spot_img
spot_imgspot_img

දේවානි, ඔබ සතු බලතල භාවිතා නොකළේ ඇයි?

පුවත්

විදෙස්

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් පසුගිය ඉරිදා Crudia zeylanica ගස් බේරා ගැනීම පිණිස කළ මැදිහත්වීම මේ වනවිට සියලු ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍යයන්හි කතාබහට ලක්ව ඇත.

එම ක්‍රියාව කිරීමට ඇයට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට යම් යම් පාර්ශව විසින් අදහස් දක්වා තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය පල කරමි.

වන සංරක්ෂණ ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර්තමේන්තුවේ සියලුම වන නිලධාරීන් සාම නිලධාරීන් බවට පත්කර ඇත. ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විවිධ වගන්ති මගින් සාම නිලධාරීන් වෙත පිරිනමා තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමට වන නිලධාරීන්ටත් පූර්ණ බලය හිමිව තිබේ.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වන වගන්තියට අනුව යම් සංඥේය වරදක නිරත වන අයෙකුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලතල තිබේ. මීටත් වැඩිමනත් බලතල එහි 35 වන වගන්තියේ තිබෙන මුත්, එය මේ අවස්ථාවේ විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත​.

වන සත්ව සහ වෘක්ෂ ලතා ආරක්ශක ආඥා පනතේ 67ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥේය වරදවල් ලෙස නම්කර ඇත.

මේ ශාකය වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ42 වන වගන්තිය යටතේ තිබෙන අටවන උප ලේඛනයේ ඇතුලත් නිසා ආරක්ෂිත ශාක විශේශයකි. එසේ හෙයින්, මෙම අවස්ථාවේ දී අදාල ගස් වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත් අඩංගුවට ගැනීමට පවා අවශ්‍ය බලතල ඇය සතුව තිබිණි.

නමුත්,එහි දී එවන් දැඩි පියවරක් නොගැනීම විශේෂත්වයකි.

මීට අමතරව වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ශක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව එම පනත ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන නියමිත නිලධාරීන් පත්කිරීමේ බලතල තිබේ.

ඒ අනුව 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ පලකරන ලද නියෝගයක් මගින් වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ශක ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබා දී ඇත.

එසේම වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ශක ආඥා පනතේ 66 වන වගන්තිය යටතේ දී පසු කාලීනව එම බලතල පොලීසියටත් හිමිව තිබේ.

ඉහතකී 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පවරා තිබෙන බලතල මගේ නීතිඥ වෘත්තිය කාලය තුල ප්‍රථම වරට ක්‍රියාත්මක කලේ දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් 1990 දශකයේදීය​.(මට මතක තරමින් 1996දී). ඒ නුවරඑළියේ දී නීතිවිරෝධී ලෙස එකතු කරගත් ගිනිහොට (Tree Fern) ශාක වැටලීමක් සහ සැකකරුවන්ව වරදකරුවන් බවට පත්කරමින් සාර්ථකව නිමාවූ නඩු කටයුත්තක් වන සිද්ධියෙනි.

ඉන් පසුව ගෙවීගිය දශක දෙකකටත් අධික කාලයේදී මෙම නියෝගය අනුව ක්‍රියාකරමින් සාර්ථකව  වනජීවීන් රැකගැනීමට කටයුතු කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ගනනාවක්ම සිටිති.

මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ශාකර ගැනීම පිණිස වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන අගනා දායකත්වයේ ආසන්නතම සහ ප්‍රකටම සිද්ධියත් වේ.

එබැවින් මෙම සිද්ධියේ දී නිවැරදි ආකාරයන් ක්‍රියාත්මක වූ දේවානි මහත්මියට මගේ ප්‍රශංසාව සහ ප්‍රනාමය පිරිනමන්නෙමි.

පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!