සාමකාමී උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා මැර ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ කෝපයට පත් ජනතාවට මැදි වූ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාවක මහජන නියෝජිතයන් 03 දෙනකු බේරේ වැවෙන් නාගෙන අවමංගල්‍ය රථයකින් සිය නිවෙස් වෙත ගොස් ඇතැයි වාර්තා වේ
ඔවුන් නිවෙස්වලට ගොස් ඇත්තේ එම සිදුවීමෙන් දින 03කට පසුව වීම ද විශේෂත්වයකි.
එවකට අගමැති මහින්ද රාජපක්ෂට සුබ පැතීමට බව පවසමින් අරලියගහ මන්දිරයට පැමිණි මේ මහජන නියෝජිතයන් තිදෙනා ජනතාවට මැදී වී පහර කෑමට ලක්ව බේරේ වැවට තල්ලුකර දමා තිබේ. බේරේ වැවේ රැය පහන් කළ මොවුන් තිදෙනා ඔවුන්ගේ හිතවතකුට කතා කර උදව් ඉල්ලා තිබේ. එම තැනැත්තා මල් ශාලාවක් පවත්වාගෙන යන්නෙකි. පසුව දා (10) බේරේ වැවෙන් ගොඩට ආ මේ තිදෙනා ඔහුගේ රැකවරණය යටතේ රැඳී සිට ඇත.
රටේ තත්වය නොසන්සුන්වීමත් සිය ගම් ප්‍රදේශයට යාම අන්තරායදායක වීමත් හේතුවෙන් ඔවුන් ගමට ගොස් ඇත්තේ මල් ශාලාවේ හිමිකරු ලබා දුන් අවමංගල්‍ය රථයකිනි. ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් තිදෙනා එම රථයේ මළ සිරුරු තුනක් ගෙන යන ආකාරයට වැතිරී සිය නිවෙස්වෙත ගොස් ඇත.
හදිසියේ ම ඔවුන් අවමංගල්‍යය රථයකින් පැමිණීම නිවැසියන්ට සහ අසල්වැසියන්ට ද පුදුමය දනවන කරුණක් වී තිබිණි.