බෝපේ පෝද්දල ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතවරයක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිතව සිටි බවත්, රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි ඔහුගේ මළ සිරුර ඔට්ටමාවඩි ප්‍රදේශයේ මිහිදන් කළ යුතු බවටත් හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කර තිබිය දී දේශපාලන බලය යොදා එම සිරුර නිවසට රැගෙන ගොස් පෞද්ගලික ඉඩමක ආදාහනය කළ බවත් rata.lk වෙබ් අඩවිය පසුගිය පෙබරවාරි 22 වැනි දා අනාවරණය කළේය.
එම සම්පූර්ණ ලිපිය මෙතැනින්
මේ සම්බන්ධයෙන් අද (16) බෝපේ පොද්ද්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එහි දී සභාපති දිල්රුක් අබේකෝන්, ජේ.ඒ.චන්ද්‍රකුමාර, උඳුල විශ්වජිත් ජයනෙත්ති සහ රංගනී කුමාරි යන මහජන නියෝජිතවරු rata.lk පුවතින් මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කර ඇතැයි චෝදනා කළහ.
මේ සම්බන්ධ සාකච්ඡාව පැය භාගයකට වැඩි කාලයක් ඇදී ගිය අතර මහජන නියෝජිතවරියකගේ සැමියාගේ මළ සිරුරු දේශපාලන බලය යොදාගෙන සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් පුද්ගලික නිවසක භූමදානය කිරීම සාධාරණීකරණය කිරීමට බොපේ පෝද්දල සභාවේ මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අපි ප්‍රශ්න කරන්නේ නැත. නමුත් මෙවැනි පුද්ගලික කාරණයක් සම්බන්ධයෙන් ඔවුන් කාලය වෙන්කර කතා කළ ද ඔවුන් කතා නොකරන මහජන ගැටලු බොපේ පෝද්ද්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඕනෑ තරම් ඇත.
මහජන නියෝජිත ජේ.ඒ.චන්ද්‍රකුමාර කියා සිටියේ rata.lk වෙබ් අඩවිය සහ ඊට අදාල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම මරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරියගේ නම සඳහන් කර මාධ්‍ය සදාචාරය උල්ලංඝගනය කර ඇති බවයි. එමෙන් ම එම නියෝජිතවරියගේ මියගිය සැමියා කොරෝනා ආසාදිතව සිටියේ මාස එකහමාරකට පමණ පෙර බැවින් සාවද්‍ය කරුණු සඳහන් කර ඇතැයි ද ඔහු කීවේය.
සභාපති දිල්රුක් අබේකෝන් ද එම කතාව අනුමත කළේ මේ ආකාරයෙනි.
“අපි ගිහින් ඉල්ලීමක් කළා. එක්කෝ කොරෝනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. නැත්නම් මේ පරණ පීසීආර් අරගෙන මාස එකහමාරකට ඉස්සෙල්ලා පොසිටිව් වුණා කියලා මේක ඔට්ටමාවඩි යවන්න එපා කියලා. මාස තුනක් යනකම් කොහොමත් පොසිටිව්, ඕකේ තියෙන්නේ දවස් 14න් පස්සේ බෝවීම අඩුයි ඒක නිසා පීසීආර් එකක් නොකර කොහොම ද ඒක කොරෝනා කියන්නේ. මේ වාර්තාව වැරදියි. අපි ඉල්ලුවා. මමත් කිව්වා ඔයාලා පොසිටිව් වුණා කියලා කියනවානම් මේක නැවත පරීක්ෂා කරන්න කියලා. ඊට පස්සේ තමයි එතන ඉන්කින දොස්තරලා තමන්ගේ වැරැද්ද වහගන්න, අපි වෛද්‍යවරු කණ්ඩායමක් එක්ක සාකච්ඡා කළා කියලා බේරෙන්න හේතු කියලා මළ සිරුර නිදහස් කළා. ඒ ජනක කියන සහෝදරයා මාස ගණනක් දුක් විදලා මැරුණේ මන්ත්‍රීගේ නම දාලා මේ ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත්කිරීම වැරදියි. මේ වෙබ් එක කරන සජීව විජේවීර සියලු දේ හොයලා කරන කෙනෙක් වුණත් මේ විදියට වැරැද්දක් කිරීම සුදුසු නෑ. ඒක නෙවෙයි ප්‍රශ්නය මාස දෙකහමාරක් හොස්පිටිල් එකේ ඉදලා හැදුනානම් හොස්පිට්ල් එකේ දී හැදුනේ. කොච්චර අසාධාරණයක් ද මේ විදියට ඔට්ටමාවඩි යවන එක.”
මෙහි දී අප බෝපේ පෝද්දල සභාපතිවරයාට කරුණු කිහිපයක් අවධාරණය කළ යුතුය.
කාංචනා මදනායක මහජන නියෝජිතවරියගේ සැමියා අනතුරට ලක්වන්නේ 2021 දෙසැම්බර් මාසයේ දී ය. රෝහලේ ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන ඔහු වරක් නිවසට ගොස් නැවත පැමිණ තිබිණි. මේ අතර ඔහු කොරෝනා ආසාදිත බව ද තහවුරු කරගෙන තිබිණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ බහුල කොරෝනා ප්‍රභේදය වූයේ ඩෙල්ටා ප්‍රභේදයයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ දී නැවත පෙබරවාරි 16 වැනි දා ඔහු ප්‍රතිකාර ලබාගත් වාට්ටුවේ දී කරන ලද පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව යළි තහවුරු වී තිබිණි. වරක් කොරෝනා ආසාදිත වූ අයකුට යළි කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය විය හැකි බව අපි ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඔබ ඒ ගැන හොඳින්ම දනී. නමුත් පෙබරවාරි 16 වැනි දා ඔහු ආසාදිත බවට තහවුරු වූ ලේඛන ගැන ඔබ කිසිවක් නොකීව ද අප සතුව එම තොරතුරු ඇත. මේ සම්බන්ධයෙන් යම් අධිකරණමය කටයුත්තක් සිදුවන්නේ නම් ඒවා ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.
සභාපතිතුමනි, ඔබ දැන දැනම තවත් මුසාවක් පවසයි.
කොරෝනා ආසාදිත පුද්ගලයකුට මාස තුනක් යනතුරු පීසීආර් කළ විට ආසාදිතයැයි පෙන්වන බව ඔබ පවසන්නේ කවර වූ වෛද්‍ය විද්‍යාත්මක පදනමක පිහිටාදැයි අප දන්නේ නැත. එය මුසාවකි. කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් නිවසට එව්වේ යළි දින 14ක් ඇතුළත කොරෝනා සඳහා පීසීආර් පරීක්ෂණයක් කර එයින් නෙගටිිව් ප්‍රතිඵලයක් ලැබුණේ නම් පමණි. ඔබ කියන කරුණු සත්‍යයනම් ඔවුන්ට මාස තුනක් ගතවනතුරු නිවසට එන්නේ නැත. එබැවින් තමන්ගේ හිතවතුන් බේරාගැනීමට වෛද්‍ය විද්‍යාත්මක කරුණු විකෘති නොකරන මෙන් අපි ඔබට දැනුම් දෙන්නට කැමැත්තෙමු
තව ද ඔබ බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ සභා ගැබ තුළ දී ම තමන් මේ මළ සිරුර නිවසට ගෙන යාමට බලපෑම් කළ බව ඔබ පුන පුනා ප්‍රකාශ කරයි.
එය එක රටක එක නීතියක් ප්‍රතිශ්ඨාපනය කිරීමට පොරොන්දු දී බලයට පත්වූ ඔබ වැන්නවුන් විසින් නොකළ යුතු බව කරුණු සහිතව තහවරු කරන්නෙමු.
හදිසි අනතුරිකින් යම් පුද්ගලයකු මරණයට පත්වූයේ නම්, ඒ සඳහා හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. හදිසි මරණ පරීක්ෂණයක් යනු අධිකරණමය ක්‍රියාදාමයකි. හදිසි මරණ පරීක්ෂකවරයාට පත්වීම ලබාදෙන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් වන අතර, හදිසි මරණ පරීක්ෂකවරයා එම මරණය සම්බන්ධ සියලු කරුණු අධිකරණයට වාර්තාකිරීමට බැඳී සිටියි. එබැවින් මරණ පරීක්ෂණයක දී ඔහුට පැවරෙන වගකීම මහේස්ත්‍රාත්වරයකුගේ වගකීමට සමාන වෙයි.
මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න කියා සිටියේ තමන්ගේ තීරණය වූයේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෙම සිරුර ඔට්ටමාවඩි යවා භූමදාන කළ යුතු බවයි. එමෙන් ම මේ මියගිය පුද්ගලයා ජීවත්ව සිටිය දී පෙබරවාරි 16 වැනි දා කරන ලද කොරෝනා පිළිබඳ පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබූ බව ද ඔහු තහවුරු කළේය. එම පුද්ගලයා මියගියේ ඊට දවස් 05කට පසු 21 වැනි දා ය. යම් පුද්ගලයකු මියයාමට පෙර ආසන්න දිනයක දී කොරෝනා සඳහා ධනාත්මක වී ඇත්නම් මළ සිරුරෙන් නැවත කොරෝනා සඳහා පරීක්ෂණ පැවත්වීමක් නොකරම කොරෝනා මළ සිරුරක් ලෙස සළකා අදාල කටයුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ වෛද්‍යවරුන්ට සහ හදිසි මරණ පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී තිබිය දී ඔහු ක්‍රියාත්මක වූයේ ඒ ආකාරයෙනි.
නමුත් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ඔබ තමන්ගේ සමීප ඥාතියකු නොවන (සමීප ඥාතියකු වන්නේ සැමියා, බිරිඳ, මව, පියා, සහෝදරයා, සහෝදරිය හෝ දරුවන් පමණි.) අයකුගේ මරණයක් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයා හෝ පශ්චාත් මරණ පරීක්ෂණ කරන වෛද්‍යවරු හමුවී කතා කිරීමට අවශ්‍ය නැත. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකුට එවැනි වගකීමක් නැත. නමුත් ඔබ එයට බලපෑම් කළ බව ඔබ ම ප්‍රාදේශීය සභාවේ දී ප්‍රකාශ කරයි.
මෙය අධිකරණ ක්‍රියාවලියකට බාධා කිරීමකි. එය නීතිය අනුව බරපතල වරදකි. අධිකරණයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර තිබිය දී ඔබ තවදුරටත් ව්‍යාජ තොරතුරු කියමින් කරුණු විකෘත්ති කරමින් සභාව නොමග යවමින් විශ්වාසය කඩකිරීම කණගාටුවට කරුණකි.
සභාවේ මහජන නියෝජිතවරුන් වන ජේ.ඒ.චන්ද්‍රකුමාර සහ උඳුල විශ්වජිත් ජයනෙත්ති ද ඔබ අනුව යමින් ම අසත්‍ය තොරතුරු පවසමින් තමන් මේ මළ සිරුර නිවසට ගෙන යාම සඳහා වෛද්‍යවරුන්ට බලපෑම් කළ බව සනාථ කරයි.
උඳුල විශ්වජිත් ජයනෙත්ති පවසන්නේ වැවිළි අමාත්‍ය රමේෂ් පතිරණ ද මේ මළ සිරුරු නිවසට ගෙන යාමට ඉඩ දෙන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. වෛද්‍යවරයකු ද වන රමේෂ් පතිරණ අමාත්‍යවරයා ඒ ආකාරයෙන් සෞඛ්‍ය නිති නොතකමින්, හදිසි මරණ පරීක්ෂණ ක්‍රියාවලියට බාධා කිරීම බරපතල වරදක් බව මෙහි දී සිහිපත් කළ යුතුය. උඳුල විශ්වජිත් ජයනෙත්ති සභාවේ කරන ලද ප්‍රකාශවලින් ද අප වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කළ ලිපිය සත්‍ය සහ නිවැරදි බව නැවත නැවතත් තහවුරු වෙයි.
මහජන නියෝජිත රංගනී කුමාරි ද සභාවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ මියගිය පුද්ලයාගේ බිරිඳ මහජන නියෝජිතවරියක් ලෙස පමණක් සඳහන් නොකර ඇයගේ අනන්‍යතාව හෙළිකරමින් කාංචන මදනායක යන නමින් පළ කිරීමෙන් ඇයට අසාධාරණයක් වී ඇති බවයි. එමෙන් ම මෙම මාධ්‍ය වාර්තාව නිවැරදි කරවන ලෙස ද ඇය සභාවේ දී ඉල්ලා සිටියාය. ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් අපට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු.
ශ්‍රී ලංකාවේ යම් පුද්ගලයකු නීතියට පටහැණි හෝ අයුක්ති සහගත යමක් සිදුකරන්නේ නම් ඔහු හෝ ඇය සම්බන්ධ පුවත් නමින් ම පළ කිරීම rata.lk ප්‍රතිපත්තිය බව ඇයට සිහිපත් කරන්නෙමු.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ ද මේ මළ සිරුර ඥාතීන් වෙත නිදහස් කිරීම වරදක් බවයි. පුද්ගලයා මියගිය මොහොතේ ම ලැබුණු ලේඛන අනුව 16 වැනි දා කරන ලද පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබූ බව වෛද්‍යවරු කියති. එබැවින් මළසිරුරින් යළි පීසීආර් නොකර එය කොරෝනා මළ සිරුරක් ලෙස සළකා ඔට්ටමාවඩි යැවීමට කටයුතු කළ බවත් දේශපාලනයේ ඉහළම මට්ටමෙන් ම මේ සදහා බලපෑම් එල්ල වූ බවත් වෛද්‍යවරු කියති.
බලපෑම් එල්ල කළ දේශපාලකයන් කවුරුන්ද යන්න අපි දැන සිටිය ද ඒ බව සනාථ කිරීමට නොහැකි වීම සහ ඔවුන්ගේ ප්‍රකාශ ගැනීමට නෙනාහැකිවීම යන කරුණු හේතුවෙන් ඔවුන්ගේ නම් සඳහන් නොකර ප්‍රවෘත්තිය කරුණු සහිතව පෙබරවාරි මස 22 වැනි දින පළ කළෙමු. දැන් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් සහ මහජන නියෝජිතවරු දේශපාලන බලපෑම් කර මළ සිරුරු නිවසට ගෙන ගිය බව පිළිගෙන තිබේ.
සභාපතිවරයාත්, මහජන නියෝජිතවරුත් සභාවේ දී ම කරන ලද ප්‍රකාශයන් අනුව ඔවුන් මෙන් ම රමේෂ් පතිරණ අමාත්‍යවරයා ද මේ මළ සිරුරු ඔට්ටමාවඩි නොයවා නිවසට ගෙන යාමට බලපෑම් කර ඇත. එය දේශපාලන බලය යෙදවීමක් බව ඕනෑම කෙනෙකුට අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ප්‍රාදේශීය සභාවල සිටින මහජන නියෝජිතවරුන්ට ඒ බව තේරුම් ගැනීමට නොහැකිවීම ගැන ඇත්තේ කණගාටුවකි.