spot_img
spot_imgspot_img

දකුණේ අධ්‍යාපන ලොක්කෝ අවුරුදු 05ක් රටේ නීති කඩමින් ජනතා අයිතිය නොතකා හැරලා

පුවත්

විදෙස්

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් පනත සම්මත වී මාස 03ක් ඇතුළත තොරතුරු නිලධාරීන් පත්කළ යුතු වුව ද වසර 05ක් යනතුරු තොරතුරු නිලධාරීන් පත්කර නැති බවත් අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වූයේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් දකුණු පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන පාසල්වලින් තොරතුරු ඉල්ලීමේ දී ය. රාහුල් සමන්ත මාධ්‍යවේදියාගේ එම අවශ්‍යතාව වෙනුවෙන් මෙම ලේඛකයා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් විමර්ශනය කිරීමේ දී එම නීති විරෝධී ක්‍රියාව පිළිබඳ අනාවරණය විය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසන් ඉල්ලා සිටින ලද්දේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපියකි. ඒ අනුව දකුණු පළාත ඇතුළු පළාත් කිහිපයක ම පාස් 230කින්  ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු ඉල්ලා තිබිණි.

මෙම තොරතුරු ඉල්ලුම්පත්‍රවලට දකුණු පළාතේ ඇතුළු අනෙකුත් පළාත්වල තොරතුරු කිසිවක් ලබා නොදුන් පාසල් සම්බන්ධයෙන් අභියාචනා නිලධාරීන් වෙත අභියාචනා ඉල්ලුම් පත්‍ර යොමුකරන ලදී.

ඒ අනුව දකුණු පළාතේ පාසල් 82ක් තොරතුරු ලබා දී නොතිබූ බැවින් 2021 සැප්තැම්බර් 09 වැනි දින දකුණු පළාත අධ්‍යාපන අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කෙරිණි.

එහි තොරතුරු නිලධාරිනය ලෙස කටයුතු කරනු ලබන්නේ සහකාර ලේකම් (පාලන) මේධාවි අබේසේකර ය. එම අභියාචනා ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් 2021.09.29 වැනි දිනැතිව අංක – දපස/අඉමමා/ආ14/B-02 දරණ ලිපියක් අභියාචනා ඉල්ලුම්කරු වෙත එවා තිබිණි. එහි මෙසේ දක්වා ඇත.

“ඔබ විසින් අදාල පාසල්වල තොරතුරු නිලධාරීන් වෙත තොරතුරු අයදුම්පත්‍ර යොමුකර ඇති අතර ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ දී ඒවා අදාළ පාසල්වල නම්කළ නිලධාරියාට (විදුහල්පති) යොමුකරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. තවද අවශ්‍ය වන්නේ නම් ඔබ විසින් මෙම ආයතනයට යොමුකර ඇති අභියාචනා අයදුම් පත්‍ර පැමිණ නැවත ලබාගත හැකි බව දන්වා සිටිමි.” යනුවෙනි.

මෙම ලිපිය ලැබීමෙන් පසු මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ලේඛකයා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් එහි තොරතුරු නිලධාරිනිය වූ සහකාර ලේකම් (පාලන) මේධාවි අබේසේකර හමුවිය. ඇය කියා සිටියේ තමන් අධ්‍යාාපන අමාත්‍යාංශයේ තොරුතුරු නිලධාරීවරිය බැවින් පාසල්වල නම්කළ නිලධාරියා දකුණු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටිනවා යැයි සිතා රාහුල් විසින් එවන ලද අභියාචනා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තමන්ට යොමුකර තිබූ බයි. පාසල්වල තොරතුරු ලබාගැනීමේ දී නම්කළ නිලධාරියා වන්නේ විදුහල්පතිවරයා බැවින් මේ අභියාචනා ඉල්ලීම් ඒ ඒ පාසල්වල විදුහල්පතිරුන්ට නැවත යොමුකළ යුතු බව ද ඇය කීවාය.

දකුණු පළාතේ පාසල්වල නම් කළ නිලධාරීන්ගේ ලේඛනයක් මා එම අවස්ථාවේ ඇයගෙන් ඉල්ලා සිටිය ද එවැනි ලේඛනයක් නොමැති බව ද ඇය කීවාය. එමෙන් ම එහි සිට ම අප දන්නා විදුහල්පතිවරු කිහිප දෙනකුගෙන් ම විමසූ විට ඔවුන් කියා සිටියේ තමන් දන්නා පරිදි පාසලේ තොරතුරු නිලධාරියා තමන් බවයි. නම්කළ නිලධාරියා තමන් නොවන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා නම්කළ නිලධාරියා බවත් විදුහ්ලපතිවරු කිහිප දෙකේ කීහ.

කෙසේ වෙතත් එම අයදුම්පත්‍ර යළි භාරගෙන 2021 ඔක්තෝබර් 02 සිට 05 දක්වා දිනයන් හී අවස්ථා කිහිපයක දී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පැවසූ පරිදි පාසල්වල අභියාචනා නිලධාරීන් වන විදුහල්පතිවරුන්ට එම අභියාචනා තැපැල් මගින් යොමු කරන ලදී. එයට ප්‍රතිචාර වශයෙන් පාසල් කිහිපයකින්ම ලැබුණු පිළිතුර වූයේ තමන් එලෙස තොරතුරු දැනගැනීමේ පනතට අනුව අභියාචනා නිලධාරීන් ලෙස පත්කර ඇතැයි තමන් නොදන්නා බවයි.

තොරතුරු දැනගැනීම, පුරවැසියන්ගේ මූලික අයිතියක් ලෙස ව්‍යවස්තාපිතව ද පිළිගෙන තිබෙන පසුබිමක මේ ආකාරයෙන් පොදු අධිකාරීන් තුළ සිටින නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම හුදු පුරවැසියන්ගේ මූලික අයිතීන් ද දැඩිසේ කඩවීමක් බව අපගේ විශ්වාසයයි.

මෙවන් පසුබිමක දකුණු පළාතේ පාසල් තුල  අදාල තොරතුරු නිලධාරීන් හා අභියාචනා නිලධාරීන් පත්කරන ලද දිනයන් හා ඒ සම්බන්ධයෙන්  සිදුකරන ලද දැනුම්වත් කිරීම් ලිපිවල පිටපත් ඉල්ලා 2021 ඔක්තෝබර් මස 06වන දින දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත තොරතුරු අයදුම්පත්‍රයක් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් යොමුකර තිබිණි. එම තොරතුරු ඉල්ලීමට වැඩ කරන දින 14ක් තුලදී තොරතුරු ලබා නොදීම නිසා 2021 නොවැම්බර් 08 දින එහි නම්කළ නිලධාරියා වන දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට   අභියාචනයක් ද ගොනුකරන ලදී.

ඉන් පසු එයට ප්‍රතිචාර වශයෙන් 2021 නොවැම්බර් 09 දිනැතිව ලිපි අංක දපස/අඉමා/ආ14/B-02 යන යටතේ තොරතුරු ලැබිණි.

ඉන් අනාවරණය වන්නේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2021 ඔක්තෝබර් මස 11 වැනි දිනැතිව නිකුත් කරන ලද ලිපියක් මගින් දකුණු පළාතේ පාසල්වල නම්කළ නිලධාරීන් ලෙස ඒ ඒ කොට්ඨාශයන් හි කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පත්කිරීමට කටයුතු කර ඇති බවයි.

ඔක්තෝබර් 11 වැනි දින නිකුත් කරන ලද ලිපියේ පහත පරිදි දක්වා ඇත.

“2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 23 වගන්තිය ප්‍රකාරව සෑම පොදු අධිකාරියක් විසින්ම තොරතුරු නිලධාරීන් නම්කළ නිලධාරීන් පත්කළ යුතුව ඇත.  තව ද කොට්ඨාසය තුල පවතින පාසල් සඳහා නම්කළ නිලධාරියා ලෙස කොට්ඨාස අධ්‍යක්ෂක පත්කරන බව ද මෙයින් දන්වා සිටින අතර ඒ අනුව අදාළ ඇමුණුම (RTI 12) සම්පුර්ණ කර 2021.10.31 දිනට පෙර මා වෙත ලබාදෙන මෙන්  මෙයින් කාරුණිකව දන්වා සිටිමි.” මෙම ලිපිය දකුණුු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමුකර තිබිණි.

මෙයින් පැහැදිලි වන්නේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින්, දකුණු පළාතේ පාසල්වල තොතුරු නිලධාරීන්ගේ ලේඛන ඔවුන් පත්කිරීමේ ලිපිවල පිටපත් 2021 ඔක්තොබර් මස 06 වැනි දින ඉල්ලා සිටින තුරු නම්කළ නිලධාරීන් පත්කිරීමට කිසිදු පියවරක් ගෙන නොතිබූ බවයි. ඒ අනුව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංයේ තොරතුරු නිලධාරිනිය ලෙස කටයුතු කරන සහකාර ලේකම් (පාලන) මේධාවි අබේසේකර ද පවසා ඇත්තේ අසත්‍ය කරුණකි.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 23(1)(අ) වගන්තිය අනුව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වී මාස තුනක් ඇතුළලත සෑම පොදු අධිකාරියක් සඳහා තොරතුරු නිලධාරීන් වශයෙන් නිලධරයන් එක් අයකු හෝ වැඩි ගණනක් පත්කළ යුතුය.

නමුත්  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලබාදුන් තොරතුරු මගින් අනාවරණය වූයේ එම පනත නොතකා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබූ බවයි. එසේ පත්කිරීම් නොළ අවස්ථාව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත්කරන ලද පොදු අධිකාරීන් නොමැති බැවින් තොරතුරු පනතේ විධානයන්ට  අනුව පාසල් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීමට හැකි පොදු අධිකාරිය වන්නේ ද  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වේ.

එමෙන්ම දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නම්කළ නිලධාරියා වෙත අවස්ථා කීපයකදී  සිදුකළ අභියාචනා සඳහා පරස්පර විරෝධී ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර එහිදී තොරතුරු ඉල්ලුම්කරුවන් වන පුරවැසියන් නොමග යැවීමකට ද ලක්කර ඇතිබව පැහැදිළි කරුණකි.

එයට කදිම නිදසුනක් වන්නේ 2020 දෙසැම්බර් 07වන දින අම්බලන්තොට මහ විදුහල මගින් ඉල්ලා සිටි තොරතුරු නිශ්චිත කාල සීමාව තුළ නොදීම පදනම් කරගනිමින්   2021 ජනවාරි 04වන දිනැතිව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නම්කළ නිලධාරියා වෙත සිදුකළ අභියාචනය අදාල පොදු අධිකාරිය මගින් භාර ගෙන පසුව එම තොරතුරු ලබාදෙන ලෙස අදාල පාසලේ විදුහල්පතිවරයා හට 2021 ජනවාරි 18 දිනැති ලිපියක් මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබීමයි.

නමුත් ඉන් අනතුරුව සිදුකළ ඉහත සඳහන් පාසල් 82කට එරෙහිව අභියාචනා කිරීමෙන් පසු 2021.09.29 දිනැති ලිපි අංක දපස/අඉමා/ආ14/B-02 සහිත ලිපියක් මගින් දන්වා  ඇත්තේ පාසල්වල නම්කළ නිලධාරියා විදුහල්පති බවයි. මේ අනුව එකම පොදු අධිකාරියක් මගින් අවස්ථා දෙකක දී දෙආකාරයකින් ක්‍රියා කර ඇති බව පැහැදිළි වේ.  

එවන් පසුබිමක 2021 සැප්තැම්බර් 08 වන දින දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නම්කළ නිලධාරියාවෙත  යොමුකරන ලද අභියාචනා අයදුම්පත් නැවත හරවා එවීමෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පාලන) මේධාවි අබේසේකර විසින් සිදුකර ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනතේ 23වන වගන්තියේ (1) (ආ)(අ) වගන්තිය උල්ලංඝනය කිරීමකි.

එම වගන්තියේ සඳහන් වන්නේ ” තොරතුරු නිලධාරියෙකු පත්කරන තෙක් අදාල අධිකාරියේ ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධාරියා හට එම වගකීම් පැවරෙන බවයි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනතේ නියෝගවලට අනුව යම් පොදු අධිකාරියක් වෙත පුරවැසියෙකු තොරතුරු අයදුම්පතක් යොමු කර ඇති අවස්ථාවක තම පොදු අධිකාරිය සඳහා එය අයත් නොවේ නම් අදාල  පොදු අධිකාරිය වෙත අදාල තොරතුරු අයදුම්පත යොමුකිරිම සිදුකළ යුතු ය.” එම වගකීම ද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැහැර හැර තිබේ.

මේ ආකාරයෙන් නිලධාරීන් තමන්ගේ පහසුව පදනම් කරගනිමින් රටේ පුරවැසියන්ට ඇති අයිතිය හෑල්ලුවට ලක්කරමින් පුරවැසියන් නොමග යැවීමට කටයුතු  කිරීම සිතා මතා සිදුකළ ක්‍රියාවක් බව මනාව පෙනී යයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 38වන වගන්තිය මගින් නියම කර තිබෙන නීතිමය තත්වයන් අනුව විනය බලධරයා විසින් කටයුතු කළ යුතුව ඇත.

සෑම  පොදු අධිකාරියක්ම පනත සම්මත කළ දින සිට  මාස තුනක් ඇතුළත තොරතුරු නිලධාරීන් පත්කිරීම සිදුකළ යුතු වුවත් වසර 05කට අධික කාලයක් යනතුරු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තම පොදු අධිකාරිය යටතේ ඇති පාසල්වලට අදාලව තොරතුරු නිලධාරීන්, අභියාචනා නිලධාරීන් පත්කර නොමැතිවීම තුලින් පෙනී යන්නේ අදාල පොදු අධිකාරියේ වගකිවයුතු නිලධාරීන් රටේ පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පසෙක දැමීමක් පමණක් නොව ව්‍යවස්ථාපිත නීතියට අනුව ද කටයුතු කර නොමැති බවයි.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මේ පිළිබඳ කියන්නේ මෙවැනි කතාවකි.

“තොරතුරු පනතේ පෙනෙන විදියට අදාළ ආයතනය මගින්ම තමයි තොරතුරු නිලධාරීන් පත්කර ගන්න ඕන සහ අභියාචනා නිලධාරියා  යන දෙන්න ම අපේ අමාත්‍යාංශයේ  පත්කරගෙන තියෙනවා. ඇතැම් පාසල්වල මේක විධිමත්ව පත්කරලා නෑ. ඔය කියන එක හරි. අපි මේකට ඉක්මනින්ම  කොමිසන් එකෙන් උපදෙස් පතලා  තියෙනවා. කඩිනමින් ඒක අපි නිවැරදි කරනවා. ඔබ මතු කරාට පස්සේ තමයි මෙතැන පොදු ගැටළුවක් තියෙන බව තේරුණේ. අපි ඒක කඩිනමින් නිවැරදි කිරීම කරන්නම්. මේ කටයුතු විධිමත්ව සිදු නොවීම නිසා තමයි එක් එක් අවස්ථාවල දී විවිධ ආකාරයෙන් ලිපි නිකුත් වෙලා තියෙන්නේ. මේ නිසා අපි විධිමත් පත්කිරීමේ ලිපි ඉක්මණින් නිකුත් කරනවා.”

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා

නීතිඥ ජගත් ලියනාරච්චි මෙසේ පවසයි.

තොරතුරු පනත අනුව සෑම පොදු අධිකරියකම විධායක නිලධාරියාගේ හෝ ආයතන  ප්‍රධානියාගේ වගකීම තමයි පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ දා සිට මස තුනක් ඇතුලත තොරතුරු නිලධාරීන් පත්කිරීම. යම් පොදු අධිකාරියක තොරතුරු නිලධාරියෙකු පත්කිරීමට නොහැකි වුවහොත් තොරතුරු නිලධාරියාගේ රාජකාරී ආවරණය කළයුතු ආකාරය පනතේ සදහන් වෙනවා. නමුත් තොරතුරු නිලධාරීන් පත්කිරීම කිරීම  මෙන්ම අදාළ තොරතුරු නිලධාරීන් අදාල ව්‍යස්ථාපිත කාර්යන් ඉටුකරන්නේ නැත්නම් තොරතුරු අයිතිවාසිකම් පනත පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතා මතුවෙනවා. එහිදී තොරතුරු කොමිසමට පැමිණි කරන්න පුළුවන් සේම  තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇති ආයතනයක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු වෙනවා ”

නීතිඥ ජගත් ලියනාරච්චි

නීතිඥ ජගත් ලියනාරච්චි පවසන්නේ රටේ ඇතැම් පොදු අධිකාරීන් තුළ එහි සංයුතිය අනුව නිසි පරිදි තොරතුරු නිලධාරීන් පත්කර නොතිබීම, පනත ගැන නිසි අවබෝධයක් නොමැතවීම, පනතේ සඳහන් කරුණු අනුව නිලධාරීන් කටයුතු නොකිරීම යන ගැටලු විශාල වශයෙන් දක්නට ලැබෙන බවයි.

රටේ ජනතාවගේ මූලික අයිතියක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය බාධාවකින් තොරව භාවිතාා කිරීම සඳහා පොදු අධිකාරීන් දැනුම්වත් කිරීම මෙන් ම පුරවැසි අයිතියට ගරු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් පනතේ විධානයන්ට අනුව නීතිය ක්‍රියාත්මක කරමින් පුරවැසියන්හට තොරතුරු දැනගැනීමේ අවකාශය සකසාදීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක පාලකයන්ගේ මෙන්ම නිලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමකි.

2 COMMENTS

  1. හැමෝම එකිනෙකාට බෝලෙ පාස්කරමින් තම තමාගේ සුඛවිහරණය ගැන සොයා බලනාවා මිසක් අධ්‍යාපන සේවක අයිති ගැන සොයා බලන්නෙ නෑ

  2. දකුණු පළාත් සභාවේ නිලධාරින් තොරතුරු පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සම්පත් දායකයා ලෙස එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පුහුණු කර තිබුණේ එවකට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විදුර කාරියවසම් යන අය, එයා තමා දකුණු පළාත් සභාවේ සෙසු නිලධාරින් පුහුණු කළේ, ඒක මෙහෙයවූයේ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ( පිරිස් හා පුහුණු ) ලෙස එවකට කටයුතු කළ ගාමිණි වීරවික්‍රම යන අයයි. මොවුන් නිලධාරින් පුහුණු කරන බව කියමින් පඩියට අමතරව විශාල මහජන මුදලක් මාසිකව ලබා ගනිමින් තම මඬිය තර කර ගත්තා , එනම්, තමාගේ සාමාන්‍ය රාජකාරි අමතර රාජකාරි ලෙස සලකමින් වක්වැල්ල පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන සෑම පුහුණු වැඩ සටහනකින්ම නියොජ්‍ය පුධාන ලේකම් ( පිරිස් හා පුහුණු ) තනතුර දරන නිලධාරියා විසින් අනියමින් මාසිකව විශාල මුදලක් උපයා ගන්නවා. ඒ සම්බන්ධව වන විගණන විමසුම් සඳහා නොමඟ යවන සුළු පිළිතුරු ලබා දී ඒවා යටපත් කරවාගෙන ඇත. මෙකී නිලධාරින් දෙදෙනාම තොරතුරු පනත ප්‍රකාරව තොරතුරු ලබා නොදෙන බවට සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කළ හැකිය.
    රංජිත් යාපා මහතා දකුණු පළාත් සභාවට නවක නිලධාරියෙකු වන අතර අවංකව වැඩ කරන නිලධාරියෙකු බව ඉහත පිළිතුර අනුව පෙනී යයි. ඔහු පළාත් සභාවට පැමිණෙන විට පළාත් සභාව අරක් ගෙන සිටින වංචනික නිලධාරින් බහුතරයක් ඔහුගේ පැමිණීමට එරෙහි වූ බවද සිහිපත් කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!