“ගහපියව්, මරපියව්” කියාගෙන සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා අරගල භූමියට පැමිණි බවට ඇසින් දුටු සාක්ෂි ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රියාස් බාරි අද (18) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කියා සිටියේය.
ඒ පසුගිය (09) වැනි දා මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධියට සැකපිට ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රියාස් බාරි කියා සිටියේ මෙම මන්ත්‍රීවරු දෙදෙනා ම අරගලයට පරහදීමේ සිද්ධියට සක්‍රීයව දායක වී ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණ්‍ය වී ඇති බවයි.
ඊයේ දින මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරන ලද හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල මහ නගර සභාවේ සේවකයාව ද අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙහි දී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මේ පහරදීමට සක්‍රියව දායක වී ඇති බවට ලහිරු වීරසේකර සහ තවත් දෙදෙනකු සාක්ෂි දී ඇති බවයි. ලහිරුගේ ප්‍රකාශයේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා “ගහපියව්, මරපියව්” වැනි වචන භාවිතා කළ බව ද සඳහන් වන්නේ යැයි හෙතෙම කියා සිටියේය.
එමෙන් ම මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා ද මේ පහරදීමට සක්‍රීයව සිය දායකත්වය සපයා ඇති බවත් ඉඳුනිල් සෙනරත් බණ්ඩාර සාක්ෂි දෙමින් කියා ඇත්තේ “ගහපං, ඕකාව මරපං” කියමින් තමන් අසළ සිටි පිරිසට ජයතිලක මන්ත්‍රීවරයා පැවසූ බවයි. ඒ අවස්ථාවේ දී ඔවුන් තමන්ට තවදුරටත් පොලුවලින් පහරදුන් බව ද සාක්ෂිකරු තම ප්‍රකාශයේ සටහන් කර තිබෙන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කිවේය.
මෙහි දී සැකකරු සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යූ.ආර්. ද සිල්වා කියා සිටියේ මෙම කලහකාරී සිද්ධියට පෙර අරලියගහ මන්දිරයේ දී තම සේවාදායකයා ප්‍රචණ්ඩත්වයට පොළඹවන කිසිදු කතාවක්කර නැති බවයි. එමෙන් ම ඔහු එම අරගල භූමියට ගොස් ඇත්තේ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට බවත් ඒ අවස්ථාවෙව් දී පොලිස් නිලධාරියකු සමඟ කතාකරන දර්ශන පවා තිබෙන බවත් නීිතිඥවරයා කරුණු දක්වමින් කියා සිසටියේය. එමෙන් ම ඔහුට විරුද්ධව සාක්ෂි දී ඇති ලහිරු වීරසේකර පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අරගලය මෙහෙවන පුද්ගලයකු බැවින් ඒ ගැන කිසිත් නොකියන බවත් තම සේවා දායකයාට ඇප ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළෙල්ය.
මිලාන් ජයතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රාසික් ෆරුක් ද කියා සිටියේ ඔහු ද එහි ගොස් ඇත්තේ ගැටුම වැළැක්වීමට බවයි.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විමසා සිටියේ මොවුන්ට විරුද්ධව ඇත්තේ ඇසින් දුටු සාක්ෂි පමණක් ද යන්නයි.
ඒ අවස්ථාවේ දී සොලිස්ටර් ජනරාල්වරයා පිළිතුරු දෙමින් ඔවුන්ට විරුද්ධව වීඩියෝ සාක්ෂි ඇති බව ද කියා සිටියේය. එමෙන් ම සිද්ධියට අදාලව සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ යැයි කියා මහජන විරෝධයක් ඇති බැවින් මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජනන කැළඹීමක් ඇතිවි හැකි බැවින් ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධබව ද කියා සිටියේය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණ සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා ලබන 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළ අතර ඔවුන්ට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමට අවස්ථාව ලබාදෙන ලෙසත් නිසි ආරක්ෂාව ලබාදෙන ලෙසත් බන්ධනාගාරයට නියෝග කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේන ඊයේ (17) මධ්‍යම රාත්‍රී 12.00 පසුවන තුරු පැය අටකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද කීවේය.
එමෙන් ම ඩෑන් ප්‍රියසාද් ද අත්අඩංගුවට ගෙන තිබිණි.
මොරටුව නගරාධිති සමන් ලාල් ප්‍රනාන්දු, සීතාවක පුර ප්‍රාදේශීය සභාවේ සභාපති ජයනත් රෝහණ සහ ඔහුගේ ආධාර කරුවකු වන සමීර චතුරංග, කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මංජුල ප්‍රසන්න යන අය ද අද (18) අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් අට දෙනා හෙට (18) අධිකරණය වෙත ඉදිරිත් කිරීමට නියමිතය.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් අද (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහ්න කරගත් බව ද පොලිසිය කියයි.