සිද්ධාලේප වෙද මහත්තයා ලෙස ප්‍රසිද්ධියට පත්වූ වෛද්‍යාචාර්ය වික්ටර් හෙට්ටිගොඩ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව, වල්පොළ ගමේ උපන් ඔහු මියයන විට 84 වනි වියේ පසුවූයේය. පාරම්පරික වෙද පරපුරක උපන් ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව 09 දෙනෙකි.
මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් සිටි ඔහුගේ මව කුඩා කාලයේ දී ම මියයාම නිසා නැවත ගමේ පාසලට පැමිණි ඔහු පසුව ගාල්ලේ සහ කොළඹ පාසල්වල ද ඉගෙනුම ලබා තිබේ. තම සීයාගෙන් සහ පියාගෙන් වෙදකම ඉගෙන ගත්ත ද වෙදකමට වඩා ව්‍යාපාරික ක්ෂේත්‍රයට ආශාවක් දැක්වූ වික්ටර් තලවකැලේ හේමචන්ද්‍ර සමාගමෙන් සිය වෘත්තීය ජීවිතයට ආරම්භ කළේය ඒ එහි වෙළඳ සැළක සේවකයෙක් ලෙසිනි.
ඉන්පසු ගාල්ලේ ගිංතොට ලංකා ගමනාගමන මණ්ඩලයේ ගිනුම් ලිපිකරුවකු ලෙස කටයුතු කළ ඔහු එතැනින් ඉවත්ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ගිනුම් ලිපිකරුවකු ලෙස සේවයට එක්වූයේය. ඉන්පසු එම්.ඩී.ගුණසේන සමාගමේ අළෙවිකරුවකු ලෙස ද කටයුතු කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබූ ගුරුවරියක සමඟ විවාහ වූ ඔහු අනුර බණ්ඩාරනායක ප්‍රකාශයට පත් කළ පුවත්පතක ලේඛකයකු ලෙස ද සේවයර කර තිබිණි. ඒ සියල්ල හැරදමා යළි තම උපන්ගමට යන වික්ටර් හට ඔහුගේ පියා සිද්ධාලේප බෙහෙත් වට්ටෝරුව ලබාදුන්නේ වික්ටර් හෙට්ටිගොඩගේ ජීවිතය පමණක් නොව රටේ සාමාන්‍ය ජන ජීවිතයට ද විශාල බලපෑමක් කරන දෙයකට උදව් දෙමිනි. මෙය පැවරුම් ලිපියකින් ම සිය පියාගෙන් පවරාගත් හෙට්ටිගොඩ තරුණයා කොළඹ පැමිණ එය පසෙක තබා එළවළු වගාවකට අත ගැසුවේ අනුන්ගෙන් බදු ගත් ඉඩම්වල වගා ආරම්භ කරමිනි.
තම බිරිඳගේ මවගෙන් ලැබුණු රුපියල් 2,500.00ක මුදලකින් හෙට්ටිගොඩ තරුණයා බෙහෙත් වට්ටෝරුව නිපදවීම ආරම්භ කළේ කුලී නිවසක නවාතැන් ගෙන සිටිමිනි. පාපැදියක් හෝ නොතිබුණු ඔහු තමන් විසින් සාදන බෙහෙත් කුප්පි පෙට්ටියක දමාගෙන එය කරමත තබාගෙන අළෙවි කිරීමට ගියේය. එවකට සිද්ධාලේප කුප්පියක මිල රුපියල් 1.00කි.
මාස කිහිපයක් දැඩි පරිශ්‍රමයෙන් ටිකෙන් ටික අළෙවිය වැඩි කරගත් සිද්ධාලේප වෙළෙඳාම දිනකට කුප්පි 5000ක් දක්වා වැඩිවන විට ඔහු තම පළමු සේවකයා සම්බන්ධ කරගත්තේය. නමුත් ඔහු ටික දිනකින් රුපියල් 5000.00ක මුදලක් ද සමඟ අතුරුදන්ව තිබිණි. නැවත ගෝලයන් දෙදෙනකු බඳවාගත් ඔහු ඔවුන් සමඟ දුම්රියෙන් රට පුරා ගොස් සිද්ධාලේප අළෙවි කරන්නට විය.
හෙට්ටිගොඩ තරුණයාගේ පළමු රථය වූයේ රුපියල් 5000.00 කට මිල දී ගත් පැරණි හිල්මන් කාරයකි. පසුව ඔහු රුපියල් 35,000.00කට ඩෙලිකා වෑන් රථයක් ද මිල දී ගත්තේය. පයින් ගොස් සිද්ධාලේප අළෙවි කළ වික්ටර් හෙට්ටිගොඩ වාහනයෙන් ගොස් සිද්ධාලේප අළෙවි කරන්නට වූයේය.
ක්‍රමයෙන් දියුණු වූ මේ ව්‍යාපාරය පසුව හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයක් බවට පත්කෙරිණි. ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයේ දිදුලන නාමයක් බවට පත්වීමට දැඩි වෙහෙසක් ගත්තේය.
ආර්. ප්‍රේමදාස අගමැතිවරයා සමඟ සමීපව ඇසුරු කළ වික්ටර් හෙට්ටිගොඩ ජනාධිපිත ප්‍රේමදාස රජය කාලයේ ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්. ගම්උදාව ව්‍යාපෘතියේ උපදේශකවරයෙක්. සංචාරක අමාත්‍යාංශයේ උපදේශකවරයකු, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේත් උපදේශකවරයෙක් ලෙසත් සතොස හා විද්‍යායාත්මක පර්යේෂණ හා කාර්මික ආයතනයේත් අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කළේය.