කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් පරීක්ෂණ මගින් සොයාගෙන කොරෝනා සුව කිරීම සඳහා නිෂ්පාදනය කර බෙදාහරීම කටයුතු සිදුකරන රංගන ශිල්පී ඕෂධී හේවාමද්දුම තමන්ට, තම සැමියාට හෝ දරු දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ rata.lk වෙබ් අඩවියේ ඊයේ (28) පළකරන ලද ලිපියක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඖෂධී ඇගේ සැමියා සහ දරු දෙදෙනා කොරෝනා ආසාදිත බවට ලැබුණු තොතරුකට අනුව අපි මෙම ලිපිය පළ කළෙමු. (එම ලිපිය මෙතැනින්)
එම ලිපිය පළ කිරීමට පෙර ඕෂධී සම්බන්ධකරගෙන ඇයගෙන් විමසීම පිළිගත් මාධ්‍ය සදාරයක් වුව ද ඇය සම්බන්ධකරගැනීමට නොහැකිවූයෙන් ඇයගේ පැහැදිළිකිරීමකට ඊට සමාන වූ අවකාශයක් ලබා දෙන බව ද අපි ප්‍රකාශ කළෙමු.
ඒ අනුව ඇය අද (29) උදෑසන අප ඇමතුවාය. එහි දී ඇය කියා සිටියේ තමන්ට කොරෝනා ආසාදනය නොවූ බවයි. එමෙන් ම තම සැමියා ප්‍රදීප් බුලත්සිංහලට හේ දරු දෙදානට ද කොරෝනා ආසාදනය වූ බවට සඳහන් කිරීම අසත්‍යයක් බව ද ඇය කීවාය.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“මේ ප්‍රවෘත්තිය වැරදියි. මටවත් මගේ මහත්තයාටවත්, දරු දෙදෙනාටවත් කොරෝනා ආසාදනය වුණේ නැහැ. යමක් ප්‍රකාශකරන විට ඒ සම්බන්ධයෙන් සැබෑ සත්‍ය තොරතුරු සහිතව ප්‍රකාශයක් කරන්න. මේක බොරු කතාවක්. මට අපහාස කරමින් වැරදි ප්‍රචාරයක් කරන්නේ. මෙයින් අපි දැඩි අපහසුතාවකට පත්වෙනවා. ඔයාල කියනවා මම පොලිසියට බලපෑම් කරලා අර බෙහෙත ගැන පරීක්ෂණ පැවැත්වීම යට ගහනවා කියලා. මම සාමාන්‍ය මනුස්සයෙක්. මගේ දේශපාලනය වෙනයි. මම දැන් නිළියක් විතරයි.”
ඒ අනුව අපි ඇගේ ප්‍රකාශය එලෙස සටහන් කරන්නෙමු.
මීට අමතරව ඇය කියා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්ත් ගුණවර්ධන විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ඵලදායී බවයි. එය හොර බෙහෙතක්යැයි කීමට කිසිවෙකුට නොහැකි බව ද ඇය කීවාය.
එමෙන් ම ඇය කියා සිටියේ මෙම ඖෂධය පානය කළ කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි. ඉන් කොරෝනා සුවවන බව ද ඇය ප්‍රකාශ කරයි.
කොරෝනා ආසාදනය වන පුද්ගලයන්ගෙන් මියයන්නේ 2%ක් පමණක් බවත් 98%ක් ම කිසිදු ඖෂධයක් නොමැතිව වුව ද සුවවන බවත් පැවසූ විට ඇය නිහඬ වූවාය. නමුත් ඇය පවසන්නේ සායනික පරීක්ෂණ සඳහා වසර ගණනාවක් ගතවන්නේ වුව ද එන්නත් ජනතාවට දෙන්නේ ද නිසි සායනික පරීක්ෂණ නොමැතිව බවයි.
නමුත් වෙනත් කොරා්නා වයිරස සඳහා වසර ගණනාවක් පරීක්ෂණ පවත්වා තිබූ එන්නත් කිහිපයක් නිශ්චිත සායනික පරීක්ෂණ හා නිර්දේශ සහිතව අනුමැතිය ලබා දී ලෝකයට හඳුන්වාදුන් බව අප ඇයට විස්තර කළ විට ඇය එය නිහතමානීව පිළිගත්තාය.
වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සමඟ එක්වී ඇයගේ සහභාගීත්වයෙන් ද කොරෝනා සඳහා සුදුසු යැයි පවසමින් විකුණන ව්‍යාජ ඖෂධය ලබාගත් පුද්ගලයන් මරණයට පත්ව ඇති බවත් ඊට හොඳම උදාහරණය එම ඖෂධයේ ප්‍රචාරක කටයුතු භාරව සිටින ගාල්ලේ පදිංචිකරුවකුගේ මව කොරෝනා ආසාදනයෙන් මියයාම බව පැවසූ විට ඖෂධී කියා සිටියේ ඇය මියගියේ හදවත් රෝගයකින් බවයි.
එම මවගේ මරණයට හේතුව ලෙස පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සඳහන් වී ඇත්තේ කොරෝනා නිව්මෝනියාව බවත් එම ලේඛන අප සතුව ඇති බවත් පැවසූ විට ඖෂධී මෙසේ කීවාය.
“මට කිව්වේ හදවත් රෝගයක් නිසා මියගියා කියලා. ඔයා එහෙම කියනවානම් මම ඒ ගැන සොයා බලන්නම්. එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ.”
එමෙන්ම ඇය විසින් බෙදාහැරීමේ කටයුතු සිදුකරන නිෂ්පාදනය සඳහා අවසර ලබාගත් ආයතන හෝ ලබාගත් අවසරයන් පිළිබඳව හෝ ඇය සාධක කිසිවක් ඉදිරිපත් කරන්නේ නැත. එම සාක්ෂි ඉදිරිපත් කිරීමට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන ද මෙතෙක සමත්වී නැත.
එමෙන් ම එම නිෂ්පාදනය සඳහා සායනික පරීක්ෂණ සිදුකර නැති බව ද ඇය පිළිගත්තාය.
(මෙම ලිපිය අප විසින් පළකරනු ලබන්නේ මීට පෙර දින අප විසින් පළකරන ලද ලිපියේ සඳහන් වූ පරිදි අගතියට පත්වන යම් පාර්ශවයක් ඇත්නම් එම පාර්ශවයට ද සමාන ඉඩක් ලබා දී පැහැදිලිකිරීමක් පළ කිරීම මාධ්‍ය සදාචාරයට අනුව අත්‍යාවශ්‍ය කරුණක් බව අප පිළිගන්නා බැවිනි. අප විසින් සත්‍යයැයි තහවුරු කරගනු ලබන කරණු පමණක් මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන අතර නමුත් සියලු පාර්ශවයන්ට අදහස් පළකිරීමට හා කරුණු දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරන අතර එය පිළිගනු ලබයි. මෙය ඒ අනුව සැකසූ ලිපියකි)



