ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනකු ළමයින් රට සවාරිරවලට රැගෙන යන බව පවසමින් වසර කියහිපයක සිට දෙමාපියන්ගේ වියදමින් විදේශ සංචාරවල නිරතවීමේ සිද්ධියක් වාර්තා වී ඇත.
මෙම ගුරවරියන් දෙදෙනා මීට ඉහත දී වෙනත් පාසලක සිටිය දී ද එම ජාවාරමේ නිරත වූ බව අනාවරණය වෙයි. ඔවුන් දෙදෙනා අන්තර්ජාලය පිරික්සමින් විවිධ රටවල ඇතැම් ආයතනවලින් සංවිධානය කරන සම්මන්ත්‍රණ සොයාගෙන ඒවායේ සංවිධායකවරුන්ට ඊමේල් පණිවිඩ යවා තොරතුරු විමසා එයට සහභාගී වීමට අවස්ථාවක් ඉල්ලා සිටියි.
ඉන් අනතුරුව ඔවුන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වීමට අවස්ථාව ඇති බව පවසමින් මුදල් වියදම් කළ හැකි දෙමාපියන්ගේ දරුවන් පිරිසක් ඒ සඳහා තෝරාගැනීම සිදුකරයි.
2025 අගෝස්තු 04 සිට 08 වැනි දා දක්වා තායිලන්තයේ පැවැත්වෙන 9th Nairong International Students’ Conference (NISC) නමැති වැඩසටහනකට සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ළමුන් 13 දෙනකු සහභාගී කරවීමට මේ වනවිට සැළසුම් කර ඇත. ඒ සඳහා ළමයින් තෝරාගැනීමේ දී කිසිදු නිර්ණායකයක් අනුගමනය කර නැති අතර එකම සුදුසුකම වී ඇත්තේ විදේශ සංචාරය සඳහා මුදල් වියදම් කළ හැකි දෙමාපියන්ගේ දරුවන් වීම පමණි.
මෙම සංචාරය සඳහා පාසලේ විදුහල්පතිිනී අසේනි පරණවිතාන මහත්මිය ද සහභාගීවන බවට දෙමාපියන් දැනුම්වත් කර තිබේ. ඒ අනුව ළමයින් 13 දෙනා සමඟ ගුරුවරියන් දෙදෙනා සහ විදුහල්පතිනිය සහභාගී වන බැවින් සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් එම සංචාරයට එකතුවන සංඛ්‍යාව 16 දෙනෙකි.
තෝරාගත් සිසුවියන් 13 දෙනාගේ දෙමාපියන් ඇතුළත්කරමින් Thailand Tour නමින් WhatsApp සමූහ තුනක් නිර්මාණය කර ඇත. එම එක් සමූහයක පරිපාලකවරිය ලෙස විදුහල්පතිනිය කටයුතු කරන අතර, තවත් සමූශයක පරිපාලකවරියන් ලෙස ගුරුවරියන් දෙදෙනා කටයුතු කරයි. අනෙක් සමූහයේ පරිපාලකවරිය වන්නේ විදුහල්පතිනියට සහ ගුරුවරියන් දෙදෙනාට ඉතාමත් හිතවත් මවකි.
මෙම සංචාරය සඳහා තම දරුවන් සහභාගී කරවීමට තමන්ගේ සම්පූර්ණ කැමැත්ත ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන බවටත් අදාළ ගුරුවරියන් විසින් දෙමාපියන්ගෙන් අත්සන් ලබාගෙන ඇති අතර එය විදුහල්පතිනියගේ නිර්දේශයෙන් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශය වෙත යොමුකරමින් අවසරය පවා ලබාගෙන තිබේ.
එහි දී එම ගුරුවරියන් දෙදෙනා දෙමාපියන්ට සහ සිසුවියන්ට පවසා ඇත්තේ තමන් මෙම සංචාරය සඳහා මුදල් ගෙවන බව කසිිම කෙනෙකුට නොකියන ලෙසයි. මුදල් ගෙවා සංචාරයේ යෙදෙනවානම් ඒ සඳහා අනුමැතිය නොලැබෙන බැවින් ආදි ශිෂ්‍යා සංගමයේ මූල්‍ය අනුග්‍රහය ලැබෙන බව කිසිවකු හෝ විමසුවහොත් පවසන්න යැයි ද ගුරුවරියන් දෙදෙනා දෙමාපියන්ට සහ දරුවන්ට පවසා ඇත.
නමුත්, මෙම සංචාරය සඳහා ගුවන් ටිකට් පත්, නවාතැන් සහ කෑම බීම සඳහා රුපියල් 400,000.00ත් 450,000.00ත් අතර මුදලක් සූදානම් කරගන්නා ලෙස ද දැනුම් දී ඇත.
අප මේ පිළිබඳ 9th Nairong International Students’ Conference (NISC) සම්මන්ත්‍රණයේ සංවිධායකවරුන්ගෙන් තොරතුරු විමසූ විට දැනගන්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි පාසලකින් සම්මන්ත්‍රණයට සහභාගී වීමට අවසරයක් ඉල්ලා තිබූ බවයි. නමුත් එවැනි අවස්ථාවක් ලබාදීමට නොහැකි වුව ද ඔවුන් තමන් විසින් වියදම් දරාගෙන පැමිණෙන බැවින් සහභාගීත්වයට පමණක් අවස්ථාවක් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළ බව ද සංවිධායකවරු කීහ.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණවල දී සිදුවන්නේ සහභාගීවන්නන්ගේ ගුවන් ටිකට්පත්, ආහාර සහ ඉඳුම් හිටුම් ආදී සියලු වියදම් සම්මන්ත්‍රණය සංවිධායකවරුන් විසින් දැරීමයි. නමුත් මේ දරුවන්ට විදේශගත වීමට සිදුව ඇත්තේ අදාළ විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරියන්ගේ පිටරට සංචාර උන්මාදය වෙනුවෙන් තමන්ගේ අතින් වියදම් කරගනිමිනි.
මෙම සංචාරය සඳහා නිර්මාණය කර ඇති වට්ස්ඇප් සමූහයට එකතුකර ඇති පණිවිඩයක දැක්වෙන්නේ එක් අයකුට ගුවන් ටිකට්පත රුපියල් 122,000.00ක් බවයි. එමෙන්ම රක්ෂණ ආවරණය රුපියල් 44,200ක් බව ද සඳහන් කර ඇත. ඒ අනුව ළමයින් 13 දෙනා විදුහල්පතිනිය සහ ගුරුවරියන් දෙදෙනා යන 16 දෙනා සඳහාම ගුවන්ටිකට් සහ රක්ෂණ වියදම රුපියල් 1,996,200.00කි. වට්ස්ඇප් සමූහයේ පැහැදිළිව දක්වා ඇත්තේ එම වියදම ළමයින් 13 දෙනා අතර බෙදන බවයි. ඒ අනුව එක ළමයකු වෙනුවෙන් දෙමාපියන් ගුවන්ටිකට් සහ රක්ෂණ ගාස්තු සඳහා රුපියල් 150,200.00ක මුදලක් ලබාදිය යුතු බව ද දැනුම් දී තිබේ.
අගෝස්තු 04 වැනි දා අලුයම 01.10 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිිටත්වන UL 402 යානයේ සහ බැංකොක්හි ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අගොස්තු 09 වැනි දා උදෑසන 7.45ට ශ්‍රී ලංකාව බලා පියාසැරිය ආරම්භ කරන UL403 ගුවන් යානයෙන් ආපසු පැමීණීමටට ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට නියමිතය.
මේ සඳහා එක් ගුරුවරියක් විසින් තමන්ට හිතවත් ගුවන් ටිකට්පත් ඒජන්සි නියෝජිතයකු සම්බන්ධ කර ඇති අතර ඔහුගේ නමින්, බද්දේගම කමර්ෂල් බැංකුවේ ගිනුමකට අදාළ මුදල් හැකි ඉක්මණින් බැර කරන ලෙස ද වට්ස්ඇප් පණිවිඩයක් මගින් දැනුම් දී තිබේ.
මෙම පුද්ගලයා මීට පෙර ද මෙම ගුරුවරියන් විසින් පාසල් දරුවන් විදේශ සංචාර සඳහා රැගෙන ගිය අවස්ථාවල දී ගුවන්ටිකට් පත් වෙන්කර දුන් අයකු බවට ද අප වෙත තොරතුරු වාර්තා වී ඇත.
මීට අමතරව මෙම දරුවන් වෙනුවෙන් අදාළ වියදම් සඳහා මුදල් ගෙවන ලෙස දන්වමින් මහජන බැංකුවේ ගාල්ල ශාඛාවේ ඇති ගිනුම් අංකයක් ද වට්ස් ඇප් සමූහයට එකතු කර ඇති අතර එය සංචාරයට සහභාගීවීම සඳහා තෝරාගත් ශිෂ්‍යාවකගේ දෙමාපියකුගේ පුද්ගලික ගිනුමකි. ඇය එක් වට්ස්ඇප් සමූහයක පරිපාලකවරියයි.
එමෙන් ම තවත් වට්ස්ඇප් පණිවිඩයකින් දැනුම් දී ඇත්තේ එක් ශිෂ්‍යයකු සඳහා ගුවන්ටිකට් පත් ගාස්තුවට අමතරව සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචිවීමේ ගාස්තුව වශයෙන් රුපියල් 142,000.00 මුදලක් හැකි ඉක්මණින් එම ගිනුමට යොමුකළ යුතු බවයි.
ගිනුමට මුදල් බැරකළ ලදුපත්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපි සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි අසේනි පරණවිතානගෙන් විමසූ විට ඇය පවසන්නේ තමන් එම සංචාරය සඳහා සහභාගීවීමට අවසර ඉල්ලා ඇතත් සහභාගීවීම සඳහා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
එමෙන් ම ළමයින්ගේ දෙමාපියන්ගෙන් මුදල් එකතු නොකරන බවත්, ඒ සඳහා මුදල් ලබාදෙන්නේ අනුග්‍රාහකයන් විසින් බවත් ඇය කීවාය. නමුත් අනුග්‍රාහකයන් කවුරුන්ද යන්න විමසූ විට විදුහල්පතිිනය පවසන්නේ ඒ පාසලේ ම ආදි ශිෂ්‍යාවන් බවයි. නමුත් දෙමාපියන්ගේ මුදල් ඉල්ලා සිටි වට්ස්ඇප් පණිවිඩ සහ මුදල් බැර කරන ලද ලදුපත් ඇති බව පැවසූ විට විදුහල්පතිනිය පවසන්නේ ඒ සියලු දරුවන් ආදි ශිෂ්‍යාවන්ගේ දියණියන් බැවින් එය දෙමාපියන්ගේ වියදමක් නොව ආදි ශිෂ්‍යාවන්ගේ අනුග්‍රහයක් ලෙස සැළකිය හැකි බවයි.
මෙයින් පෙනී යන්නේ විදුහල්පතිනියගේ ද අනුදැනුම මත සිදුවන මෙම මුදල් එකතු කිරීමේ ක්‍රියාව වචන හරඹයකින් සාධාරණීකරණය කිරීමට ඇය උත්සාහ දරන බව නොවේ ද ?
ඇය මෙසේ ද කීවාය.
“මම ඔය වට්ස්ඇප් සමූහ ගැන දන්නෙත් නෑ. මම ඒවායේ ඇත්තෙත් නෑ. ළමයි යන කතාව ඇත්ත. ඒ යන්නේ තොරතුරු තාක්ෂණයට අදාල ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට. ඒ ගුරුවරියන් දෙදෙනා නිතරම විදේශගත වන්නේ එයාලගේ විෂයයට අදාළ නිසා. ඒ වගේ ම මේ සම්මන්ත්‍රණය ගැන තොරතුරු සොයාගත්තෙත් ඒ ගුරුවරියන් දෙදෙනා. ඒ නිසා එයාලට යන්න දෙන එක සාධාරණයි නේද ? අපි අමාත්‍යාංශයෙන් අවසර අරගෙන තියෙන්නේ. මේකට සල්ලි එකතුකරනවා ද කියලා මම හොයන්නම්. විදේශගතවීම් අත්දැකීම අපි නිතර ළමයින්ට දෙනවා. සල්ලි බදින්නවත් තවම මම නම් කියලා නෑ. යන නොයන එක අන්තිම මොහොතේ තීරණය කරන්නේ. දෙමාපියන් ඉදිරිපත් වෙලා බැංකු ගිනුම්වලට සල්ලි දාලනම් මට ඒක පාලනය කරන්න බෑ.”
ඇය එක් වට්ස්ඇප් සමූහයක පරිපාලකවරිය ලෙස ද කටයුතු කරන්නීය. එහෙත් ඇය පවසන්නේ මේ කිසිවක් තමන් නොදන්නා බවයි. එසේනම් කළ යුත්තේ කුමක් ද ? පිටරටවල පැවැත්වෙන සම්ම්නත්‍රණ ගැන තොරතුරු සොයාගෙන ළමයින් සහ විදුහල්පතිනිය ද රවටාගෙන මේ ගුරුවරියන් වසරකට දෙවතාවක් පමණ විදේශගත වනවානම් ඊට අවශ්‍ය විමර්ශ කටයුතු සිදුකළ වරද ඇත්තේ කොතනද යන්න සොයා බැලීමේ වගකීම ද විදුහල්පතිනිය සතුව ඇත.
නමුත් එලෙස සිදුවන බවක් පෙනෙන්නට නැත.
සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවේ ඇත.