4.6 C
New York
Home Blog Page 30

පෙළපාලියකට මෝටර් රථයක් කඩා වැදී, රැසකට තුවාල

0

එංගලන්තයේ ලිවර්පූල් ප්‍රදේශයේ පැවති සැමරුම් පෙළපාලියක් තුළට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 47දෙනෙකු තුවාල ලබා තිබේ.

ලිවර්පූර් පාපන්දු සමාජයේ ජයග්‍රාහී පෙලපාලි සැමරුම සිදුවන අවස්ථාවේ ඊයේ (26) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 27 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය ධාවනය කළ රියදුරු වන 53 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් විය නොහැකි බව එරට ආරක්ෂක අංශ පවසයි.

-Advertisement-

අරාබි මුහුදේ නෞකාවක් ගිලී යයි

0

තෙල් සහ අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අරාබි මුහුදේ ගිලී යාමේ සිද්ධියෙන් පසු ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස්  ඊයේ අනතුරකට ලක්ව තිබුණි.

එහිදි නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මුදා ගත් අතර නෞකාවේ තිබු බහාලුම් 640ක් ගොඩබිම වෙත ගාසා ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
කෙසේවෙතත් ඉන්දීය බලධාරීන් සඳහන් කළේ නෞකාවෙන් සහ එහි භාණ්ඩවලින් කාන්දු වූ තෙල්, ඉන්ධන සහ අනෙකුත් හානිකර ද්‍රව්‍ය හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ ආසන්නයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අනතුරක් විය හැකි බවය. 

මේ හේතුවෙන් වෙරළ අසල ජීවත් වන පදිංචිකරුවන්ට වෙරළට ගසාගෙන ආ බහාලුම් හා තෙල් ස්පර්ශ නොකරන ලෙස බලධාරීන් උපදෙස් දී ඇති අතර, ගිලී ගිය නෞකාවට සමීප වීමෙන් වළකින ලෙස ඉන්දීය බලධාරීන් එරට ධීවරයින්ගෙන් ඉල්ලා ඇත.

-Advertisement-

පාකිස්තාන හමුදාපතිට ෆීල්ඩ් මාෂල් තනතුර

0

පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්ට, ෆීල්ඩ් මාෂල් තනතුර නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි.

උත්සවය පැවැත්වුණේ එරට ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙනි.

පාකිස්තාන සහ ඉන්දියාව අතර මීට සති කිහිපයකට පෙර යුද ගැටුමක් ආරම්භ වූයේ ඉන්දු කාෂ්මීරයට අයත් පෙහෙල්ගාම් කලාපයේ සිදුවූ සාහසික ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවය.

ඊට දින කිහිපයක පසුව පාකිස්තානයේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය හමුදාව පියවර ගත් අතර, පසුබට නොවූ පාකිස්තාන හමුදා ද ඊට දැඩි ප්‍රතිචාර දැක්විය.

ගැටුමේදී දැක්වූ ධෛර්ය අගයමින් පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්, ෆීල්ඩ් මාෂල් තනතුර දක්වා උසස් කිරීමට එරට රජය දින කිහිපයකට පෙර තීරණය කළේය.

ඒ අනුව හමුදාපතිවරයා වෙත එම තනතුරු ප්‍රදානය පසුගියදා සිදුවුණි.

නිල උත්සවය පැවැත්වුණේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ජනාධිපති නිල නිවසේදීය.

එම උත්සව අවස්ථාවට ජනාධිපති අසීෆ් අල් සර්දාරි, අගමැති ෂෙබාස් ෂරීෆ්, මෙන්ම දේශපාලන නායකයින් රැසක් ද එක්වුණි.

ඒ පිරිස අතරට පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්, කැබිනට් ඇමතිවරුන්, රජයේ ප්‍රධානීන් මෙන්ම, ජනාධිපති සර්දාරිගේ පුතු වන බිලාවල් භූතෝ සර්දාරි ද අයත් ය.

පාකිස්තාන හමුදා ප්‍රධානියා සැලකෙන්නේ එරට වඩාත්ම බලගතු පුද්ගලයා ලෙසය.

1947 වසරේ නිදහස ලැබීමෙන් පසු ගතවූ කාලයෙන් දශක තුනක් පමණ පාකිස්තානය පාලනය වූයේ ද හමුදාව යටතේය.

කෙසේ නමුත් මෑතකාලීන ඉන්දු පාකිස්තාන යුද ගැටුම හේතුවෙන් වත්මන් හමුදාපති මුනීර්, එරට ජනතාවගේ දැඩි ආදරයට ගෞරවයට පාත්‍ර වී තිබුණි.

වත්මන් හමුදාපති ෆීල්ඩ් මාෂල් මුනීර්, 2027 දක්වා එරට හමුදාපති ධුරය හොබවනු ඇති අතර, ඉන් අනතුරුව තවත් වසර පහකට ඔහුගේ ධුරකාලය දීර්ඝ කිරීමේ හැකියාව ද පවතින බව වාර්තා වේ.

-Advertisement-

හෝම් ලෑන්ඩ්ස් ප්‍රවර්ධනයට ජැකලින් ෆර්නැන්ඩස් එක් වෙයි

0

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළැඹීම පසුගියදා සිදු ව තිබේ.

විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන්, ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වය ඔස්සේ ශ්‍රී ලාංකීය සුපිරි නිවහන් ක්ෂේත්‍රයේ නව්‍ය , චමත්කාරජනක යුගයක් උදාවනු ඇතැයි සමාගම පවසයි.

“අනන්‍ය උරුමය මත ගොඩනැගුණ විශ්වාසය සහ ගතිකත්වයෙන් යුතු නව්‍ය ශ්‍රී ලංකාව ජැකලින් තුළින් පිළිඹිබු වනවා.ඇයව හෝම් ලෑන්ඩ්ස් පවුලට පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්.” මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් හෝම්ලෑන්ඩ්ස් සමූහයේ සභාපති නලින් හේරත් මහතා ප්‍රකාශ කළා.

“මම ලෝකයේ කොහේ ගියත් මගේ නිවහන ශ්‍රී ලංකාව. ලංකාවෙ දේවල් කොච්චර ඉක්මනට ඉස්සරහට යනවද කියලා පුදුමත් හිතෙනවා. මෙහෙ දියුණුව, සංචාරක වර්ධනය වගේ දේවල් ඇත්තටම ගොඩක් සතුටුදායකයි. මම අත්වැල් බැඳ ගන්නේ මේ රට අලුත්ම ආකර්ශනීය විදියට ලෝකයට විවෘත කරන ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සහකරුවා එක්ක. ලොකු දේවල් ඉස්සරහට එනවා , බලාපොරොත්තුවෙන් අවධානයෙන් ඉන්න” ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළාය.

“සන්නාම තානාපති කාර්යයයෙන් ඔබ්බට ගොස් හෝම් ලෑන්ඩ්ස් ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය දේශීය සහ ගෝලීය තලයේ ඉහළින්ම තැබීමට මෙම සහයෝගීත්වයෙන් හැකියාව ලැබෙනවා. හෝම් ලෑන්ඩ්ස් මෙතෙක් රැකගෙන ආ නිර්මාණශීලීත්වය , ගුණාත්මක භාවය සහ විශ්වාසය සහ ජැකලින් ෆර්නැන්ඩස් සමඟ මෙම සහයෝගිත්වයෙන් චමත්කාර , සුඛෝපභෝගී නව්‍ය නිවසක සිහින දකින සැමට ආකර්ෂණීය ආරංචියක් ළඟදීම ලැබේවි.“ ඇය වැඩිදුරටත් පවසා සිටියි.

-Advertisement-

Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මානයෙන් පිදුම් ලබයි

0

ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා යමින්, Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මාන උලෙළේදී ‘General Distributor’ සම්මානය දිනාගනු ලැබීය.

වසර 85කට වැඩි කාලයක් මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය සමඟින් ලබාගත් මෙම ජයග්‍රහණය, Mercedes-Benz AG විසින් ස්ථාපිත කරන ලද ඉහළ ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා DIMO හි කැපවීමෙහි තවත් එක් සන්ධිස්ථානයක් වේ. තවද සමාගමේ අලෙවියෙන් පසු සේවාවන්හි අඛණ්ඩ විශිෂ්ටත්වය ද මෙම සම්මානයෙන් මැනවින් තහවුරු වේ. එසේම මෙම අවස්ථාවේදී DIMOහි  Mercedes-Benz අලෙවියෙන් පසු සේවා  අංශයේ   අබිලාෂ් ශ්‍රීයන්කරන් ‘Top Service Adviser-Sri Lanka’ සම්මානයෙන් පිදුම් ලබන ලදී.

Mercedes-Benz AG විසින් පවත්වන සේවා ගුණාත්මක විගණනයන් මඟින් DIMO හි තාක්ෂණික දැනුම හා ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන්ට අනුකූලවීම තහවුරු කරන අතර, ස්වාධීන පාරිභෝගික සමීක්ෂණයක් හරහා ද ඉහළම පාරිභෝගික තෘප්තිය සහ පාරිභෝගික පක්ෂපාතීත්වය පවත්වා ගැනීම මඟින්  DIMO හි පාරිභෝගික අත්දැකීම් පිළිබඳ විශිෂ්ටතාවය විදහා දක්වයි.

මේ පිළිබඳව අදහස් දක්වමින්  DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “මෙම සම්මානයට නැවත පාත්‍ර වීම තුළින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ Mercedes-Benz අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමට අප දක්වන කැපවීම පෙන්වා දෙනවා. නවීන තාක්ෂණයන් කෙරෙහි ආයෝජනය කිරීම, වාර්ෂික සේවා විගණනයන් සිදු කිරීම සහ පාරිභෝගික ප්‍රතිචාරයන් විශ්ලේෂණය කිරීම හරහා DIMO විසින් Mercedes-Benz AG හි දැඩි ජාත්‍යන්තර සේවා ප්‍රමිතීන් අනුගමනය කරන බවට තහවුරු කරනවා. Mercedes-Benz AG සහතික කළ අලුත්වැඩියා මාර්ගෝපදේශ, ක්‍රියාවලි, විශේෂ මෙවලම් සහ උපකරණ, මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ Mercedes-Benz නියම අමතර කොටස් භාවිතය තුළින් අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි පවතින විශ්වාසය තව තවත් වැඩි දියුණු වෙනවා. Mercedes-Benz AG ජාත්‍යන්තර තාක්ෂණික පුහුණුව සහ සහතික කිරීම් තුළින් අපගේ කාර්මිකයින් සහ සේවා උපදේශකයින්ගේ උසස්  තත්වයන් සහතික කරනවා. “

-Advertisement-

HNB සමූහය 2025 වසරේ පළමු කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරයි

0

හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වා ගනිමින් සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 49% ක සහ බැංකුවේ බදු පසු ලාභය 64% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව මෙම කාල පරිච්ඡේදයේදී සමූහයේ සහ බැංකුවේ බදු පසු ලාභය පිළිවෙළින් රු. බිලියන 11.1 ක් සහ රු. බිලියන 10.2 ක් විය.

2024 වසරේ අදාල කාලපරිච්ඡේදයට සාපේක්ෂව පොලී අනුපාත අඩු වුවද, 2025 වසරේ පළමු කාර්තුවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව රු. බිලියන 23.7 ක් දක්වා 7.7% කින් වර්ධනය විය. බැංකුවේ ණය පොත පසුගිය වසරට සාපේක්ෂව රු. බිලියන 159 කින් ඉහළ ගියද, පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 14.4% කින් පහත වැටුණි. කෙසේ වෙතත්, CASA (ජංගම සහ ඉතිරුම් ගිණුම්) තැන්පතු ඉහළ යාම හේතුවෙන් බැංකුවේ පොලී වියදම් පසුගිය වසරට සාපේක්ෂව 27.1% කින් පහත වැටුණි. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) වර්ධනය විය.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ, “රටේ ආර්ථිකය ස්ථාවරත්වය කරා අඛණ්ඩව ගමන් කරන බැවින්, 2025 පළමු කාර්තුවේදී බැංකුවේ ලබා ගත් මෙම කාර්ය සාධනය පිළිබඳව මා සතුටු වනවා. විශේෂයෙන් අසීරු කාලවලදී අපගේ ජනතාවට සහ ව්‍යාපාර සඳහා සැමවිටම ප්‍රගතියේ හවුල්කරුවෙකු ලෙස HNB මෙරට ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දී තිබෙනවා. දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස, අප ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා කැපවී සිටිනවා.” යනුවෙනි.

බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 17.0% කින් ඉහළ ගිය අතර ඉහළ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු සහ ඩිජිටල් බැංකු සේවා භාවිතය ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. මුදල් රහිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමේ HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි. මීට අමතරව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් අදාල කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ආදායමෙන් ලැබුණු අනෙකුත් ආදායම් රු. බිලියන 2.3 දක්වා ඉහළ ගියේය. 2024 වසරේ අදාල කාල පරිච්ඡේදයේදී බැංකුව රු. බිලියන 2.1 ක අලාභයක් වාර්තා කර තිබුණි.

HNB විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ශක්තිමත් අවදානම් කළමනාකරණ සැලසුම සහ නිරන්තර පසුවිපරමක් සහිත ණය අයකර ගැනීමේ ක්‍රමවේදය මගින් බැංකුවේ වත්කම් හි ගුණාත්මකභාවයේ ප්‍රාමාණික වර්ධනයක් පෙන්නුම් කර ඇත. මේ හේතුවෙන් stage 3 ණය ප්‍රමාණය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2024 වසරේ පළමු කාර්තුවේදී වෙන් කරන ලද රු. බිලියන 1.4 ක හානි පූර්ණ ගාස්තුවට සාපේක්ෂව බැංකුවට මේ වසරේදී වෙන් කරන ලද හානි පූර්ණ ගාස්තුවෙන් රු. මිලියන 379.7 ක් ආපසු හැරවිය හැකි විය. ඒ අනුව Net Stage 3 අනුපාතය 2024 දෙසැම්බර් මාසයේදී 1.88% සිට 2025 මාර්තු මාසයේදී 1.82% දක්වා අඩු වූ අතර stage 3 ආවරණ අනුපාතය 75.12% දක්වා වැඩි විය.

බැංකුව විසින් සේවකයින්ගේ වැටුප් නැවත සකස් කිරීම සහ කාර්ය සාධනය මත පදනම් වූ වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් කාර්ය මණ්ඩල පිරිවැය ඉහළ ගිය අතර ඒ හේතුවෙන් බැංකුවේ මුළු මෙහෙයුම් වියදම් පසුගිය වසරට සාපේක්ෂව 13.5% කින් ඉහළ ගියේය. “2025 වසරේ පළමු කාර්තුවේ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මගින් දිගුකාලීන සැලසුම්, ප්‍රමුඛතාවන් සහ දිශානතිය කෙරෙහි අපගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරනවා. ගෝලීය ආර්ථිකයේ නිරතුරුව අභියෝග තිබුණද, බැංකුවේ වත්කම්වල ගුණාත්මකභාවය, ද්‍රවශීලතාවය සහ ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම හේතුවෙන් HNB ශක්තිමත්ව සහ ස්ථාවරව පවතිනවා. එමගින් රට පුරා සිටින විවිධ ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට සහ වත්මන් ව්‍යාපාරික පරිසරයේ අභියෝගවලට මුහුණ දීමට අපට ඉඩ සලසනවා.” යනුවෙන් HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසීය.

-Advertisement-

ලංකා බැංකුවේ බිලියන 15ක ණයකර නිකුතුවට බිලියන 20.4ක ඉහළ ඉල්ලුමක්

0

ලංකා බැංකුව පසුගිය මැයි 15 වැනිදා කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුව වෙත රුපියල් බිලියන 20.4ක අධි ඉල්ලුමක් හිමිව ඇතැයි එම බැංකුව පවසයි.  

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මේ බව සඳහන් කර තිබේ. 

මෙහිදී පළමු නිකුතුව ලෙස බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකර ලෙස ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කළ අතර, ඊට හිමි වූ අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරිණි.  

ඒ අනුව මෙම ණයකර කොටස් මිලදී ගැනීම සඳහා අවස්ථාව පැවති මැයි 15 වැනිදා පස්වරු 4.30 වන විට අයදුම්පත්‍ර 53ක් හරහා ණයකර කොටස් 204,348,000ක් මිලදී ගැනීමට ඉදිරිපත්ව තිබූ බව බැංකුව පවසයි.  

එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කර තිබූ මෙම නිකුතුවේදී දායකත්වය ලබාදී තිබූ සමස්ත වටිනාකම රුපියල් 20,434,800,000ක් බව බැංකුව සඳහන් කරයි. 

මෙහිදී ලංකා බැංකුව A සහ B ලෙස වර්ග දෙකක් යටතේ මෙම නිකුතුව සිදු කළ අතර, සියලුම ඉල්ලුම්පත්‍ර A වර්ගය සඳහා පමණක් ඉදිරිපත්ව තිබීමද විශේෂත්වයකි. එසේම ඉදිරිපත් වූ සියලුම ඉල්ලුම්පත්‍ර මෙරට පදිංචිකරුවන්ගෙන් ඉදිරිපත් වූ බවත්, මෙරට පදිංචිකරුවෙකු නොවන කිසිදු අයෙකුගෙන් ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් නොවූ බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. 

-Advertisement-

ICTA ඈවර කර ‘GovTech (Pvt) Limited’ ලෙස නව සමාගමක් ස්ථාපිත කිරීමට යයි 

0

මෙරට තුළ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර, ස්වාධීන ආයතනයක් වශයෙන්GovTech (Pvt) Limited’ නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීම සඳහා රජය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි. 

ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය ලැබී ඇතැයි අද පෙරවරුවේදී පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේදී අනාවරණය කෙරිණි. 

මෙහිදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අනුමැතිය දැනටමත් ලබා දී ඇති බව රජය පවසයි. 

එසේම ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම පිණිස රජය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කරයි.. 

ඒ අනුව දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් ‘GovTech (Pvt) Limited’ නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීම අරමුණ බව රජය පවසයි. 

මෙහිදී ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල දැනට පවතින ඩිජිටල් උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් පිළිබඳව අධ්‍යයනය කර ඇති බවත්, ඒ අනුව, ජාතික ඩිජිටල් උපායමාර්ගවලින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථාවර සහ හොඳින් නිර්වචනය කරන ලද ආයතනික ව්‍යූහයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබෙන බවත් රජය සඳහන් කරයි. 

-Advertisement-

ජපානයේ පිපිරීමක්

0

ජපානයේ ටෝකියෝ අගනුවර ඉදිකිරීම් ස්ථානයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා තිබේ.

ගෑස් නලයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් අනතුරෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

-Advertisement-

ගාල්ල ජාතික රෝහලේ දී තරුණයකු මරාගත්තා ද ? මරණයට හේතුව හෙළිදරව් වෙයි

0

ගාල්ල ජාතික රෝහලේ දී ඊයේ (26) මියගිය තරුණයාගේ මරණය සිදුව ඇත්තේ උදරයට සහ ශ්‍රෝණි ප්‍රදේශයේ ඇති වූ බහුවිධ තුවාල නිසා අභ්‍යන්තරව අධික ලෙස රුධිරය වහනය වීමෙන් සිදු වූ කම්පනයෙන් යැයි ගාල්ල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ අද (27) තීරණය කළේය.

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පදිංචිව සිටි හල්ජෝති චතුරංග සඳරුවන් තිලකරත්න නමැති 31 හැවිරිදි තරුණයා පසුගිය 25 වැනි දා සවස 1.30ට පමණ උණවටුන ප්‍රදේශ‍යේ දී රිය අනතුරකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ ද පසුදා අලුයම වනතුරු ඔහුට ප්‍රතිකා ලැබී නැතැයි ඥාතීන්ගෙන් චෝදනා එල්ල විය.

ඔහු මියයාමත් සමඟ ගාල්ල ජාතික රෝහලේ කලබලකාරී තත්වයක් ඇති වූ අතර රෝහල් කාර්ය මණ්ඩලයේ දැනුම්දීම පත පොලිසිය ද ආරක්ෂාව සඳහා පැමිණ තිබිණි.

මෙම මරණය සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයට චෝදනා එල්ලවීම හේතුවෙන් එම මරණය මහේස්ත්‍රාත්වරයා ලෙස යොමුකර නමුත් මහේස්ත්‍රාත්වරයා හදිසි මරණ පරීක්ෂවරයා වෙතම නැවත යොමුකර තිබිණි.

ඒ අනුව අද (27) ගාල්ල ජාතික රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

එහි දී සාක්ෂි දුන් වැල්ලගේ ඉරෝෂන් උදයංග (37) කියා සිටියේ තමන් රාත්‍රී කාලයේ තම සොහොයුරා අසළ ගාල්ල ජාතික රෝහලේ නැවතී සිටි බවයි. එම අවස්ථාවේ දී රාත්‍රිය පුරා ම ඔහුට වරින් වර මුත්‍රා සමඟ රුධිරය පිටවූ බවත්, ලේ වමනය ගිය බවත් ඔහු කියා තිබිණි. අධික වේදනාවෙන් පසු වූ සිය ඥාති සොහොයුරාට කිසියම් ප්‍රතිකාරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් තමන් රෝහලේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට බැගෑපත්වුව ද ඔවුන් ප්‍රතිකාර නොකළ බව ද ඔහු මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් කියා සිටියේ ය.

ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා සිටිය දී වෛද්‍යවරුන් සහ හෙදියන් පවසා ඇත්තේ ඔහුට අමාරුවක් නොමැති බවයි. වැඩිදුරටත් සාක්ෂි දුන් ඉරෝෂන් උදයංග මෙසේ ද කීවේය.

“රෑ පුරාම මල්ලීට සැරින් සැරේ ලේ වමනය ගියා. මුත්‍රා එක්ක ලේ පිටවුණා. ඒත් එයාට කිසිම ප්‍රතිකාරයක් ලැබුණේ නෑ. කිසිම වෛද්‍යවරයෙයක් හෙදියක් හෝ වෙනත් සේවකයෙක් එයා ගැන බැලුවේ නෑ. එයා මැරුණේ වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීම නිසා. මේ මරණයට රෝහල් කාර්ය මණ්ඩලය වගකිව යුතුයි.” යනුවෙන් පෙරේදා (26) ගාල්ල ජාතික රෝහලේ දී මියගිය ගිංතොට පදිංචි හල්ජෝති චතුරංග සඳරුවන් තිලකරත්න නමැති 31 හැවිරිදි තරුණයාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් ඔහුගේ ඥාති සොහොයුරකු කියා සිටියේය.

මිය ගිය පුද්ගලයාගේ ඥාති සහෝදරයකු වන වැල්ලගේ ඉරෝෂන් උදයංග (37) මෙසේ කීවේය.

“මියගොස් සිටින්නේ මගේ නැන්දාගේ පුතා. එයා අනතුරට ලක්වූ බව දැනගෙන මම 25 සවස කරාපිටිය රෝහලට ගියා. එදා රෑ මම එයා ගාව නතර වෙලා හිටියේ. මල්ලීට කිසිම ප්‍රතිකාරයක් ලැබුණේ නෑ, එයාව ට්‍රොලියක දාලා තිබුණේ. ප්‍රතිකාර කරන්න කියලත්, වේදනාව උහුලාගන්න බැහැ කියලත් මල්ලී වරින් වර කෑ ගැහුවා. ලිංගේන්ද්‍රය ආසසන්නයේ තුවාලයකට බෙහෙත් දැම්මා විතරයි. මම මල්ලීව වැසිකිළියට එක්කගෙන ගියාම මුත්‍රා සමඟ ලේ පිටවුණා. වරින් වර ලේ පාටට වමනයත් දැම්මා. ඒ බව නිතරම රෝහ‍ේල වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට කිව්වත් කවුරුවත් බැලුවේ නෑ, එයාලා කිව්වේ මල්ලීට අමාරුවක් නෑ කියලා. මල්ලී ට්‍රොලියෙන් අමාරුවෙන් බැහැලා ගිහින් ගිලන්රථයකටත් නැගලා ඉල්ලුවා පුද්ගලික රෝහලකට ගෙනියන්න කියලා. ඊට පස්සේ රෝහලේ සේවකයන් ඇවිත් එයාව ආපහු ‍වාට්ටුවේ ට්‍රොලියට දැම්මා. දිගටම මෙයා වේදනාවෙන් කෑ ගැහුවා. කොළපාට ඇඳුමක් ඇඳගත්තු නෝනා කෙනෙක් ඇවිත් ඇහුවා කෑ ගහන්නේ ඇයි කියලා. වෙන කිසිම කෙනෙක් බැලුවේ නෑ. මොනවත් බෙහෙත් දුන්නෙත් නෑ. උදේ 4.45ට විතර මල්ලී ටික ටික නිසොල්මන් වුණා. කෙඳිරිගාන එකත් නතර වුණා. මම කෑ ගහලා ලෙඩා ගැන බල්න කිව්වාම කට්ටියම ඇවිත් දෙන්නෙක් මාරුවෙන් මරුවට පපුව තද කරමින් කෘතිම ශ්වසනය දුන්නා. විනාඩි 15කින් විතර කිව්වා මල්ලී මියගියා කියලා. ‍මේ මරණය සිදුවුණේ තනිකරම රෝහලේ වරදින්. මට කියන්න තියෙන්නේ එපමණයි.”

හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මියගිය පුද්ගලයාගේ මව ඩබ්ලිව්.ගුණවතී මහත්මිය මෙසේ කීවාය.

“මට මේ මියගිය පුතා සහ දුව විතරයි හිටියේ. පුතා විවාහ වෙලා දරුවෙක් ලැබිලා තවම දින 18යි. මේක තනිකරම රෝහලේ වැරැද්ද නිසා සිදු වූ දෙයක්. අනතුර වෙලා පුතාව රෝහලට ගෙනාපු වෙලාවේ සවස 3.30ට විතර අපි රෝහලට ආවා. පුතාගේ සිරුරේ තුවාල මොනවත් පෙනෙන්ට තිබුණේ නෑ. රෝහලෙන් දිගින් දිගටම කිව්වේ පුතාට අමරුවක් නෑ කියලා. ඒත් එයා වේදනාවෙන් කෑ ගැහුවා. ප්‍රතිකාර ඉල්ලුවා. ඒවා කිසිවක් කවුරුවත් ගණන් ගත්තේ නෑ. අන්තිමේ දී ප්‍රතිකාර නොදී මගේ පුතාව මේ රෝහලේ සේවකයන් මරා ගත්තා. මේකට වගකියන්න ඕන මේ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය. මේ ගැන සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

මෙම මරණය රෝහලේ දී නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිදු වූ බවට ඥාතීන් චෝදනා කරන බැවින් රෝගියා රෝහල්ගතව සිටි අවස්ථාවේ දී සේවය කළ වෛද්‍යවරුන්ගෙන් සහ හෙද හෙදියන්ගෙන් ද සාක්ෂි සටහන් කරගැනීමට කටයුතු කරන බව පැවසූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා උණවටුන ප්‍රදේශයේ දී අනතුර සිදුකරන ලද කාර් රථයේ රියදුරා ද ඉදිරිපත් කරන්න යැයි පොලිසියට නියෝග කළේය.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ජ්‍යෙෂ්ට අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා රිය අනතුරින්, උදරයට සහ ශ්‍රෝණි ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු වී ම හා ඒ හේතුවෙන් ඇති වූ අධික කම්පනයෙන් මරණය සිදුව ඇති බවත් නිගමනය කළේය.

-Advertisement-