස් තිබුණු අතර ඉන් පසු විදුලි සැර වැදෙන්නට ඇතැයි ද විශ්වාස කළ හැකි කරුණකි.

ප්‍රදේශවාසීන් පවසන්නේ වයස අවුරුදු 35ක් පමණ වන මෙම හොඳින් වැඩුණු නිරෝගී අලියා සෑම දිනකම අලුයම් කාලයේ එම ස්ථානයේ සිටිනු දක්නට ලැබෙන බවයි. ස්ථානය හොඳින් හුරුපුරුදු අලියකු වැරදීමකින් හෝ අධි බලැති විදුලි කණුවක් කඩා නොදමන බවත් එවැනි කණුවක වැදෙන්නට හෝ ඉඩක් නැති බව අලින්ගේ හැසිරීම හොඳින් දන්නා ප්‍රදේශවාසීහු කියති.

මෙම අලියාගේ හිසෙහි ඇති වෙඩි වැදුණු සළකුණ ගැන එතැනට පැමිණි මාධ්‍යවේදීන් වනජීවී නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන්ගෙන් ලැබුණේ තර්ජනාත්මක ප්‍රතිචාරයකි. එයින් පෙනීයන්නේ හම්බන්තොට වනජීවී කාර්යාලයෙන් පැමිණි නිලධාරීන් දෙදෙනා මේ අලියා වෙඩි වැදී මියගිය බව ජනතාවගෙන් සැඟවීමට උත්සාහ ගන්නා බවයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ අලියා ඝාතනය කරන්න ඇත්තේ කිසියම් බලධාරියකුගේ මෙහෙයවීමෙන් හිතාමතා සැළසුම් කිරීමෙන් බවයි. අලියා මේ ස්ථානයේ සෑම දිනකම අලුයම සිටින බැවින් විදුලි කණුව ආසන්නයේ දී එම සතාගේ හිසට මැරී වැටෙන්නට වෙඩි තබා එය විදුලි සැර වැදීමෙන් සිදුවූ මරණයක් බව ඇඟවීමට සැළැස්මක් තිබෙන්නට ඇතැයි ද ඔවුහු කියති.  

වනජීවීන් සුරැකීමට සිටින නිලධාරීන් ද වන අලින් මේ ආකාරයෙන් ඝාතනය වන විිට එය සැඟවීමට උත්සාහ ගැනීම බරපතල ගැටලුවකි. මෙය යම් අයකුගේ සැළැස්මක් හෙළිවීම වැළැක්වීමේ උත්සාහයක් බව එතැනට ගිය මාධ්‍යවේදීන් කියති.

කෙසේ වෙතත් අද (22) සවස උඩවලව ඇත්අතුරු සෙවණේ සිට පැමිණි පශු වෛද්‍යවරු අලියාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ අතර එම මරණය සිදුව ඇත්තේ වෙඩි වැදීමෙන් සහ ඉන් පසු සිදුවූ විදුලි සැර වැදීම යන හේතූන් නිසා යැයි තීරණය කර තිබේ.

හම්බන්තොට වන අලි බහුල ප්‍රදේශවල රජයෙන් විවිධ ඉදිකිරීම් සිදුකර ඇති අතර අලි කළමනාකරණ ප්‍රදේශද නිසි පරිදි අලින් වෙනුවෙන් වෙන්කර නැත. මේ අතර රජයට සම්බන්ධ විවිධ පුද්ගලයන් වරින් වර රජයේ ආයතන අසළ සිටින අලි ඝාතනය කරන බවත් ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ලැබෙන බවටත් පරිසරවේදීහු චෝදනා කරති.

මේ එවැනි තවත් එක් අවස්ථාවක් විය හැකි බව පරිසරවේදීන් පවසයි.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ අදහස් දැක්වීම ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරිමට අපි කටයුතු කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!