රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හෝ වෙනත් අමුත්තන් සඳහා විවෘත නොකරන බව ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආදිවාසී කෞතුකාගාරයත් ගම්මානයත් වසා දැමීමට තීරණය කළේ සෞඛ්‍ය අංශ දැනුම් දීමකින් නොවන බවයි.
හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“ අපේ ආදී වාසී ජන කොට්ඨාසය ඉන්නේ ඉතාමත් සුළු පිරිසක්. අපේ ඇත්තන්ට පහසුකම් තියෙන්නේත් ඉතා අඩුවෙන්. වසංගතයෙන් අපේ ඇත්තන්ව බේරාගැනීමේ ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා අපි අපේ ගම්මානය සහ කෞතුකාගාරය වසා දැමීමට තීරණය කළා. මෙය අපේ ඇත්තන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් ගත්තු තීරණයක්.”