spot_img
spot_imgspot_img

මීපාවලට පෝද්දලට නොදන්වාම වතුර කපලා

පුවත්

විදෙස්

මීපාවල හා පෝද්දල ප්‍රදේශවලට පසුගිය 09 වැනි දා සිට අද (12) දක්වා පානීය නල ජලය නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ පිළිබඳ විමසූ විට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ හෝළුවාගොඩ පාලමේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම නතරවී ඇති බවයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ පානීය ජල සැපයුම රාත්‍රී කාලයේ දී පමණක් ලැබෙන ලෙස සීමා කර තිබිය දී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙලෙස ජලය කප්පාදු කිරීමෙන් තමන් බලවත් අසීරුතාවකට පත්වූ බවයි.

දෛනික ජල අවශ්‍යතාව සඳහා ජල සැපයුම ප්‍රමාණවත් පරිදි නොමැති බැවින් වක්වැල්ල ජල පොම්පාගාරයේ සිට මහ ගාල්ල ජල යෝජනා ක්‍රමය ඔස්සේ ජලය සැපයීම සිදුකරන්නේ දිනකට පැය කිහිපයක් පමණි. ඒ ඒ ප්‍රදේශවලට විවිධ වේලාවන්හි ජලය සැපයීම සිදුකරයි. මීපාවල හා පෝද්දල ප්‍රදේශයට රාත්‍රී කාලයේ දී පමණක් ජලය ලැබෙන බැවින් පදිංචිකරුවන් ජලය ගබඩාකරගෙන සිය පානීය ජල අවශ්‍යතා සපුරාගැනීමට පුරුදුව සිටිති. ඔවුන් පවසන්නේ 08 වැනි දා රාත්‍රී ජලය ලැබුණු පසු මෙතෙක් ජලය නොලැබුණු බවයි.

ජලය නොමැති වූ විට ඒ ගැන ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් විමසන තුරු එම කාර්යාලයේ නිලධාරීන් පවා මීපාවල හා පෝද්දල ප්‍රදේශයට ජලය නොමැති බව දැන නොසිටි බව ප්‍රදේශවාසීහු කියති.

මේ පිළිබඳ විමසීමට ජල සම්පාදන කාර්යාලයට ඇමතුමක් ලබාගත් අවස්ථාවේ දී ඔවුන් කියා සිටියේ පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ජල නලයක ගැටලුවක් ඇතිවී ජල සැපයුම තාවකාලිකව නතර වී තිබෙන බවයි. අද (12) සවස එය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව ද ‍ප්‍රකාශකයා කීවේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!