spot_img
spot_imgspot_img

අධික පිරිවැටුමකින් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගයට පත්වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) ගනුදෙනු පැවැති කාල සීමාව තුළ කොටස් ගනුදෙනු 67,379ක් වාර්තා කරමින් රුපියල් මිලියන 14,614ක දෛනික පිරිවැටුමක් වාර්තා කරන ලදී.

ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවමින් ඒකක 165.5කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය ඒකක 9,163ක් ලෙස සටහන් විය.

දිනයේ වැඩිම වටිනාකමක් සහිතව කොටස් ගනු දෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 4,703යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2,920යි, හේලීස් සමාගම රුපියල් මිලියන 996යි ලෙස කැපී පෙණිනි.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට සමාගම කොටස් මිලියන 256ක්, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 26යි, එස්ඊඑන්බීඑන් කොටස් මිලියන 25යි ලෙස ප්‍රධාන විය.

දිනයේ ගනුදෙනු අතරතුර වැඩි වශයෙන් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්ඊඑන්බීඑන් 50%ක ප්‍රතිශතකයකින් ද , කොටගල වැවිළි සමාගම 23%ක වැඩි වීමක් ද අමානා ලයිෆ් සමාගම 22%ක වැඩි වීමක් ද පෙන්වන ලදී.

අද දිනයේ දී ද එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 352ක වටිනාකමක් අත්පත් කරගනිමින් පළමු ස්ථානයේ ද, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 289ක වත්කමක් ද අත්පත් කරගෙන දෙවැනි ස්ථානයේ ද රැඳී සිටියි.

දිනයේ කොටස් මිල දර්ශකය ඉහළ යාම සම්බන්ධව 8.6% බලපෑමක් එක්ස්පෝ ලංකා සමාගම ද, 7% බලපෑමක් එල්ඕඑල්සී සමාගම ද, 4% බලපෑමක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ද පෙන්වන ලදී.

සංවෘත කවය තුළ අද කොටස් හුවමාරු වූ සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් 85.50 බැගින් කොට්ස 500,000ක් ද රෝයල් සෙරමික් සමාගම රුපියල් 41.00 බැගින් කොටස් 5,500,000ක් ද  හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත ) රුපියල් 125.00 බැගින් 836,000ක් ද සම්පත් බැංකුව රුපියල් 51.50 බැගින් කොටස් 1,000,000ක් ද හැටන් නැෂනල් බැංකුව (N)  රුපියල් 135.00 බැගින් කොටස් 4,000,000ක් ද හුවමාරු විය.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 117ක කොටස් මිල දී ගෙන රුපියල් මිලියන 966ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ඔවුන් ශුද්ධ ලෙස කොටස් වෙළඳ පොළෙන් රුපියල් මිලියන 847ක මුදලක් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 14යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 06යි, කළම්බු ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 03යි ලෙස ද ප්‍රධාන විය.

විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 675යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 66යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 51යි ලෙස ද දැක්විණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්වල සම්පූර්ණ වටිනාකම ඉතිහාසයේ වැඩිම අගයට පත්ව ඇති අතර එය බිලියන 4073.72ක් ලෙස සටහන් විය. කොළඹ කොටස් වෙළෙඳ පොළ භාණ්ඩ හා අපනයන සමාගම්වල පවතින ලාභයන් හේතුවෙන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

(විශ්ලේෂණය – රජින්ද්‍ර නාරංගොඩ)

1 COMMENT

Leave a Reply to Lakmal Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!