spot_img
spot_imgspot_img

ගාල්ලේ ආරක්ෂාව දැඩි කරයි. කළහකාරීන් දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින දෙකතුළ ඇති වූ කලහකාරී තත්වයන් හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස්කළ බව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (11) සවස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීම අවසානයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එම රැස්වීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය ඇතුලු සියලු ආගමික පූජකවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාසයන්හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්ව‍යෙන් පැවැත්විණි.

මේ දක්වා කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ වූ පුද්ගලයන් රැසක් හඳුනාගෙන ඇති බවත් ඉදිරි දින කිහිපයේ දී ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් පොලිසිය පවසයි.

එහි දී අදහස් දැක්වූ 61 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් මොහ‍ාන් රත්නායක කියා සිටියේ දිස්ත්‍රික්කය පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් කොල්ලකෑම් දක්වා වර්ධනය වී ඇති බවයි. එබැවින් සියලුම ප්‍රදේශවල යුද හමුදා මුර සංචාර පොලිසිය ද සමඟ සම්බන්ධීකරණය කරගෙන සිදුකරන බවත් වරින් පහරදීම්, ගිනිතැබීම් සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනුව එම ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත් මේජර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මෙය ජනතාව සමඟ සහයෝගයෙන් සිදුකරන බවත් රටේ සහ ජනතාවගේ ආරක්ෂාවත්, පොදු දේපළ ආරක්ෂාවත් සඳහා හමුදාව සීරුවෙන් තබා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා කියා සිටියේ රටේම ඇති වූ තත්වයේ කොටස් ගාල්ලේත් දැකිය හැකි වූ බවයි. මෙය ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවුණත් මේ වනවිට ගාල්ලේ දේපළවලට හානි කළ කණ්ඩායම් කිහිපයක් ම හඳුනාගෙන ඇති බව  ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේය. සෑම අවස්ථාවක දී ම මනුෂ්‍ය ජීවිත රැකීම ප්‍රමුඛතාවයේ ලා සළකන බැවින් පළමු දින දෙකෙහි පොලිස් මැදිහත්වීම්වල දී ඒ ගැන විශේෂයෙන් සැළකිලිමත් වූ බවත් මේ වනවිට ඇඳිරිනීතිය කඩ කරමින් සංචාරයේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බවත් ඔහු කියා සිටියේය.

ඇල්පටිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශ අදහස් දක්වමින් මෙසේ කීවේය.

“ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පසුගිය දින දෙකේ දී පොලිස් බල ප්‍රදේශ ‍12ක සිදුවීම් 31ක් වාර්තා වෙලාතියෙනවා. ඉන් දෙකක් ගිනි තැබීම්. මේ සිද්ධිවලට සම්බන්ධ කණ්ඩායම් අපි හඳුනාගෙන තිබෙනවා. අපි මේ අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයතු කරනවා.”

පොලිසිය පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය 09 සහ 10 දින දෙකෙහි දී ඇතිවූ කළහකාරී සිදුවීම්වලට අපරාධ හා සම්බන්ධතා ඇති කිහිප දෙනෙකු ද සිටින බවට හඳුනාගෙන ඇති බවයි. එමෙන් ම ගිනි තැබීමට හා අලාභහානි සිදුකිරීමට පැමිණි පුද්ගලයන් ආ යතුරුපැදිවල අංක කිහිපයක් ද හඳුනාගෙන ඇති බවත් ඉදිරියේ දී ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය පවසයි.

මේ අතර ඇඳිරිනීති කඩකරන පුද්ගලයන් සහ මාර්ගයේ සැකකටයුතු ලෙස ගමන්කරන සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මුර සංචාර සහ යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධව සිදුකරන මුර සංචාර කටයුතු ද වැඩි කර ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම අවස්ථාවට සහභාගී වූ සියලු ආගමික නායකයන් කියා සිටියේ කළහකාරී කටයුතුවලින් ඈත්ව සිටින ලෙස තම ආගමික සිද්ධස්ථාන මාර්ගයෙන් ජනතාව දැනුම්වත් කරන ලෙසයි.

එමෙන් ම සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට තම කොට්ඨාසයන්හි ඇති ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒකක දැනුම්වත් කර ගම් මට්ටමින් ද ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාලා සමූහ, විවිධ ප්‍රචාරක පිටු පවත්වාගෙන යන ක්‍රියාකාරිකයන් සහ ප්‍රජා මූල නායකයන් ගෙන්වා විශේෂ සාකච්ඡාවක් පවත්වා කළහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා සුදුසු පොදු ප්‍රචාරක වැඩපිළිවෙලක් සකස් කිරීමට ද සුදුසු බව මෙහි දී යෝජනා කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!