ගාල්ල නාගරික මන්ත්‍රීවරු නීති කඩමින් නුවරඑළියේ සංචාරයක

0
217

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් නුවරඑළියේ චාරිකාවක් සඳහා පිටත්ව ගොස් ඇත.

අද (08) වැනි දින මොවුන් පිරිස පිටත්ව ගොස් ඇත්තේ නගර සභාවේ මුදල් ප්‍රතිපාදන ඉල්ලුම් කරමිනි. පූර්ව අවසරයක් මත මේ සඳහා සහභාගීවීමෙන් අනතුරුව වියදම් ලේඛන ඉදිරිපත් කර මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට නියමිත බව නාගරික මන්ත්‍රීවරුම කියති. නුවරඑළිය මහ නගර සභාවේ සිදුකරන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය, මළ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය හා අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකිරීම අධ්‍යයනය කිරීමටත් මොබිටෙල් ආයතනය සමග එක්ව කරනු ලබ රථ නැවතුම් අයකිරීමටත් ගාස්තු අධ්‍යයනය කිරීමටත් මෙම ක්ෂේත්‍ර චාරිකාව යොදාගන්නා බව පවසමින් මේ සඳහා නගර සභාවේ මුදල් ලබාගැනීම පූර්ව අනුමැතිය රැගෙන තිබේ. ක්ෂේත්‍ර චාරිකාව දින දෙකක් පැවැත්වෙන බවත් යාමට දිනයක් හා ආපසු පැමිණීමට දිනයක් වශයෙන් දින හතරක කාලයක් මේ සඳහා වෙන්කර ඇති බවත් පැවසේ. ඒ අනුව ඔවුන් නුවරඑළියේ ගත රාත්‍රී තුනක් ගත කිරීමට නියමිතය.

මේ වනවිට පොදු ජන පෙරමුණට බලය හිමිව තිබෙන ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරු මින් ඉහත අවස්ථා කිහපයක දී ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අධ්‍යයනය කිරීමට බව පවසමින් නුවරඑළියේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවල නිරතව ඇතත් එම ගමන්වල දී ලබාගත් දැනුම මෙතෙක් ගාල්ල මහ නගර සභාවේ ප්‍රයෝජනය සඳහා භාවිතා කර තිබේ ද යන්න ගැටලුවක් ව පවතී. 2019 වර්ෂයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු අධ්‍යයනය සඳහා කුණ්ඩසාලේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය නැරඹීමට ගිය ද මන්ත්‍රීවරු කණ්ඩායම රාත්‍රී නවාතැන් ගෙන ඇත්තේ නුවරඑළියේ ය. මේ දක්වාම ගාල්ල මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා මළ අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රශස්ථ මට්ටමක නැතැයි දිගින් දිගටම ජනතාව වෙතින් චෝදනා එල්ලවෙයි.

මෙහි වඩාත්ම වැදගත් කරුණ වන්නේ මින් ඉහත වසරවල දී උක්ත කාරණය සම්බන්ධයෙන් ම සංචාරයේ නිරතවූ මන්ත්‍රීවරු කණ්ඩායමක් ද මෙම පිරිස අතර සිටීමයි.

කෙසේ වෙතත් ගල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා විසින් මෙම ගමනට අදාල ආරාධනා ලිපිය මන්ත්‍රීවරුන් වෙත යොමුකර තිබුණේ පසුගිය 21 වැනි දා ය. මේ සම්බන්ධයෙන් ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මහතාගෙන් සිදුකළ විසීමක දී කියා සිටියේ වැදගත් අධ්‍යයන කටයුත්තක් සඳහා මේ ගමන පිටත් වූ බවයි. කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය නිර්දේශ ලබාදී ඇතැයි තමා දැනුම්වත් නැති බවයි.

මෙම මන්ත්‍රීවරු කණ්ඩායම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අධ්‍යයනයට නුවරඑළිය බලා පිටත්ව යන බව පවසා තිබුණ ද ඔවුන් අද දහවල් උඩවළව ඇත්අතුරු සෙවණේ සිටි අතර ඒ පිළිබඳ විමසූ විට මන්ත්‍රීවරයකු කියා සිටියේ තමන් ඇතුළු පිරිස අලි බලන්න පැමිණි බවයි.

මේ සම්බන්ධයෙන් හිටපු නගරාධිපති වත්මන් නාගරික මන්ත්‍රී (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) මෙත්සිරි ද සිල්වා මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ තමන් එම සංචාරයට සහභාගී නොවූ බවයි.

”මේක සම්පූර්ණයෙන් ම වැඩකට නැති බොරු ගමනක්. ඔය ගියා කියලා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැහැ. කට්ටිය එක්ක විනෝද වෙලා එන එකක් තමයි කරන්නේ. මොනවා වුණත් කොරෝනා අවදානමක් තියෙද්දී විනෝදයට හරි මේ වගේ ගමනක් යන එක වැරදියි. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මේ ගමනට සහභාගී වුණේ නැහැ.” ඔහු වැඩිදුරටත් කිවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාගරික මන්ත්‍රී සුනිල් ගමගේ මහතා (ජනතා විමුක්ති පෙරමුණ)

”අධ්‍යයන චාරිකාවක් කියා මොවුන් සහභාගී වන්නේ විනෝද ගමනක්. මටත් ආරාධනා කළා. වැඩක් වෙනවා කීවා. ඒ නිසා මා මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කළත් ඔවුන් මෙයට සූදානම් වූ ආකාරය දුටුවාම මට අවබෝධ වුණා යන්නේ විනෝද ගමනක් බව ඒ නිසා මා ගමන යාමෙන් වැළකී සිටියා. “

හිටපු නගරාධිපතිවරයකු වන පොදු ජන පෙරමුණේ වත්මන් නාගරික මන්ත්‍රී කැළුම් සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.

”අපේ නගර සභාව මේ රටේ දෙවැනි නගර සභාව. එය අවුරුදු 155ක් පරණයි. ඒත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ඉගෙන ගන්න පසුකාලීනව බිහි වුණු නගර සභාවලට යනවා කියන්නේ ලැජ්ජාවට කාරණයක්. මන්ත්‍රීවරු අතර අත්දැකීම් තියෙන අයත් නවකයනුත් ඉන්නවා. ඒ නිසා ඒ අය විනෝද වෙන්නත් එක්ක මේ වගේ ගමනක් ඉදලා හිටලා ගියාට ඉතින් අපිට කියන්න දෙයක් නැහැ. නමුත් නිලධාරීන් මේවා ගැන කණගාටුවෙන්න ඕනෑ. ඇත්තටම මට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන ඉගෙන ගන්න දෙයක් නැති නිසා මම ගියේ නැහැ. අපේ ඇතැම් මන්ත්‍රීවරු ඔය කාරණයටම නුවරඑළියට මීට ඉස්සෙල්ලත් ගිහින් තියෙනවා.”

මෙම අධ්‍යයන චරිකාව සඳහා ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා පසුගිය 6 වැනිදා කොවිඩ් 2020-347 දරන නිවේදනයෙන් සියලුම ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සැණකෙලි ඇතුළු අත්‍යවශ්‍ය නොවන රැස්වීම් සියල්ල නැවත දැනුම් දෙනතුරු දිවයින පුරාම තහනම් කර තිබේ.

(සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ පිළිබඳ මාධ්‍ය නිවේදනය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here