spot_img
spot_imgspot_img

ගාල්ලේ කුණු කන්දට විසඳුමක් නැතැයි ගැමියන්ගෙන් චෝදනා

පුවත්

විදෙස්

ගාල්ලේ වැකුණුගොඩ කසල කන්ද ආශ්‍රිතව ගාල්ල නගර සභාව මගින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති කවෂිමා ව්‍යාපෘතියට එරෙහිව අඛණ්ඩ සත්‍යග්‍රහයක් සහ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ප්‍රදේශවාසීහු පවසති.

ඔවුන් චෝදනා කරන්නේ වසර ගණනාවක සිට මහජන විරෝධය නොතකා වැකුණුගොඩ වැල්මුරුංග කලපුව අසළ කුණු ගොඩගැසූ ගාල්ල මහ නගර සභාව මහජන අදහස් නොතකමින් මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි ආයතනවල ද අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස කසළ කළමනාකරණයට යැයි පවසමින් අසාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

එමගින් වැකුණුගොඩ කුණු කන්දේ ගැටලුව නිරාකරණය නොවන බවත් ඉන් ප්‍රශ්නය තව තවත් උග්‍රවන බවත් ඔවුහු පෙන්වා දෙති.

වැකුණුගොඩ කුණු කන්දෙන් වැල්මුරුංග කලපුවේ කඩොලාන සහිත ජලජ පරිසරයට දැඩි බලපෑමක් සිදුවන බවට දිගින් දිගටම පරිසරවේදීන්ගෙන් හා ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා එල්ල වූ අතර ඒ කිසිවක් නොසළකමින් ගාල්ල මහ නගර සභාව වසර 15ක පමණ කාලයක් පුරා මේ ස්ථානයට කසළ බැහැර කිරීම සිදුකරනු ලබයි. දිනකට ගාල්ල නගර සීමාවේ එකතුවන ටොන් 30කට ආසන්න කසළ ප්‍රමාණයක් මේ ස්ථානයට බැහර කිරීම හේතුවෙන් එහි විශාල කුණු කන්දක් මේ වනවිට නිර්මාණය වී තිබේ.

ගාල්ලේ කසළ ප්‍රශ්නයට විසඳුම් ලෙස මොන්රෝවියා වත්තේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් මධ්‍යම පරිසර අධිකාරියේ ද මැදිහත්වීමෙන් ඉදිකර ඇතත් මේ වනවිට එය ද අසාර්ථක ව්‍යාපෘතියක් බැවින් ගාල්ලේ කුණු දිගින් දිගටම වැකුණුගොඩ ප්‍රදේශයට ගොඩගැසීම සිදුවෙයි.

වකැණුගොඩ ප්‍රදේශයේ කුණු ගොඩගැසීමට විරුද්ධව වරින් වර එල්ල වූ විරෝධතා හේතුවෙන් කුණු කන්දේ කොටසක් අතහැර දැමුණු අතර මේ වනවිට එම කුණු කන්ද මතුපිට විවිධ වැල් වර්ග සහ ශාක වර්ග වැවීම හේතුවෙන් වැසී යමින් පවතී. නමුත් තවමත් ගාල්ල නගරයේ වැකුණුගොඩ කුණු දැමීමට භාවිතා කළ ඉඩමේ ම වෙනත් ස්ථානයක කුණු ගොඩගසමින් තිබේ.

මෙයට විසඳුමක් ලෙස ගාල්ල මහ නගර සභාව පළාත් පාලන අමාත්‍යාංශය හා එක්ව කවෂිමා නමින් කසල කලමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් හෝ අනුමැතියක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. නමුත් ‍රටේ වලංගු නීතියට අනුව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් එම ස්ථානයේ පාරිසරික ඇගයීම් වාර්තාවක් සිදුකළ යුතුය. මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ එවැනි ඇගයීමක් සිදුකර නැති බවයි.

වැකුණුගොඩ පදිංචිකරුවකු වන කුමාර ආරච්චිගේ මහතා මෙසේ පවසයි.

“මෙතැන කුණු දැමීමෙන් මේ අවට පදිංචිකරුවන්ගේ ජීවිත පවා අනතුරට පත්ව තිබෙනවා. පර්යේෂකයන් පවසනවා මේ කුණු කන්ද නිසා වැසිකිළි වළවල්වලට පවා මීතේන් වායුව ඇවිත් වැසිකිළි කටෙන් පිටවන බව. දැන් එය සනාථ වෙලා මේ අවට ගෙවල් රැසක ගුද මාර්ග පිළිකා සෑදුණු විශාල පිරිසක් ඉන්නවා. නගර සභාව මේකට වගකියන්න ඕනෑ. පරිසර අධිකරියේ කිසිදු අනුමැතියකින් තොරව මේ වගේ ඉදිකිරීම් කරනවා. නමුත් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් එක පැත්තක පරණ කුණුගොඩ වැල්වර්ගවලින් වැසී යන්න සළස්වලා අනිත් පැත්තේ තව කුණු ගොඩක් එකතු කරනවා. මේකට විරෝධය පළකරමින් අපි කොතෙක් උද්ඝෝෂණ කළත් ප්‍රයෝජනයක් නැහැ. රටේ නිලධාරීන්ට කුණු ගොඩ කියන්නේ සල්ලි ආකරයක් වෙලා. මේ කුණු ප්‍රශ්නය පෙන්න පෙන්නා ව්‍යාපෘති ගෙන එමින් ලක්ෂ ගණන්වලින් කොමිස් ලබාගැනීම තමයි කරන්නේ. මේ කුණු කන්ද නිසා වැල්මුරුංග කලපුවට එකතුවන අපද්‍රව්‍ය වඩදිය සමඟ ගිංගඟ ජල පොම්පාගාරය දක්වා ගමන් කරනවා. ඒ ජලය තමයි ගාල්ලේම ජනතාවට බොන්න දෙන්නේ. මේ විනාශය ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ.”

වැකුණුගොඩ කුණු කන්ද ආසන්නයේ පදිංචිකරුවකු වන ලහිරු කුමාර මහතා මෙසේ පවසයි.

“මැසි මදුරු කරදරයත් ඉවරයක් නෑ. මේ කුණු කන්දෙන් එන දුඟඳ නිසා අපිට ගෙවල්වල ඉන්න බැහැ. මේ අපහසුතාවය නිසා බොහෝදෙනකු හිසරදයෙන් පීඩා විඳිනවා. මේවාට කවුරුවත් විසඳුම් දෙන්නේ නැහැ. ජපානයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණා කියා කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ගෙනවිත් මෙතැන සවිකළා. නමුත් එය සාර්ථක දෙයක් නෙවෙයි කියලා අපි දන්නවා. නගර සභාව මෙතැනට කුණු දාන්නේ පාරිසරික නීති සියල්ල උල්ලංඝනය කරමින්. මේ වගේ කඩොලාන සහිත ජලජ පරිසරයකට කුණු දාන්න බැහැ. ඒ වගේම මිනිසුන් ජීවත්වන ප්‍රදේශයකට. දැනට මේ කුණු කන්ද නිසා මුළු ප්‍රදේශයේම ජනතාව දැඩි අපහසුතාවකට පත්වෙලා. ඔවුන්ගේ ජීවිත අනතුරට ලක්වෙලා. මේ ගැන වගකිව යුතු ආයතන සියල්ල නිහඩයි.”

ප්‍රදේශවාසීන් පවසන්නේ කුණු දමන ඉඩමෙන් කොටසක් රජයට හෝ නගර සභාවට හෝ අයති නැති බවයි. පුද්ගලික ඉඩමකට නගර සභාව කුණු දමන බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එම කරුණ පිළිබඳ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

“ මේ ඉඩමට කෙනෙක් නඩුවක් දාලා තියෙනවා. නඩුවට අදාලා නොවන කොටස නගර සභාවට ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. තවම එය සම්පූර්ණ වුණේ නැහැ. “

වැකුණුගොඩ කුණු වත්තේ ක්‍රියාත්මකවන කවෂිමා ව්‍යාපෘතිය ගැන ගාල්ල නාගරික කොමසාරිස් ධූරයේ වැඩ ආවරණය කරන රනිල් වික්‍රමසේකර මහතාගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ කවෂිමා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි. එය තවත් නොබෝ දිනකින් විවෘත කරන බව ද හෙතෙම පවසයි. ඉන් පසු කුණු කසළ සියල්ල කොම්පෝස්ට් බවට පත්කිරීමට කටයුතු කරන බවත් ඒවා අළෙවි කිරීමෙන් නගර සභාවට ආදායමක් ලබාගත හැකි බවත් කොමසාරිස්වරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!