දුම්රිය ප්‍රවේශපත්‍ර සකස් කිරීම චීනයට ලබාදීම හේතුවෙන් ඩොලර් මිලියන 22ක මුදලක් අපතේ යන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසයි.
ඉන්දික දොඩංගොඩ පවසන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් දුම්රිය ප්‍රවේශපත්‍ර සැකසීමේ කාර්යය නොමිලයේ ලබාදීමට වැඩ පිළිවෙලක් සකසා ඒ සඳහා අවශ්‍ය වාර්තාවක් ද රජයට ලබා දී ඇති බවයි. එලෙස ප්‍රවේශ පත්‍ර ලබා දීමට හැකියාව තිබිය දී එම කාර්යය චීනයට ලබාදීමෙන් ජනතාවගේ මුදල් අවභාවිතා වන බව ඔහු පෙන්වා දෙයි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන එය චීනයට පැවරීමට රජය සූදානම්වන බව පවසන දොඩංගොඩ කියා සිටියේ එමගින් මුදල් අවභාවිතයක් වන බවයි. ටෙලිකොම් සමාගම මගින් මූලික වියදමකින් තොරව පසුව ටිකට්පතකින් සුළු මුදලක් ආපසු ගෙවීමේ පදනම මත එම ක්‍රමවේදය සකස් කිරීමට එකඟ වී තිබිය දී එම කාර්යය චීනයට පැවරීමෙන් සෑම මසකම රුපියල් මිලියන 1.2 බැගින් ගෙවීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි. ටෙලිකොම් සමාගමෙන් අදාල සේවාවන් සියල්ල ලබාගත හැකිව තිබිය දී එය චීනයට ලබාදීම පසුපස මූල්‍ය ගනුදෙනුවක් ඇතැයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.